ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සියලුම රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු නව නීති 2014 වසර අවසානයට පෙර හඳුන්වාදෙන බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලේඛකාධිකාරී සමන් දිසානායක මහතා පවසයි.
දැනට තම ලේකම් කාර්යාලය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 1421ක් ලියාපදිංචි වී ඇති බව පවසන අධ්‍යක්ෂවරයා නව නීති හඳුන්වාදීමෙන් පසු සියලුම රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි විය යුතු බවද අවධාරණය කරයි.
දැනටමත් මේ පිළිබඳ අවශ්‍ය නීති කෙටුම්පත් කෙරෙමින් පවතින බවත් එම කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමතය පළවූ වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් සඳහන් කරන දිසානායක මහතා ඉන් පසු කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකට රටේ නීතියට අභියෝග කිරීමට ඉඩ නොලැබෙන බවද පවසයි.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සියලුම රාජ්‍ය නොවන සංවිධාන තම නීත්‍යනුකූල සීමාවේ සිට කටයුතු කළ යුතු යැයිද එසේ නොකර මාධ්‍යවේදීන් සඳහා පුහුණුවීම්, වැඩමුළු, මාධ්‍ය හමු හා මාධ්‍ය නිවේදන නිකුත් නොකළ යුතු යැයිද ප්‍රකාශ කළ අතර ඊට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් වන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ජේයෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ, වැනි අය එම නිවේදනය නීතිවිරෝධී හා බලරහිත එකක් නිසා තම සංවිධාන එම නියෝගයට අනුව කටයුතු කිරීමට බැඳී නැති බව අවධාරණය කළහ.
0 comments:
Post a Comment