facebook like

දේශපාලන ජාවාරමුන්ගෙන් අම්බානක ගුටි කෑ පොලිස් නිලධාරියා සාක්කි කූඩුවේදී හඬා වැටෙයි

වැලි ජාවාරම්කරුවන් පිරිසක් විසින් සවලකින් සහ පොලුවලින් දරුණු අයුරින් පහරදී සිය දකුණු ඇස සහ මුඛයේ දත් අහිමි කළ අයුරුත් එවකට විසි නව හැවිරිදි තරුණයකුව සිටි තමාගේ මුහුණ එම තුවාල හේතුවෙන් විරූපී වූ අයුරුත් අධිකරණය හමුවේ දිග හැරෙද්දී එය දරාගත නොහැකි වූ රස්නායකපුර පොලිස් ස්ථානයේ හිටපු පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාධීර මහතා පෙරේදා (16දා) නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ සාක්‍ෂි කූඩුවේ සිට හඬා වැටුණේය.
පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාධීර මහතා මෙලෙස හඬා වැටුණේ රස්නායකපුර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සිටියදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ දැදුරුඔයේ සිංගන්දළුව වැලිතොටුපොළෙන් නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ මහා පරිමාණ ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ ජාවාරම්කරුවන් විසින් පහරදී තුවාල සිදුකර රාජකාරියට බාධා කිරීමට තැත් කිරීම, පොලිස් ජීප් රථයකට, ස්වයංක්‍රීය ගිනි අවියකට සහ පණිවුඩ හුවමාරු යන්ත්‍රයකට හානි කිරීම සම්බන්ධව නඩුව පෙරේදා නිකවැරටිය මහෙස්ත්‍රාත් දීපානි කොඩිතුවක්කු මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.


නඩුව පිළිබඳ සාක්‍ෂි ලබාදීම සඳහා පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාධීර මහතා සාක්‍ෂි කූඩුව වෙත කැඳවූ අවස්ථාවේ නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ තෝල්ක මුදලිවරයා විසින් අගතියට පත් පොලිස් පරීක්‍ෂකවරයා පහරදීම පිළිබඳ පොලිසිය වෙත මීට පෙර ලබාදී තිබූ ප්‍රකාශවල නිවැරැදි බව තහවුරු කරන ලෙස දන්වා ඒවා කියවනු ලැබීය.


අදාළ වැටලීමට ගිය තමාට වැලි ජාවාරම්කරුවන් විසින් සවලකින් සහ පොලුවලින් දරුණු අයුරින් පහරදීම නිසා සිය දකුණු ඇස අහිමි වූ ආබාධිතයකු බවට පත්වූ අයුරුත්, එම පහරදීම්වලින් දින 8ක් තිස්සේ සිහිසුන්ව සිටි අයුරුත්, නාසය, බෙල්ල ඇතුළු අවයවවලට හානිවී මුහුණ විරූපී වූ අයුරුත් එම ප්‍රකාශවලින් විස්තර කෙරෙද්දී එය දරාගත නොහැකි වූ පොලිස් පරීක්‍ෂකවරයා සාක්‍ෂි කූඩුවේ සිට කඳුළු සලන අයුරු දැක ගත හැකි විය.


රස්නායකපුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස 2006 මාර්තු මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී එනම් 2006 පළාත් පාලන මැතිවරණය පැවැති දිනයේදී මැතිවරණ කටයුතු සඳහා ආරක්‍ෂාව සලස්වමින් සිටියදී දැදුරු ඔයේ සිංගන්දළුව වැලිතොටුපොළෙන් ලෝඩර් යන්ත්‍රයක් ආධාරයෙන් නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමක් සිදුවන බවට තොරතුරක් ලැබුණු බවට පොලිස් පරීක්‍ෂකවරයා විසින් පොලිසියට ලබාදී තිබූ ප්‍රකාශවල සටහන් වී තිබිණි.
පසුව නිලධාරීන් සිවුදෙනකු සමඟ තමා එම ස්ථානයට ගිය බවත්, පොලිසිය එනු දුටු වැලි ජාවාරම්කරුවෝ ඔයේ එහා ඉවුරට ගොඩවී පලා ගිය බවත්, ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් වැලි ප්‍රවාහනයේ යෙදුණු ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගත් බව පොලිස් පරීක්‍ෂකවරයා විසින් සාක්‍ෂි ලබාදී තිබිණි.
අත්අඩංගුවට ගත් ටිපර් රථයකම නැඟී හඹා යද්දී රියැදුරා විසින් අත්හැර දමා ගොස් තිබූ ලෝඩර් යන්ත්‍රය හමුවූ බවත් එය පොලිසියට ගෙන ඒමට උත්සාහ කිරීමේදී සිසිර නමැති පුද්ගලයකු ඉදිරිපත්වී වැලිගොඩ දැම්මෙව්වේ තමා බව පවසමින් ලෝඩර් යන්ත්‍රය පොලිසියට ගෙන නොයන ලෙස ඉල්ලා සිටි බවද එම සාක්‍ෂිවල සටහන් වී තිබිණි.


