facebook like

මනෝ වෛද්‍ය රූමි රූබන් 'දුටු' කරාපිටිය රෝහ‍ලේ හොල්මන් අවතාර

හොල්මන් අවතාරවල අතීතය මිනිස් සංහතියේ ඇරඹුම දක්වාම ඈතට දිව යන්නකි. මිනිසාගේ නොදියුණු වනචාරී සමයේ සිට විද්‍යා තාක්ෂණික අතින් විපුල දියුණුවක් ලත් වර්තමානයේ ද ලොව විවිධ ස්ථානවලින් හොල්මන් අවතාර දැකිය හැක. මේ අතර අප රටින් වාර්තාවන අලුත්ම හොල්මන වාර්තා වන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙනි. එහෙත් එහි විශේෂත්වය එය නොවේ. ශ්‍රී ලාංකීය ජන සමාජයේ ගුප්ත විශ්වාස සහ මානසික සෞඛ්‍ය පිළිබඳ අත්දැකීම් සම්භාරයක් ඇති විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාගේ සේවා ස්ථානයද එම රෝහල වීමය. එබැවින් කරාපිටිය රෝහ‍ලේ දක්නට ලැබුණු එම හොල්මන් අවතාර පිළිබඳව වෛද්‍ය රූබන්ගෙන්ම අසා දැන ගන්නට අපි අදහස් කළෙමු. එහිදී වෛද්‍යවරයා එම සමස්ත සංසිද්ධියම රැජිණ පාඨක ඔබ හමුවේ ගෙනහැර දක්වන ලද්දේ මෙලෙසිනි.
මා සේවය කරන කරාපිටිය රෝහ‍ලේ හදිසි සත්කාර ඒකකයෙහි සේවකයන් දෙදෙනකු දිනක් රාත්‍රී සේවයෙහි යෙදී සිටියදී ඔවුනට ශල්‍යාගාරයට රෝගියකු ගෙන යාමට සිදුවිය. වෙලාව අලුයම දෙක පමණ වී ඇතැයි කියනු ලැබේ. රෝගියාව ශල්‍යාගාරයට භාරදී ඔවුන් හිස් ටේ‍රාලිය තල්ලු කරගෙන ආපසු හදිසි සත්කාර ඒකකය වෙත එමින් හිඳ ඇත. ඒ අවස්ථාවේ රෝහල් කොරිඩෝව තුළ ඇත්තේ තදබල පාළු ස්වභාවයකි. සමහර ස්ථානවල විදුලි පහන් දැල්වුණු අතර තවත් තැන්වල විදුලි බුබුළු අක්‍රියවීම නිසා දැඩි පාළු අඳුරු ස්වභාවයක් ඉසිලීය. හදිසි සත්කාර ඒකකයේ සිට ශල්‍යාගාරයට මීටර් පන්සියයක පමණ දුරක් පවතියි.
මේ සේවකයන් දෙදෙනාම සිටියේ නිදිමතේය. එක් අයෙක් ටේ‍රාලිය ඉදිරිපසින් ඇදගෙන ගිය අතර අනෙක් සේවකයා ටේ‍රාලිය මැද හරියෙන් අල්ලාගෙන යන්නට විය. මේ අතර සුදු ඇඳ, කෙස් පිට දිගට කඩා දමා ගත් බැලූ බැල්මට වයස්ගත පෙනුමකින් යුතු කාන්තාවක් අමාරුවෙන් කකුලක් අද්දවමින් කොරිඩෝව දිගේ යනු පෙනිණි. ඇගේ මුහුණ හරිහැටි ඒ මොහොතේ නොපෙනුණේ ඇය ඔවුනට පිටුපා ඉදිරියෙන් ගමන් කළ නිසාය. කෙසේ වුවද ඇය රෝගියකු විය හැකි නිසා ඇය පිළිබඳ අනුකම්පාවෙන් ඔවුහු ටේ‍රාලිය නතර කළහ.
‘නගින්න’ එක් අයකු කීය. එහෙත් කාන්තාව නැගුණේ ටේ‍රාලියේ පසුපසටය. ඇය බංකුවක වාඩිවන ආකාරයෙන් එහි පිටුපස කෙළවර වාඩි වී දෙපා පහළට දමාගෙන සිටියාය. දැන් ටේ‍රාලිය නැවතත් ගමනේ යෙදෙයි. ටේ‍රාලියේ ඉදිරිපසින් අල්ලා ගෙන එය ඇදගෙන යන තැනැත්තාට ටේ‍රාලිය පෙනෙන්නේ නැත. ටේ‍රාලියේ පැත්තක සිට මැද හරියෙන් එය අල්ලාගෙන යන තැනැත්තාට ටේ‍රාලියේ පසුපස පෙනෙන්නේ නැත. එසේම ටේ‍රාලිය පසුපස කෙළවර වාඩිවී හුන් කාන්තාවගේ සිරුරේ බර ද ඔවුන්ගේ අතට දැනෙන තරමක නොවීය. එය නවීන පන්නයේ ටේ‍රාලියක් වීම එයට බලපෑ තවත් හේතුවකි. සෑහෙන දුරක් ගොස් හදිසියේ පසුපස බැලු එක පුද්ගලයකුට පෙනුණේ කාන්තාව ටේ‍රාලියෙහි නැති බවකි. ඔවුන් තුළ මෙය මහත් පුදුමයක් ඇති කරවන්නට සමත් වූයේ ඇයට පිටවී යන්නට තැනක් හෝ දොරවල් ඒ අසලක නොවීම නිසාය.
මේ සේවකයන් දෙදෙනාගෙන් එක් අයෙක් කලක සිට මෙම රෝහ‍ලේ සේවයේ යෙදෙයි. අනෙක් පුද්ගලයා රෝහලට අලුත්ය. එම කාන්තාව කෙස් වැටිය කඩා දමාගෙන සිටියත් ඇය ටේ‍රාලියට නගිද්දි ඔවුහු ඇගේ මුහුණ දුටුවහ. ඒ අනුව පැරණි සේවකයාට මේ කාන්තාව කලකට ඉහතදී මෙහි සේවය කර මිය ගිය තමා හොඳින් දන්නා හඳුනන කාන්තාවකගේ මුහුණුවරම ඇති අයකු බව හදිසියේ සිහිපත් විණි. ඒ කාන්තාව සමග මේ තැනැත්තාද එකට සේවය කර ඇති අතර ඇය මියගොස් තිබුණේ ඊට වසර එකහමාරකට පමණ පෙරදීය. ඒ අනුව මේ පැමිණ තිබෙන්නේ එම කාන්තාවගේ අවතාරයක් විය හැකි බව ඔහුට කල්පනා විය.
කරාපිටිය රෝහල තුළ මෙය කටින් කට පැතිර යන්නට ගියේ ඉතාමත්ම කෙටි කාලයකි.
දිනක් රෝහ‍ලේ සේවය කරන අධීක්ෂණ නිලධාරියකු රාත්‍රී සේවයේ යෙදී සිටින අතරේ වැසිකිළියට ගියේය. ඔහුටද ඉහත කී සිද්ධිය සැලවී තිබිණි. ඔහු ගිය වැසිකිළිය තිබුණේ වකුගඩු කාන්දුකරණ ඒකකයට නුදුරිනි. එකවරම කාන්තාවක් තමන්ගේ නම කියා කතා කර තම අතින් අදිනු ඔහුට දැනිණි. නමුත් ඔහු හැරී බැලුවත් කිසිවකු සිටියේ නැත. ඉහත කී සිද්ධිය ඒ මොහොතේ සිහිපත් වී ඔහු අධික ලෙස බියට පත් වූ අතර තද හිසරදයක් සමග ඔහුට වමනය යන්නට විණි.
රෝහ‍ලේ මෘත ශරීරාගාරය තිබෙන්නේ මනෝ වෛද්‍ය ඒකකයට නුදුරිනි. මෘත ශරීරාගාරය පිහිටි ප්‍රදේශය පාළු බවක් උසුලයි. එදෙසට වැටී ඇති කොරිඩෝව දෙපස ඇත්තේ පාළු කාමරයි. පසුගිය දිනෙක රාත්‍රියේ සේවකයෝ දෙදෙනෙක් ටේ‍රාලියක මළ සිරුරක් තබාගෙන මෘත ශරීරාගාරය වෙත රැගෙන යමින් සිටියහ. සුදු ඇඳගත් කාන්තාවක් පිටුපසින් එනු සේවකයන්ට පෙනිණි. කොරිඩෝව පටු නිසා ටේ‍රාලිය පැත්තකට කර සේවකයන් දෙදෙනා නතර වුණේ එම කාන්තාවට ඉඩදීම සඳහාය. නමුත් ඔවුන් නතර වූ විට කාන්තාවද නතර වූවාය. පසුව සේවකයන් දෙදෙනා යළිත් යන්නට ගියේ ඇය තමන් පසුකර යන බවක් නොපෙනුණු  නිසාය. යළිත් කාන්තාව තමන්ට ආසන්නයෙන් එන බව පෙනුණු නිසා සේවකයන් ඇයට ඉඩදී පසෙකට වුවද කාන්තාව පෙර පරිදිම නතර වූවා මිස ඔවුන් පසුකර ගියේ නැත. යළිත් සේවකයෝ ටේ‍රාලිය තල්ලු කරගෙන යන්නට ගියහ. මඳ වෙලාවකට පසු කාන්තාව ආගිය අතක් නැතිව ගිය අතර ඇයට යන්නට තැනක් ඒ ස්ථානය ආසන්නයේ නොතිබිණි. සේවකයන් දෙදෙනාට  පුදුමයක් මෙන්ම බියක්ද දැනිණි. ඇය නොපෙනී ගියේ අතුරුදහන් වීම නිසා බව ඔවුන්ගේ විශ්වාසය විණි. ඉන්පසු ඔවුන් ටේ‍රාලිය තල්ලුකරගෙන මෘත ශරීරාගාරයට ගියේArtත් ලොකු බියකිනි. මෙම සිදුවීම් ජන මාධ්‍යවලින් අනාවරණය වීමත් සමග කරාපිටිය රෝහ‍ලේ ඇතැයි පැවසෙන හොල්මන් අවතාර පිළිබඳව රට පුරා කතා බහක් ඇති වී ඇත. එමෙන්ම ඒවායේ සත්‍යතාව තහවුරු කිරීම පිණිස මාධ්‍යයද කිසියම් උත්සාහයක යෙදෙනු පෙනෙයි. එබැවින් මෙහි මනෝ විද්‍යාත්මක පක්ෂයද විමසා බැලිය යුතුය.
මෙහි පළමු සිද්ධියේ සේවකයා ටේ‍රාලියට නංවාගත් කාන්තාව ඔහු සමග කලක් එකට රාජකාරි කර මිය ගිය කාන්තාවකට සමානය. කරාපිටිය වැනි රෝගීන් විශාල සංඛ්‍යාවක් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහලක රෝගියකු මිය යාම අහඹු සිදුවීමක් නොවේ. සුනාමිය දිනයේදී මෙම රෝහ‍ලේ මළ සිරුරු හාර පන්සීයක් පමණ තිබෙන්නට ඇත. නමුත් ඒ කිසිදු අයෙකුව ඉන්පසු කවුරුවත් කිනම් ආකාරයකින්වත් දැක නොතිබිණි. මෙම සිද්ධියේ ඇති විශේෂත්වය වන්නේ තමන් සමග එකට රාජකාරි කටයුතු කළ අයකු මිය  යාමය. තමන් නිතර දුටු ඇසුරු කළ අයකු මිය ගිය විට එය හදවතට වැඩියෙන් දැනෙනු ඇත. ඒ අනුව එවැනි අයකු සිතේ තැන්පත් වීමේ නැතහොත් ‘හොල්මන් කිරීමේ’ හැකියාවද වැඩිය.
මෙම ටේ‍රාලිය නවීන තාක්ෂණය අනුව නිර්මාණය වූවකි. එය පහසුවෙන් ඇදගෙන යා හැකි අතර පිටුපසින් වාඩි වී හිඳින අයෙක් එක් වරම බැස්සත් එය නොදැනීමට තිබෙන අවස්ථාව වැඩිය. ටේ‍රාලියේ බර වෙනස්වීම අතට නොදැනෙන තරමේ එකකි. එනිසා පසුපස වාඩිවි සිටි කාන්තාව පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුවී නැත. ඇය නැති බව ඔවුන් දැන ගත් අවස්ථාවේ ඒ අවට ඇයට  පිටවී යන්නට තැනක් නැති නිසා ඔවුන් තුළ බියක් ඇතිවීම පුදුමයක් නොවේ. නමුත් ඇය සෑහෙන වෙලාවකට පෙර ටේ‍රාලියෙන් බැස යන්නට ඇති බව නිසැකය. ඔවුන් මුලදී මේ කාන්තාව පිළිබද බියක් ඇති කර ගත්තේ නැත. නමුත් ඇය එක්වරම නැතිව ගිය පසු ඇය මිය ගිය කාන්තාවට සමාන පෙනුමින් යුතු වූ අයකු බව මුල් වරට පසක් විය. ඒ අනුව එම සේවකයන් තුළ තදබල බියක් ඇති වූ අතර ඒ බිය වීම නිසාම ඇය කොයි මොහොතක හෝ ටේ‍රාලියෙන් බැස ගොස් තිබිම ඔවුන් සැලකුවේ අතුරුදන් වීමක් ලෙසිනි. එබැවින් මෙම හොල්මන නිර්මාණය වීමට හේතු වී ඇත්තේ එම කාන්තාව ටේ‍රාලියෙන් බැසීම නොව කලකට ඉහත මියගිය කාන්තාව එම සේවකයාගේ මතකයට නැඟීමය.
මෙවැනි භාවයන් ඉස්මතු කරවන සිද්ධියක් කවුරුන් හෝ එක් අයෙක් පැවසූ පසු එය වේගයෙන් පැතිර යාම බොහෝ විට සිදුවන්නකි. එයට එක් හේතුවක් වන්නේ මෙවැනි ගුප්ත දේවල්වලට සහජයෙන්ම අප තුළ පවතින කැමැත්තය. විශේෂයෙන්ම මෙම සිද්ධිය පිළිබඳව ගත් කල එම කාන්තාව පිළිබඳව මතකය මේ සේවකයන් දෙදෙනාගෙන් පැරණි සේවකයා තුළ තිබෙන නිසා ඔහු සමග සිටි මිතුරා එය දන්නේ නම් ‘මටත් එයාව පේන්න පුළුවන්’ යනුවෙන් සිතෙන්නට පුළුවන. ඒ කාන්තාව ඉන්පසුව දුටුවේයැයි කියන බොහෝ දෙනෙකුට ඒ සම්බන්ධයෙන් සිතේ හටගත් බිය නිසා මනෝ භ්‍රාන්තියක්  (Hallucination) එනම් තමාගේ දෑස් ඉදිරිපිට මැවී පෙනෙන සැබෑවක් නොවන රුපයක් ඇඳුනා විය හැකිය. අවතාර පිළිබඳ සිතේ බියකින් පසුවන විට එබඳු නොයෙකුත් රූප ව්‍යාජ මනෝ භ්‍රාන්ති ලෙස දෑස ඉදිරිපිට මැවී පෙනෙන්නට පුළුවන. ස්වභාවික පරිසරය තුළදී දකින එවැනි මනෝභ්‍රාන්ති වැඩි දෙනෙක් අර්ථ දක්වන්නේ සැබෑවටම දුටු සත්‍ය දේවල් ලෙසිනි. නිදසුනක් ලෙස මෙවැනි අවස්ථාවක බිත්තියක අත වැදුනොත් එය කිසිවකු විසින් අතින් ඇදීමක් ලෙස ඒ මොහොතේ හැඟී යන්නට බැරිකමක් නැත. එයට හේතුව එම මනෝ භ්‍රාන්තිය ඒ අවස්ථාවේ දැඩිව සිතේ කා වැදී තිබිම නිසා තමන්ට දැනෙන හැම දෙයක්ම එයට අනුකුලව දැකීමයි.
දෙවන සිද්ධිය සම්බන්ධ මනෝ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය මෙලෙස දක්වන්නට පුළුවන. කිසියම් දෙයකට අපේ සිතේ බයක් ඇතිවූ විට ඇඩ්‍රිනලින් හෝමෝනය වැඩියෙන් ශ්‍රාවය වීම මත සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ ක්ෂණික වෙනසක් ඇතිවේ. එවිට නොයෙකුත් කාංසාමය තත්ත්වයන් ඇති වන අතර ඒ නිසා කෝපය කලබල ගතිය වැනි විවිධ ලක්ෂණ පහළවෙයි. හිසරදය, වමනය, උණ, ඇඟපත සීතල වීම, වෙව්ලීම, තොලකට වෙව්ලීම ආදී ලක්ෂණ මෙම සිද්ධියට මුහුණ දුන් අධීක්ෂණ නිලධාරියාට ඇතිවීමත් එහි ප්‍රතිඵලයකි. එවැනි ලක්ෂණ ඇති වන විට මුලින් ඇති වූ බිය තවත් වැඩිවෙයි.
හොල්මන් අවතාරවලට මිනිසුන් බිය බව ඇත්තකි.  එහෙත් එවැනි හොල්මන් කතා, භූත කතා ඇසීමට මිනිසුන්ට ආශ්වාදජනකය. විශේෂයෙන් අපේ සංස්කෘතිය තුළ මෙවැනි දේවල් පවතින නිසා ඒවා අපේ මනැස්වල මුල් බැස තිබිම එයට හේතුවයි. අනෙක් අතට මෙවැනි සිද්ධියක් පිළිබඳව තවත් කෙනෙකුට පවසන විට තවත් ටිකක් වැඩිපුර අතින් එකතු කර කියන්නට ඕනෑම කෙනෙක් පෙළඹෙන්නේ එහි අද්භූත රසය වැඩි කිරීම සඳහා මෙන්ම ඒ කෙරෙහි වැඩි අවධානය යොමු කරවීම, ඒ ඔස්සේ තමන්ට ප්‍රසිද්ධිය ලබා ගැනීම වැනි කරුණුද සිත යට සැඟව පවතින බැවිනි. ඊළඟට එය දැනගත් පුද්ගලයා තවත් කෙනෙකුට කියන්නේ තමනුත් අතින් ටිකක් එකතු කරමිනි. අවසානයේ පුද්ගලයන් විශාල ප්‍රමාණයකගේ කටින් කට යනවිට එතැන වෙනම කතාවක් ගෙතී හමාරය.
මෙවැනි සුළු සිද්ධියක් මුල් කොටගත් ප්‍රබන්ධ කතා ඇතිවීමට අමතරව දුර්වල පෞරුෂ ඇති අයට ව්‍යාජ භ්‍රාන්ති ලෙස ඒවා පෙනීමටද පුළුවන. සාමාන්‍යයෙන් අවතාර ලෙස ව්‍යාජ භ්‍රාන්ති පෙනිය හැකි අතර කොන්ක්‍රීට් කණු, මද විදුලි එළියකින් හෝ සඳ එළියෙන් පෙනෙන සෙවණැලි පවා මෙලෙස හොල්මන් ලෙස රාත්‍රියේදී කෙනෙකු බියට පත්විය හැකි ඒවාය. කෙසේ හෝ මේවායින් අවතාර කතා ගෙතී ඒවා පැතිරෙන විට බොහෝ දෙනෙකුගේ සිතේ අවතාර පිළිබඳ සංකල්ප යළියළිත් තහවුරු වෙයි. එවිට ඔවුන් හැම විටම සිටින්නේ අවතාර පිළිබඳ කල්පනාවෙනි. සිතේ පවතින එම බලපැම නිසා යළියළිත් අවතාර යැයි අපි සලකන බිය වන මොනවා හෝ දේවල්  දකින්නට දැඩිසේ අවකාශය ඇත.
මෙවැනි හොල්මන් අවතාර කතා පැතිරීම ලොව පුරා සිදු වුවත් ඒවායේ පැතිරීමේ වේගය සහ රටාව ජන සමාජයෙන් සමාජයට වෙනස් බව මේ වන විට අනාවරණය වී තිබේ. එමෙන්ම කිසියම් සමාජයක දක්නට ලැබෙන ඇතැම් හොල්මන් ඒ සමාජ සංස්කෘතික ධාරාව හා බද්ධ වී ඇති බවද අනාවරණය වී තිබේ. අතීතයේ අප රටේ දක්නට ලැබුණු මෝහිනිය රෙද්දක්, හැට්ටයක් හැඳ සිටීම සහ නූතන සමාජයෙන් එම රෙදි හැට්ට විලාසිතාව ඉවත්ව යාමත් සමග මෝහිනීගේ එම ඇඳුම ද වෙනස් වී දර්ශනය වීම මීට එක් නිදසුනකි. කෙසේ හෝ මානසික බලපෑම් මතින් දක්නට ලැබෙන මෙබඳු ව්‍යාජ භ්‍රාන්තීන් දැකීමෙන් බියට පත්වන ඇතැමුන් සඳහා ශාන්ති කර්ම සිදු කිරීම අප රටේ සාම්ප්‍රදායිකව සිදු වන්නකි.
එම ශාන්ති කර්ම සියයට සියයක්ම ප්‍රතිඵලදායක නොවුවද එම ශාන්ති කර්ම වලින් ලැබෙන ගුණයට වඩා තිරසාර ගුණයක් ඊට වඩා කෙටි කාලයක්, අඩු ශ්‍රමයක් යටතේ ලබාදීමට නවීන මනෝ වෛද්‍ය විද්‍යාවට පුළුවන. ඒ මක්නිසාද යත් එලෙස හොල්මන් අවතාර දැකීමෙන් පසු ඇතිවිය හැකි සියලු මානසික කම්පන තත්ත්වයන් නියුරෝසීය මානසික රෝග වශයෙන් ඉතා පැහැදිලි ලෙසම නවීන මනෝ වෛද්‍ය විද්‍යාවෙන් අනාවරණය වී ඇති බැවිනි.

සැකසුම ඉන්දු පෙරේරා

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive