සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කළ මුදල් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඊයේ ඉවත් විය.
මෙම පෙත්සම් විභාග කරන විනිසුරු මඩුල්ලේ තමා සිටිනවාට අකමැත්ත ප්‍රකාශ කරමින් නිර්ණාමික ලිපි කීපයක් තමාට ලැබී ඇති බවත් ඇතැම් ලිපි බෙදාහැර ඇති බව තමාට දැනගන්නට ලැබී ඇති බවත් ඒ හේතුව මත පෙත්සම් විභාගයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් ඊයේ පෙත්සම් විභාගයට කැඳවූ අවස්‌ථාවේ මුලින්ම දන්වා සිටියේය.
අනතුරුව ඔහු ඒ පිළිබඳව පෙත්සම්කරුවන් හා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් වෙන වෙනම අමතා අදහස් විමසූ විට ගෝල්ඩන් කී සමාගමේ සභාපති ලලිත් කොතලාවල ඇතුළු අධ්‍යක්‍ෂවරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඇතුළු සියලුම නීතිඥවරු ඔහුගෙන් ඉල්ලා සිටියේ විනිසුරු මඩුල්ලෙන් අස්‌නොවී දිගටම කටයුතු කරන ලෙසයි.
එහෙත් මෑතදී පෙත්සම් විභාගයට ඇතුල් වූ ගෝල්ඩන් කී සමාගමේ සේවකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතා කියා සිටියේ අගවිනිසුරුවරයා හමුවේ පෙත්සම් විභාග කරනවාට ඔහු පුද්ගලිකව විරුද්ධ නොවන නමුත් ඔහුගේ සේවාදායකයන්ගේ වැඩි කැමැත්තක් නැති බවයි.
ගෝල්ඩන් කී සමාගමේ සේවකයන් මෙම නඩුවට මැදිහත් වූයේ ඔවුනට හිමි රුපියල් බිලියන 06 ක් වටිනා කොටස් මුදල් තැන්පත්කරුවන්ට ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීමට මෙම නඩුවෙන් ගෙන ඇති තීරණයට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමටයි.
කෙසේ වුවද තමා මෙම පෙත්සම් විභාග කරනවාට සුළු වශයෙන් හෝ විරෝධයක් එල්ලවනවා නම් තමා විනිසුරු මඩුල්ලෙන් ඉවත් වෙන බව සඳහන් කළ අගවිනිසුරුවරයා කිසිවකු අපහසු තත්ත්වයකට පත් කිරීම තමා පිළිගත් ප්‍රතිපත්තිය නොවන බවද කීය.
සෑහෙන කාලයක් තිස්‌සේ ඇදී ගිය මෙම නඩු විභාගයට අවසාන විසඳුමක් ලැබීමට දැන් ඉතා ආසන්නයි. තව දින දෙකකට වඩා නඩුව කැඳවීමට අවශ්‍ය වන්නේ නැහැ. මා වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් විනිසුරුවකු විනිසුරු මඩුල්ල නම් කරනවා. ඒ විනිසුරුවන් තිදෙනා නීතියට අනුව සාධාරණ තීන්දුවක් දේවි යෑයි අගවිනිසුරුවරයා සඳහන් කළේය.
මෙම පෙත්සම් විභාග කළ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා හැටියට කටයුතු කළේ අගවිනිසුරු මොහාන් පීරිස් මහතායි. කේ. ශ්‍රීපවන් සහ රෝහිනි මාරසිංහ අනිත් සාමාජික විනිසුරුවන් දෙදෙනායි.
අගවිනිසුරුවරයා විභාගයෙන් ඉවත් වෙනවාට විරුද්ධත්වය පළ කරමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ සප්රුල්ලා මහතා කියා සිටියේ අගවිනිසුරුවරයාට යම් විරෝධයක් තිබුණා නම් පෙත්සම් විභාගයට ගැනීමට පෙර කළ යුතුව තිබුණ බවයි. ඔහු පෙත්සම් විභාග කරනවාට කැමති දැයි ඔහු මුලින්ම විමසීමක් කළ අවස්‌ථාවේදී කිසිවක් නොකියා නිහඬව සිට විභාගය අවසන් වීම ආසන්නව තිබියදී විරෝධයක් මතු කිරීම සාධාරණ නැතැයි ද ඔහු කීය.
අධිනීතිඥ කේ. එන්. චොක්‌සි (කනිෂ්ඨ) මහතා ද අගවිනිසුරුවරයා පෙත්සම් විභාගයෙන් ඉවත් වනවාට විරුද්ධ විය. අධිකරණය හමුවේ ඇති මෙම ප්‍රශ්නය විසඳුමකින් තොරව තවත් දිගටම ඇදගෙන යැම සඳහා යෙදූ උපක්‍රමයක් ලෙස ද අගවිනිසුරුවරයාට එල්ල වූ විරෝධය ඔහු හැඳින්වීය.
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවීමට ඇති මුළු මුදල රුපියල් බිලියන 26 න් මේ වන විට ඉතා සුළු ප්‍රමාණයක් ගෙවා ඇති අතර ලලිත් කොතලාවල ඇතුළු ගෝල්ඩන් කී සමාගමේ අධ්‍යක්‍ෂවරුන්ගේ චංචල හා නිෂ්චල දේපළ විකුණා 40% ප්‍රමාණයක් ගෙවීමට කටයුතු පිළියෙල කර ඇත. ගෝල්ඩන් කී සමාගමේ සේවකයන්ගේ රුපියල් බිලියන 06 ක පමණ කොටස් ද තැන්පත්කරුවන්ට හිඟ මුදල් ගෙවීම සඳහා යොදා ගැනීමට ද තීරණය වී ඇත.
පෙත්සම් විභාගය සඳහා සැප්. 01 දාට යළි කැඳවනු ඇත.
0 comments:
Post a Comment