පසුව සිසිර නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන දැදුරු ඔය දිගේ ගෙන එමින් සිටියදී එක් වරම ඔයෙහි වාඩිවී පොලිසියට යෑම ප්‍රතික්ෂේප කළ බවත්, ඒ අවස්ථාවේදී එහි පැමිණි පනහකට අධික පිරිසක් තමා ඇතුළු පොලිස් නිලධාරීන් වට කරගත් බවත්, එහි සිටි අයකු විසින් තමාගේ හිස පිටුපසට පොල්ලකින් පහර දුන් බවත්, තෝල්ක මුදලිවරයා විසින් කියැවූ ප්‍රකාශවල සටහන් වී තිබිණි.
පසුව සිසිර නමැති පුද්ගලයාද ඕකව මරාපල්ලා යැයි පවසමින් තමාට සවලකින් පහර දුන් බවත්, ඉන්පසුව පැමිණ සිටි පිරිස විසින් වට කරගෙන තමාට සහ පොලිස් කොස්තාපල් අජිත් නමැති නිලධාරියාට දිගින් දිගටම පහරදුන් බවත් තමාද හැකි පමණින් එම පිරිස සමඟ සටන් කළ බවත් එම ප්‍රකාශවලින් අධිකරණය හමුවේ කියැවිණි.


බිම වැටී සිටි තමාගේ හිසට යම් අයකු විසින් සවලකින් පහර දුන් බවත්, ඉන් පසුව සිදුවූ කිසිවක් මතක නැති බවත් ඉන් දින 8කට පසුව සිහි ලැබෙන විට තමා ජාතික රෝහලේ පසුවූ බවත් පොලිස් පරීක්‍ෂකවරයා ප්‍රකාශ ලබාදී තිබිණි.
මේ පහරදීම්වලින් තමාගේ දකුණු ඇස සහ මුඛයේ දත්ද සදහටම අහිමිවූ බවත්, නාසය, බෙල්ල ඇතුළු අවයවවලට හානිවීමෙන් මුහුණ විරූපී වූ බවත් තමාට ගඳ සුවඳ කිසිවක් නොදැනෙන තත්ත්වයට පත්වී ඇති බවත් එම ප්‍රකාශවල වැඩිදුරටත් සටහන් කර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි මෙහෙයවූ නිකවැරටිය සහකාර පොලිස් අධිකාරි උපුල් චන්දන අධිකාරි මහතාගේ සාක්‍ෂි විමසීම්වලට පිළිතුරු දුන් පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාජීව මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් මෙලෙස සාක්‍ෂි ලබා දුන්නේය.


සහකාර පොලිස් අධිකාරි: ඔබ මේ සාක්‍ෂිවලදී කියා සිටියා සිසිර නමැති අයෙක් ඔබට පහර දුන්නා කියලා. ඒ සිසිර කියන තැනැත්තා මේ අධිකරණයේ රැඳී සිටිනවාද?
පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාධීර: ඔව් ස්වාමීනි, විත්තිකූඩුවේ රැඳී සිටිනවා.
සහකාර පොලිස් අධිකාරි: විත්තිකූඩුවේ සිටින විත්තිකරුවන් අතරින් ඔහු හඳුනාගන්න පුළුවන්ද?
පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාධීර: ඔව්. විත්තිකුඩුවේ රැඳී සිටින විත්තිකරුවන් අතරින් දහවැනියට ඉන්නේ සිසිර කියන පුද්ගලයා.
සහකාර පොලිස් අධිකාරි: ඔබ මේ සාක්‍ෂිවලදී කියා සිටියා ඔබට තවත් පිරිසක් එක්වෙලා පහර දුන්නා කියලා. ඒ පිරිස මේ අධිකරණයේ රැඳී සිටිනවාද?
පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාධීර: ඔව්. විත්තිකූඩුවේ ඉන්නේ ඒ පිරිසයි.


පැමිණිල්ල වෙනුවෙන් පොලිස් පරීක්‍ෂක සුනිල් ජයන්ත මහතාද අධිකරණය හමුවේ සාක්‍ෂි ලබා දුන්නේය.
මේ නඩුවේ විත්තිකරුවන් ලෙස කොබෙයිගනේ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ආර්.ඒ. සිසිර කුමාර, කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි මහින්ද කුමාරසිරි, ජීවන් සුමනසිරි, එන්.එම්. බුද්ධික ප්‍රසාද්, කේ.ඒ. නිලන්ත ප්‍රසන්න, සරත් කුමාර, ඒ. ප්‍රියන්ත කුමාර, එල්.අයි. නුවන් සම්පත්, පී.එම්. නිමල් සිරිවර්ධන, අජන්ත රාමනායක, ආර්.ඒ. ජයලත්, සුජිත් කුමාර, ආර්.ඒ. නීල් රාමනායක, එස්.එච්.එම්. සුනිල්, එස්.ඒ නිලන්ත සමරතුංග, එස්.කේ.එස්. ලක්‍ෂ්මන්, ඒ. අසංක ඉන්ද්‍රජිත් සහ ඩබ්ලිව්. අනිල් ක්‍රිෂාන්ත යන අය නම් කර තිබිණි.


2006 මාර්තු මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී නීති විරෝධී ලෙස රැස්වීම, පොලිස් නිලධාරීන් පිරිසකට තුවාල සිදුකර රාජකාරියට බාධා කිරීමට තැත් කිරීම, මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීම, පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවකු පැහැර ගැනීමට තැත් කිරීම ඇතුළු චෝදනා අටක් යටතේ සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත කොබෙයිගනේ පොලිසිය විසින් මේ නඩු පවරා තිබිණි.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සඳුන් බණ්ඩාර මහතාගේ උපදෙස් මත නීතිඥ අරුණි ගමගේ බණ්ඩාර මහත්මිය පෙනී සිටියාය.
නඩුව අගෝස්තු මස 6 වැනිදා යළි කැඳවීමට නියමිතය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive