facebook like

මර්සිගේ අන්තිම පැය කිහිපය ගැන ඇගේ සොයුරිය කී කතාව'......... අන්තිම මොහොතේ ජේසුත් එක්ක කතා කළා --- ලතිකා එදිරිසිංහ

“මර්සි අක්කාට මාර්තු 15 වෙනි සෙනසුරාදා රෑ හුස්ම ගැනීම අපහසු වුණා. ජාඇල පුද්ගලික රෝහලකයි ඒ වෙද්දි  අක්කා හිටියෙ. බටයක ආධාරයෙන් තමයි කෑමබිම පවා ගත්තේ.
 සෙනසුරාදා රෑ සෙම හිරවීම නිසා හුඟක් අමාරු වුණා. ඒ නිසා වෛද්‍යවරුන් ඇයව මැෂින් එකට දැම්මා. ඇත්තටම එක වරක් හාට් බිට් එක පවා නැතිව ගියා. පසුව ආපහු ආවා. මාර්තු 16 වෙනි ඉරිදා අක්කා නොනවත්වාම කතා කරන්න පටන් ගත්තා. ඇත්තටම හරි පුදුම සිද්ධියක්. නන් ස්ටොප් කතා කරන්න පටන් ගත්තා. එයා ජේසු එක්ක කතා කරන විදියට තමයි කතා කළේ. එයාට ප්‍රතිකාර කරපු, එයාව රැක බලාගත්තු අපිව හොඳින් බලාගන්න කියලා තමයි අක්කා ජේසුට කිව්වේ. එයාගෙන්
වෙච්ච වැරදිවලට සමාවෙන්න කිව්වා. ඊට පස්සේ නොනවත්වාම ඔරසන් කිව්වා. ගීතිකා කිව්වා. ඒ වෙලාවෙ අක්කට නින්ද යන්න රෝහලෙන් බෙහෙත් දුන්නා. ඉරිදා උදේ 6.10 වෙනකොට අක්කා නින්දෙන්ම නැති වුණා.
හැමතිස්සෙම එයාව තනි නොකොට, ළඟ හිටපු අක්කටත් මටත් එයා  ඒ අවසන් මොහොතේ දයාබර බැල්මකින් සංග්‍රහ කළා. අක්කට අපි හැකි හැම අයුරින්ම යුතුකම්
ඉෂ්ඨ කළා. අක්කා සතුටින් හිටිය අන්තිම දවස එදා නව රඟහ‍ලේදී රූපවාහිනියේ හඬකැවීම් ඒකකයෙන් එයාට උපහාර දැක්වූ අවස්ථාවේදීයි. එදා අක්කා සතුටු කඳුළු හෙළුවා. අක්කගේ අන්තිම කැමැත්ත වුණේ එයාගේ අවසන් කටයුතු වරකා‍පොල රෝමානු කතෝලික සුසාන භූමියේ කරන ලෙසයි. එයාගේ දයාබර සැමියා ලලිත් මිහිදන් කළේත් එහෙ.

‘රන්කඳ’ නාට්‍යයේ ට්‍රික්සිව
මම කෙසේ අමතක කරන්නද?

විජේරත්න වරකාගොඩ

මගේ සහෝදර කලා ශිල්පිනියක් වූ මර්සිගේ අභාවය කලා ලොවට පාඩුවක්. 1970 වසරේ ඉඳල අපි දෙන්නා චන්ද්‍රසේන දසනායකගේ ‘රන්කඳ’ නාට්‍යයේ රඟපෑවේ. එයා රඟපෑවේ ට්‍රික්සි කියන චරිතය. මම මුලදී මන්ත්‍රීතුමා ලෙස රඟපාලා පසුව යසවඩු (හෙළයා) ගේ චරිතය මර්සි එක්ක රඟපෑවා. මර්සි හෙළ වදන් හොඳින් කටපාඩම් කරගෙන අපූරුවට රඟපෑ අයුරු මට දැනුත් මැවිලා පෙනෙනවා.
උපාලි අත්තනායක, විජය නන්දසිරි හා මා සමග මර්සි කළ රංගනය එදා ප්‍රේක්ෂකයන්ට අමතක නොවන අත්දැකීමක්. ඒ කා‍ලේ හිටපු සංස්කෘතික ඇමැතිවරයෙක් මේ නාට්‍යයට තහනම් නියෝගයක් දැම්මා. පාර්ලිමේන්තුවෙත් වාද විවාද කළා. ඒ හැම එකකින්ම පසුව නාට්‍යය තවත් ජනප්‍රිය වුණා. ඒ කා‍ලේ මේ තහනමට විරුද්ධව පෙරමුණ ගත්තේ මර්සි.
ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, මර්සි සමග මම ‘විනෝද සමය’  වැඩසටහන්වල රඟපෑ හැටිත් මට මතක් වෙනවා. මර්සි කරුණාවන්ත අනුන්ට උදව් කරන එඩිතර කෙළින් කතා කරන නිළියක්. ඇය මට හැමවිටම කියන්නේ “ඔයා එක වරක් නොවෙයි දහස් වරක්” කියලා. මර්සිත් එක්ක රඟපාන්න අපිට පහසුයි. ඇය අවබෝධයකින්, කැපවීමකින් රඟපෑවේ. මට අන්තිමට මර්සි හම්බ වුණේ එදා නව රඟහ‍ලේදී. එදා මායි, චිත්‍රායි දිහා බලලා ලොකු සෙනෙහසකින් කඳුළු සහිතව අපේ අත් අල්ලා ගත්තා.

තාත්තා මියගියදාත් රඟපෑ ඇය යකඩ ගැහැනියක්

ලූෂන් බුලත්සිංහල

හැත්තෑව දශකයේ සුගතපාල ද සිල්වාගේ මුතු කුමාරි, දුන්න දුනු ගමුවේ, තුරඟ සන්නිය, දෑවැද්දෝ නාට්‍යවල මර්සි රඟපෑවා. පසුකාලෙක ‘හරිම බඩු තුනක්’ නාට්‍යයේ මම රඟපෑවේ ටෝනි රණසිංහ එතෙක් නිරූපණය කළ චරිතය. මර්සි රඟපෑවේ ප්‍රේමා ගනේගොඩ රඟපෑ චරිතය. වසර හතළිස් පහක කාලයක අපේ ඇසුර තුළින් මට කිව හැක්කේ ඇය කාටවත් බය නැති යකඩ ගැහැනියක් කියායි. සුගතපාල ද සිල්වා සමගත් ඇය ගැටුණු අවස්ථා තිබුණා. කිසිම දෙයක් හංගාගෙන නොසිට කෙළින් කතා කරනවා. කියන දේ මූණටම කියනවා. ඊට පස්සෙ පෙර විදිහටම සුහදයි.
මර්සි පසුකාලීනව ‘හසරාජිනී’ හා විකට වැඩසටහන්වලට සහභාගි වී තම ප්‍රතිභාව නැති කරගත්තා කියලයි මට හිතෙන්නේ. ඉන්පසු ප්‍රතිභාන්විත විශිෂ්ට නිළිය යටවී ජනප්‍රිය ප්‍රතිරූපයක් ලබාගැනීම කනගාටුවට කරුණක්. ඇය විකට නිළියක් නොව මෙරට බිහිවූ
විශිෂ්ට නාට්‍ය කිහිපයක රඟපෑ
අතිවිශිෂ්ට නිළියක් බව අමතක කිරීම ගැන මට දුක හිතෙනවා. මගේ ‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයේ 1982 සිට 1994 දක්වා එහි එන බිරිඳගේ චරිතය අපූරුවට රඟපෑවා. ගීත ගායනා කළා. ඇයට මේ තරම් උච්ච ස්වරයෙන් ගීත ගැයීමට ආභාසය ලැබෙන්න ඇත්තේ පල්ලියේ ගීතිකා ගැයීම තුළින්.
ඇය වෘත්තීයමය නිළියක්. ඇගේ විවාහය දා සිදු වූ සිද්ධිය එයට කදිම සාක්ෂියක්. ඇය ලලිත් හා විවාහ වූ දා හවස ලුම්බිණියේ ‘මුතු කුමාරි’ නාට්‍යය වේදිකා ගත කිරීමට තිබුණා. මර්සි එදා හවස ලුම්බිණියට ඇවිත් නාට්‍යයේ රඟපාලා තමන්ගෙ වගකීම ඉටු කරලා තමයි මධුසමය ගතකිරීමට ගියේ. ඒ තරම් ඇය  කලාව වෙනුවෙන් කැප කිරීම් කළා.
මර්සිගේ තාත්තා මියගිය දවසේ සිදු වූ සිද්ධියත් ඊට අපූරු උදාහරණයක්. පියාගේ මෘත දේහය ගෙදර තිබියදී ‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයේ වරකා‍පොල පැවති දර්ශනයක රඟපෑවා. මර්සි තමන්ගේ වගකීම අකුරටම ඉටු කළ එවැනි නිළියක්. නාට්‍ය කලාවේ මෙහෙම කියමනක් තියෙනවා. ‘තමා මියගියොත් හැර වෙන කිසිම බාහිර දෙයකින් වෘත්තීයමය නළුවාට හෝ නිළියට වේදිකාවෙන් ඉවත් විය නොහැකිය’ කියලා. එය අකුරටම අනුගමනය කළ නිළියක් තමයි මර්සි. මර්සිගේ හොඳම රඟපෑම මම දුටුවේ පතිරාජ එල්.එස්. දයානන්දගේ “කවුරුවත් එන්නේ නෑ” නාට්‍යයේ රඟපෑ මහලු චරිතය. තරුණ මර්සි විමල් කුමාර් ද කොස්තා සමග කළ ඒ චරිත නිරූපණය මට අදටත් කෙසේවත් අමතක නොවන රංගනයක්.

හඬකැවීම් ශිල්පීන් ඇගැයීමට ලක් වූයේ ඇය නිසයි

අතුල රන්සිරිලාල්

මර්සි ටයිටස් තොටවත්තගේ ‘රසාර’, ‘බැහැයි කියල බැහැයි කියල බැහැ’ හඬකැවීම් වැඩසටහන්වල රඟපෑ විශිෂ්ට
හඬකැවීම් ශිල්පිනියක්. අපි රූපවාහිනියේ හඬකැවීම් පටන් ගන්නේ උදේ 7ට. මර්සි උදේ 6 වෙනකොට රූපවාහිනියට ඇවිත් ඉන්නවා. වේලාව කිව්වොත් වෙලාව. මර්සි රූපවාහිනියට එනවිට ප්‍රධාන දොරටුවේ සිට කතා කරන හඬ අපිට ඇතුළට ඇහෙනවා.
හැමෝම සමග ඇය ඉතාම සුහදයි. විනෝදකාමීයි. හැබැයි සමහර අවස්ථාවල ටයි මහත්තයා එක්කත් රණ්ඩු කරගන්නවා. මම කිසිදාක ඇගේ සතුටු කඳුළු මිස දුක් කඳුළු දැක නැහැ. මම හඬකැවීම් ඒකකයේ ප්‍රධානියා වූ පසු මාත් එක්කත් මර්සි අක්කා වැඩ කළා. අවසන්වරට ඇය හඬ මුසු කළේ ‘සුජාත දියණිය’ නාට්‍යයේ චංගුමීගේ නැන්දා වූ ඩුක්කු හාමිනේ ලෙස. අගමැතිව සිටි රත්නසිරි වික්‍රමනායක මහතා හඬකැවීම් ඒකකයේ ශිල්පීන්ට සම්මාන පිරිනැමීමේ අවස්ථාවක් උදාකර දුන්නේ මර්සිගේ ඉල්ලීම මතයි. හඬකැවීම් එකමුතුවේ ප්‍රධාන සංවිධායිකාවත් ඇයයි.

ඒ.ඩී. රන්ජිත් කුමාර


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive