facebook like

තියම් දෝ නොතියම් දෝ

1994 දකුණු පළාත් සභාව ගල උඩ සටන කර ගන්න ගිහින් හෙලට වැටුණ ඩිංගිරි බණ්ඩාර විජේතුංගට මහ ඡන්දයකට යන්න යැයි ලණුව දුන්නේ වටේ කට්ටියය.'සර් බෙල්ල දෙන්න යන්න එපා. අරුන්ව දාලා බලන්න...'ඔවුන් ඩී. බී. ව වට කර ගෙන කීහ. ඒත් ගාමිණී දිසානායක ඩී. බී.ට කිව්වේ ජනාධිපතිවරණයට යන්න කියලාය. ගාමිණීගේ තර්කය වූයේ ජනාධිපතිවරණයකට ගියොත් අනිවාර්යයෙන්ම පොදු පෙරමුණු ජනාධිපති අපේක්ෂක වන්නේ බණ්ඩාරනායක මැතිනිය කියාය. එවිට දකුණු පළාත් සභාවෙන් ආ චන්ද්‍රිකා රැල්ල යටපත් වෙන බවක් ගාමිණී කීවේය. මැතිනිය රෝද පුටුවෙන් ජනාධිපතිවරණයට එද්දී පරද්දන්න ලෙහෙසි බවත් ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ විගස අපේක්ෂිකාව වන්නේ කවුද කියා මැතිනිය සහ චන්ද්‍රිකා අතර ගැටුමක් ඇති විය හැකි බවටත් ඔහු තර්ක කළේය.'නෑ... ගාමිණී මට ඔක්කොම කියන්නේ ඉස්සෙල්ලා මහ ඡන්දයට යන්න කියලයි...'විජේතුංග කීවේය. කියල මහ ඡන්දයට ගියේය. ඡන්දයෙන් ආණ්ඩුව පරාජය විය. විජේතුංග අකුළාගෙන ගෙදර ගියේය.


ජනාධිපතිවරණයට යන්න එපා යැයි ඇමැතිවරු කියද්දී මහින්දටත් මේ අතීත කතාව මතක් නොවුණොත් පුදුමය. ඒ වේලාවේ මහින්දලාත් බලාගෙන සිටියේ ජනාධිපතිවරණයක් එනතෙක්ය. හේතුව මහින්දලා මැතිනියගේ මිනිස්සුය. මහින්දලා චන්ද්‍රිකාට කැමැති නැත. චන්ද්‍රිකා ජනාධිපතිවෙලා තටු කපා ගන්නවාට වඩා මැතිනිය ජනාධිපති කරවල ඉගිල්ලෙන්න පුළුවන් යැයි මහින්දලා හිතූහ. හැබැයි ඒ වේලාවේ ජනාධිපතිවරණයකට ගියා නම් මැතිනිය පරදිනවා ඒකාන්තය. ආණ්ඩු විරෝධී රැල්ල ගැහුවේ මැතිනියගේ පැත්තට නොව නව නායිකාවක් වූ චන්ද්‍රිකාගේ පැත්තටය. කෙසේ හෝ චන්ද්‍රිකාගේ වේලාවට, වසර 17ක් දුක් වින්ද ශ්‍රී ල. නි. ප. පාක්ෂිකයන්ගේ වේලාවට විජේතුංග මහ මැතිවරණයක් තියන්න තීරණය කළේය. විජේතුංගට වගේම එ. ජා. ප.යටත් අවාසනාව ගෙන ආවේ ඒ තීරණයය.
මහින්ද රාජපක්ෂත් අද ඉන්නේ එවැනි තීරණාත්මක තැනකය.
'මඟ හිටියොත් තෝ නසී
ගෙදර ගියොත් අඹු නසී...'
මේ පරණ කතාව මේ දවස්වල ආණ්ඩුව කියන කතා අහන දකින අයට මැවිලා පෙනේ.


'මහින්ද ජනාධිපතිවරණයකට ගියොත්...?'
මහින්ද ජනාධිපතිවරණයකට ගියොත් යන්න වෙන්නේ බෙල්ලයි තැල්ලයි දෙකම ඔට්ටු අල්ලලාය. බෙල්ලයි තැල්ලයි කියන කතාව ටී. බී. ඉලංගරත්න කියපු පරණ කතාවකි. 1977 මහ ඡන්දයට යන්න කලින් ෆීලික්ස් ඩයස්ලා මැතිනියට කීවේ 1975දී වසර දෙකකින් ඡන්දෙ කල් දමා ගත්තා වගේ 77 ඡන්දෙ නොතියා කල් දමමු කියාය. ඒකට අවශ්‍ය තුනෙන් දෙක හොයල දෙන්නත් ෆීලික්ස් ඩයස් පොරොන්දු විය. 77 ඡන්ද එපෝ කියල කැම්පේන් එකක් පටන් ගත්තේ එවිටය. මැතිනියට රහස් ඔත්තු සේවා වාර්තා කියවද්දීත් තේරුම් ගියේ ආණ්ඩුවට ලෙහෙසි නැති බවය. මේ වේලාවේ මැතිනියගේ හිතවතුන් ඇයට යෝජනාවක් ගෙන ආවේය. යෝජනාව නම් ඇය ජනාධිපති ධුරයට පත් කළ ඇගේ ඥාති විලියම් ගොපල්ලවට ඉවත් වෙන්න කියා මැතිනිය ජනාධිපති වී මහ ඡන්දයට යන ලෙසය. එවිට මැතිනිය කීවේ තමාට අත්තනගල්ල ආසනයත් මන්ත්‍රි ධුරයත් අහිමි වුවහොත් තම දේශපාලනය ඉවර වනු ඇතැයි කියාය. අගමැති තැල්ලට වඩා අත්තනගලු බෙල්ල වටිනවා යැයි ඇය කී බව ඉලංගරත්න පවසා තිබිණි. මහින්ද ජනාධිපතිවරණයකට යනවා නම් යන්නේ ජනාධිපති තැල්ලයි දේශපාලන බෙල්ලයි දෙකම බිල්ලට දීලාය. හේතුව මහින්ද පරාජය වුවහොත් මහින්දට දේශපාලනයේ පවතින්න මන්ත්‍රිකමක් නැත. විපක්ෂනායකකමත් නැත. එවිට මහින්ද පොලිස් සූට් ගලවපු පැන්ෂන්කාරයෙක් වගේ වනු ඇත. අනෙක මහින්දත් පුතාත් සහෝදරයනුත් පවුලත් අතරමං වනු ඇත. මහින්ද හදිසි ජනාධිපතිවරණයක් කියා යන්නේ භයානක සූදුවකටය. උෟව ඡන්දෙට කලින් මෙවැනි අන්තරාවක් තිබුණේ නැත. අන්තරාව මතු වී ඇත්තේ උෟව ඡන්දයට පසුවය. 75%ක් වන සිංහල බෞද්ධ ඡන්දවලින් 50%ක් ගත්තොත් මහින්ද දිනුම් යැයි ආණ්ඩුව කියති. හැබැයි එය ලේසි නැත. ලංකාවේ සිංහල බෞද්ධ ඡන්ද සංඛ්‍යාව 75%ක් නම් සුළු ජාතික ඡන්ද 25%කි. මහින්දට මේ 75%න් 50%ක් ගැනීම ලෙහෙසි නැත.

ඔහුට ගත හැක්කේ 40%ටත් අඩු ප්‍රමාණයකි. මන්ද ජාතික මැතිවරණයකදී සිංහල බෞද්ධ ඡන්ද දෙකට බෙදෙයි. මහින්ද 40%ක් ගතහොත් විපක්ෂය 35%ක් ගනු ඇත. එතකොට සුළු ජාතික ඡන්ද 25%න් අද තියෙන තත්ත්වයට අනුව 20%ක්වත් විපක්ෂයට යා යුතුය. එතකොට සිංහල බෞද්ධ ඡන්දවලින් 35%ක් සහ සුළු ජාතික ඡන්දවලින් 20%ක් ගත්තොත් විපක්ෂය දිනුම්ය. මහින්දට ලැබෙන්නේ 45%කි. මහින්ද 2005 ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්දවලින් දින්නේ ප්‍රභාකරන් දමිළ ඡන්ද වර්ජනය කරන ලෙස නියෝග දුන් නිසාය. මහින්ද 2010 ජනාධිපතිවරණය සිංහල බෞද්ධ ඡන්දවලින් දින්නේ ප්‍රභාකරන්ව ඉවර කොට සිංහල බෞද්ධයන්ගේ වීරයා වූ නිසාය. දැන් සුළු ජාතික ඡන්ද පාලනය කරන්නත් සිංහල බෞද්ධයන්ගේ වීරයා වෙන්නත් ප්‍රභාකරන් කෙනෙක් නැත. උෟව ඡන්ද ප්‍රතිඵලය දෙස බලනවිට එ. ජා. ප.ය 40.242%ක් ගත්තේය. ජ. වි. පෙ. 5.357%ක් ගත්තේය. ෆොන්සේකා 0.890%ක් ගත්තේය. මේ සියල්ල එකතු කළ විට 46.489%කි. ඒ කියන්නේ විපක්ෂය උෟවෙන් 40%ක් ඉක්මවා ඇත. ආණ්ඩුව උෟවෙන් අරගෙන තියෙන්නේ 51.246%කි. විපක්ෂයට ආණ්ඩුව පරාජය කරන්න අවශ්‍ය සුළු ඡන්ද සංඛ්‍යාවකි. අනෙක පළාත් සභා ඡන්දවලදී වඩා ජාතික මැතිවරණවලදී විපක්ෂයට ඡන්ද වැඩිවේ. ආණ්ඩුවට ඡන්ද අඩුවේ.

එහෙම බලනකොට ආණ්ඩුවට උෟවෙන් පේන්නේ පරදින ලකුණුය. අනෙක් අතට මහින්ද ජනාධිපතිවරණයකට නොගියොත් වැටෙන්නේ විජේතුංගගේ තත්ත්වයටය. මහින්දට මේ වේලාවේ ජනාධිපතිවරණයකට නොයන හේතුවක් හොයා ගත නොහැකිය. ජනාධිපතිවරණය කල් දමන්න ඔහු තීරණය කළොත් එය පරාජය භාර ගැනීමකට සමානය. ඉන් පසු ඔහු පාලනය කරන අවුරුදු දෙක ජේ. ආර්. ගේ ජනාධිපති ධුරයේ අන්තිම අවුරුදු දෙකට සහ චන්ද්‍රිකාගේ ජනාධිපති ධුරයේ අන්තිම අවුරුදු දෙකට සමාන වනු ඇත. ජේ. ආර්.ට තෙවැනි වරට ජනාධිපතිවරණයට තරග කළ නොහැකි නිසා ජේ. ආර්.ගේ අන්තිම අවුරුදු දෙක වන 1987 සහ 88 ආණ්ඩුව පමණක් නොව රටම අරාජික විය. චන්ද්‍රිකාගේ අන්තිම අවුරුදු දෙක වූ 2004 සහ 2005 පමණක් නොව 2002 සිටම චන්ද්‍රිකා තටු හලා ගත්තාය. 2002 සිට 2003 රට ආණ්ඩු කළේ එ. ජා. ප.යය. 2004 සිට 2005ට රට ආණ්ඩු කළේ ජ. වි. පෙ.ට ඕනා විදිහටය. මහින්ද ජනාධිපතිවරණයකට නොගියොත් මහින්දට වෙන්නේත් ඒ ටිකමය. වමේ නායකයන් මහින්දට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යැයි කියති. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට මහින්ද අගමැති වුවහොත් ඕනා වෙලාවක මහින්දගේ ආණ්ඩුව වට්ටවන්න පුළුවන් වනු ඇත. මහින්ද නමට ජනාධිපති වුවහොත් ආණ්ඩුවයි ශ්‍රී ල. නි. ප.යයි වෙන කාගේ හරි අතට යනු ඇත.


මෙහෙම බලනකොට මහින්ද ඉන්නේ ගිනි කන්දක් උඩය. මහින්ද එක්ක සටනට එන්නේ කවුද කියා මහින්දට තවම පේන්නේ නැත. රනිල් එයි කියා මහින්ද සිතා සිටී. මහින්ද 2010 ජනාධිපතිවරණය දින්න දවසේ සිට දේශපාලනය ගණන් හැදුවේ ජීවිතේ මල් රනිල් ඉන්න කල් කියල පපුවේ පච්ච කොටාගෙනය. හැබැයි දැන් රනිල් එක්කත් මහින්දට අමාරු බව උෟවෙන් පෙනේ. එහෙම තියෙන කොට පොදු අපේක්ෂකයෙක් ආවොත් කොහොමද?

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive