facebook like

රොනී කෙනකු හෝ ඇන්.ඇම්. කෙනකු ඕනෑ කර තිබේ

"පී.බී. ජයසුන්දර කියන්නේ ආර්ථික ඝාතකයෙක්."
- අමාත්‍ය විමල් වීරවංශ
"ආර්ථිකය තියෙන්නේ ලොකු අනතුරක."


- ජේ‍යෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර
"විනෝදාස්වාදය මත පදනම් වුණු ආර්ථික ක්‍රමවේදයකින් ලංකාවට ඉදිරියට යන්න බැහැ. තාක්ෂණය සහ කර්මාන්ත මත පදනම් වුණු අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට අවශ්‍යයි."


- අමාත්‍ය චම්පික රණවක


පහුගිය දවස්වල මහින්දගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් මහින්දගේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව අවි අතට ගන්නේ ඔන්න ඔය විදියටය. මේ කවුරුත් එක එක විදියට කිව්වේ මේ යන විදියට ගියොත් වැඩි දුරක් යන්න බැහැ කියලාය.


"ඇයි හදිසියේම මහින්දගේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවලට මහින්දගේම කැබිනට් ඇමැතිවරුන් මේ විදියට පහර දෙන්නේ?"
එහෙම අහන කෙනකුට කියන්න තියෙන්නේ මේ ප්‍රේමදාස පටන් ගත්ත වැරැද්දක් දිගින් දිගටම සිද්ධවීමේ අතුරු ප්‍රතිඵලයක් කියලාය. 89දී ප්‍රේමදාස අගමැති වෙන්න කලින් මේ රටේ මහා භාණ්ඩාගාරය භාරව හිටියේ ප්‍රබල ඇමැතිවරුන්ය. ජේ.ආර්. ජයවර්ධන, එන්.එම්. පෙරේරා, රොනී ද මැල් ආදී මහජන ඡන්දයෙන් තේරී පත්වූ ප්‍රබල දේශපාලනඥයෝ මුදල් ඇමැතිකම දැරූහ. රාජ්‍ය නායකයා භාණ්ඩාගාරයට ඇඟිලි ගහන්න ගියේ නැත. රටේ ජනතාවගේ හද ගැහෙන රාවය හඳුනන මුදල් ඇමැති කෙනෙක් 89ට කලින් තිබුණු හැම ආණ්ඩුවකම හිටියේය.


ඒ නිසා රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නකොට මේ මුදල් ඇමැතිවරු අංක ගණිත සූත්‍රවලට අමතරව ජනතාවගේ නාඩි වැටෙන විදිය ගැනත් අවධානය යොමු කළහ. මොකද තමන්ට තව අවුරුදු 5කට පස්සේ ආපහු ජනතාව ඉස්සරහට ගිහින් ඡන්දය ඉල්ලන්න තියෙන බව මේ අයට මතක තිබුණේය. ඉතින් ආර්ථිකය ගැන තීන්දු තීරණ ගැනීමේදී ජනතාව ගැන, ජනතාව හිතන පතන විදිය ගැන, ජනතාව කන බොන විදිය ගැන කල්පනා කළහ.


හැබැයි 89න් පස්සේ මේ තත්ත්වය වෙනස් විය. ප්‍රබල මුදල් ඇමැති කෙනකු පත් කරනවා වෙනුවට තමන්ට හිතවත් අයකු මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස පත්කර භාණ්ඩාගාරයේ බලය තමන් සතු කර ගන්න ප්‍රේමදාස කටයුතු කළේය. ප්‍රේමදාස ඒකට යොදා ගත්තේ පාස්කරලිංගම්ය. ප්‍රේමදාසගේ ආණ්ඩුවේ පාස්කරලිංගම් කියන්නේ කැබිනට් ඇමැති කෙනකුටත් වැඩිය බලවත් පුද්ගලයෙකි. ආර්ථිකය සම්බන්ධ තීන්දු තීරණ ගැනුණේ පාස්කරලිංගම්ට ඕනෑ විදියටය. ප්‍රේමදාසගේ ආණ්ඩුවේ බොහෝ කැබිනට් ඇමැතිවරුන් හිටියේ පාස්කරලිංගම් එක්ක මල පැනලාය. මොකද පාස්කරලිංගම් වැඩ කළේ ජන හද ගැහෙන රාවය හඳුනාගෙන නොවේ.

පාස්කරලිංගම් වැඩ කළේ ඉලක්කම් මත පමණක් පදනම් වෙලාය. එනිසා ආර්ථිකය ගැන තීන්දු තීරණ ගැනීමේදී පාස්කරලිංගම්ට ජනතාව අමතක වුණේය.
ප්‍රේමදාස මියගියාට පස්සේ ජනාධිපති පුටුවට ආපු ඩී.බී. විජේතුංගත් මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විදියට පත් කළේ පාස්කරලිංගම්ය. ඩී.බී.ටත් ඕනෑ වුණේ පාස්කරලිංගම් මහා භාණ්ඩාගාරයේ ලේකම් කරලා මුදල් ඇමැතිකමේ බලය තමන් අතට ගන්නය. ප්‍රබල මුදල් ඇමැතිවරයකු වෙනුවට ප්‍රබල මහා භාණ්ඩාගාර ලේකම්වරයකු කරළියට එන්නේ ඔන්න ඔය විදියටය.


ඩී.බී.ගෙන් පස්සේ බලයට එන චන්ද්‍රිකා මහා භාණ්ඩාගාරය භාර දුන්නේ පී.බී. ජයසුන්දරටය. චන්ද්‍රිකා කළේත් ප්‍රේමදාස හා ඩී.බී. පාස්කරලිංගම් හරහා කළා වාගේ පී.බී. හරහා භාණ්ඩාගාරයේ බලය තමන් සතුකර ගැනීමය. ප්‍රේමදාසගේ කාලයේදී හා ඩී.බී.ගේ කාලයේදී පාස්කරලිංගම්ගේ ඒකාධිකාරයක් තිබුණා වාගේ චන්ද්‍රිකාගේ කාලයේදී පී.බී.ගේ ඒකාධිකාරයක් ඇති වුණේය. පී.බී.ගේ ඒකාධිකාරය හොඳ වුණත් නරක වුණත් ඒක චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට නම් වහ කදුරු වාගේ විය. මොකද පී.බී.ගේ බලය කැබිනට් ඇමැතිවරුන්ගේ බලය අභිභවා ගිහින් තිබිණි. කැබිනට් ඇමැතිවරුන් හිටියේ පී.බී.ත් එක්ක මල පැනලාය. මොකද පී.බී. තීන්දු තීරණ ගත්තේ චන්ද්‍රිකාට ඕනෑ විදියටය. පී.බී.ට බලපෑමක් කරන්න පුළුවන් තත්ත්වයක් කැබිනට් මණ්ඩලයටවත් නොවීය.


චන්ද්‍රිකාගෙන් පස්සේ බලයට ආපු මහින්දත් ප්‍රේමදාසගෙන් පස්සේ බලයට ආපු ඩී.බී. පාස්කරලිංගම්ව මහා භාණ්ඩාගාරයේ ලේකම් කළා වාගේ පී.බී.ව මහා භාණ්ඩාගාරයේ ලේකම් කළේය. ගැටුම ඇරැඹෙන්නේ එතැන් සිටය. කැබිනට් ඇමැතිවරු බොහෝ දෙනෙක් පී.බී.ට එරෙහිව අවි අමෝරා ගත්හ. හැබැයි මහින්ද හැම වෙලාවේම පී.බී.ව ආරක්ෂා කළේය. ඊට හේතුව මහින්ද පී.බී. හරහා මහා භාණ්ඩාගාරයේ බලය තමන් සතුකරගෙන තිබීමය. පී.බී.ට එරෙහිව මුකුත් කරන්න කැබිනට් ඇමැතිවරුන්ට පවා බලයක් නැත.


විමල්ලාගේ, ඩිව්ලාගේ, චම්පිකලාගේ කටවල්වලින් ආර්ථිකය ගමන් කරන දිසාව ගැන එක එක විදියේ විවේචන මතු වෙන්නේ එවැනි පසුබිමක් තුළය. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න ඕනෑ නම් එදා ජේ.ආර්.ලා, ඇන්.ඇම්.ලා, රොනීලා වාගේ ශක්තිමත් මුදල් ඇමැතිවරුන් බිහිවෙන්න ඕනෑය. අංක ගණිත සූත්‍ර මත විතරක් පදනම් වෙලා තීරණ නොගන්නා ජනතාවගේ හද ගැහෙන රාවය තේරුම් ගෙන තීන්දු ගන්නා මුදල් ඇමැතිවරුන් බිහි වෙන්න ඕනෑය.
ඡන්දයකින් තේරී පත් නොවූ කෙනකුට මහා භාණ්ඩාගාරයේ වැඩි බලතල හිමි වුණාම ඒ පුද්ගලයා තීන්දු තීරණ ගන්නේ අංක ගණිතය මත පමණක් පදනම් වෙලාය. එවැනි තීන්දු ආණ්ඩුවක් වැටෙන්න තියෙන පළමු පියවර වෙන්න බැරි නැත. මුදල් ඇමැතිවරයාට වඩා මහා භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රබල වීම ආණ්ඩු වැටෙන්න ප්‍රබල හේතුවක් වන බවට හොඳම උදාහරණය 2001දී පිහිටුවපු රනිල්ගේ ආණ්ඩුවය. රනිල් බොරුවට නමට විතරක් චොක්සිව මුදල් ඇමැති ධුරයට පත්කර තමන්ගේ මිත්‍රයා වන චරිත රත්වත්තේව මහා භාණ්ඩාගාරයේ ලේකම් තනතුරට පත්කර ගත්තේය.


චරිත රත්වත්තේ තීන්දු තීරණ ගත්තේ රනිල්ගේ කැබිනට් මණ්ඩලයට ඕනෑ විදියට නොවේ. චරිත රත්වත්තේ ගත්ත බොහෝ තීන්දු තීරණ මේ රටේ ජනතාව අනුමත කළ ඒවා නොවීය. චරිත රත්වත්තේ ජනතාවගෙන් ඡන්දය ඉල්ලන්න නොයන නිසා තමන් ගත්ත තීන්දු තීරණවලට ජනතාව අකැමැතිවීම චරිතට ප්‍රශ්නයක් නොවීය. චරිත ගත්ත තීන්දු තීරණ නිසා හොම්බ බිම ඇනුණේ රනිල්ගේ ආණ්ඩුවේ හිටිය මැති ඇමැතිවරුන්ගේය. මොකද මහ පාරට බැහැලා ජනතාවට උත්තර දෙන්න වුණේ චරිතට නොව ඒ මැති ඇමැතිවරුන්ටය.


ඉතින් එහෙම බලනකොට අද මහින්ද ඉන්නේ එදා ප්‍රේමදාස, ඩී.බී., චන්ද්‍රිකා හා රනිල් හිටපු තැනය. මහින්දගේ කැබිනට් මණ්ඩලය අද ඉන්නේ එදා ප්‍රේමදාසගේ කැබිනට් මණ්ඩලය, ඩී.බී.ගේ කැබිනට් මණ්ඩලය, චන්ද්‍රිකාගේ කැබිනට් මණ්ඩලය හා රනිල්ගේ කැබිනට් මණ්ඩලය හිටපු තැනය. පී.බී. අද ඉන්නේ එදා පාස්කරලිංගම් හා චරිත රත්වත්තේ හිටපු තැනය. එක අතකින් බලනකොට මේක පී.බී.ගේ වරදක් නොවේ. මොකද පී.බී.ගේ වපසරිය තුළ පී.බී.ගෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිය. වගකීම තියෙන්නේ පී.බී.ට නොව සන්ධාන ආණ්ඩුවටය. මහා භාණ්ඩාගාර ලේකම්වරයා හරහා මහා භාණ්ඩාගාරයේ බලය තමන් අතට ගන්නවා වෙනුවට විය යුත්තේ ජනතාවට ඍජුව වගකියන මුදල් ඇමැතිවරයකු පත් කිරීමය. භාණ්ඩාගාර ලේකම්ට දී තිබෙන බලතල සමූහය මුදල් ඇමැතිවරයකු පත් කර ඔහුට දීමය. නියෝජ්‍ය මුදල් ඇමැතිවරුන් පත් කර කරන බොරු සෝබන වැඩවලින් වැඩක් නැත.


ජේ.ආර්., ඇන්.ඇම්., රොනී වගේ ප්‍රබල චරිතයක් 89න් පස්සේ මුදල් ඇමැති තනතුර දරා නැත. ඉතින් වැටෙන්නේ නැතිව ආණ්ඩු කරන්න නම් මහින්දට ඉතිහාසයෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් බොහෝය. විමල්ලා, ඩිව්ලා, චම්පිකලා වගේ තවත් හඬවල් ඉදිරියටත් මතු වෙන්න පුළුවන්ය. විමල්ලා වාගේ යථාර්ථය අමුවෙන්ම කියන අය, ඩිව්ලා වාගේ යථාර්ථය න්‍යායාත්මකව කියන අය වාගේම චම්පිකලා වගේ යථාර්ථයට ප්‍රායෝගික විකල්පයක් ඉදිරිපත් කරන අය ඉදිරියේදී තව තවත් බිහි වෙන්න පුළුවන්ය. ඒක ජනාධිපතිවරණයක් අත ළඟ තියාගෙන ඉන්න මහින්දගේ අනාගතයට හොඳ නැත. විමල්ලා, ඩිව්ලා, චම්පිකලා නියෝජනය කරන්නේ ජනතාවගේ සැබෑ හඬය. විමල්ලාගේ, ඩිව්ලාගේ, චම්පිකලාගේ හඬට එරෙහි වෙනවා කියන්නේ ජනතා හඬට එරෙහි වෙනවා කියන එකය. ඇත්තම කිව්වොත් මේ උදා වෙලා තියෙන්නේ ඇන්.ඇම්. කෙනකු හෝ රොනී කෙනකු අත්‍යවශ්‍ය මොහොතයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive