ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ ප්‍රධාන දේශපාලන පක්ෂ වල ආධාරකරුවෝ ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය පළ කරන්නට පටන් ගත්හ.
හලාවත නගරයට ගිය බීබීසී ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්නට නගරයේ එක් රැස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා නගමින් පෙළපාලියකින් ගමන් කරනු දක්නට ලැබුණි.
ජනාධිපතිවරයාට පක්ෂපාත සටන් පා‌‍ඨ කියමින් පෙළපාලියෙන් ගමන් ගත් ජනතාව කිරිබත් බුදිමින් සිටින ආකාරයත් එහි දක්නට ලැබුණි.
ප්‍රදේශයේ දේශපාලන නායකයෝත් ඊට එක් ව සිටියහ.

දේශපාලන උපායක්

මේ අතර ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්නට හලාවත සහ පුත්තලම නගරවල දී මුණ ගැසුණ තවත් ජනතාව කියා සිටියේ, මෙය අනවශ්‍ය ඡන්දයක් වන අතර ආණ්ඩුව මහජනතාව නොමග යවමින් බලය දිනා ගැනීමට උත්සාහ දරන බවයි.
හලාවත නගරයේ දී බීබීසී මාධ්‍යවේදියාට අදහස් දක්වමින් සුළු වෙළෙන්දෙක් කියා සිටියේ ව්‍යාපාරික කටයුතු බිඳ වැටී රටත් තමනුත් අමාරු තත්වයක සිටින මොහොතක ජනාධිපතිවරණයක් අනවශ්‍ය බවයි.
තවත් වසර දෙකක් තිබියදී ඉක්මන් ඡන්දයකට යාම ජනාධිපතිවරයා තමා තවත් පිරිහීමට පෙර ගත් උපක්‍රමයක් වන බවයි තවත් පුද්ගලයකුගේ අදහස් වුණේ.
මේ හදිසි ඡන්දය ඌවෙන් ලද පරාජය තවත් දරුණු අතට හැරීමට පෙර බිය මත ගත් දේශපාලන තීන්දුවක්ය යන්න තවත් හලාවත වැසියකුගේ අදහසයි
කෙසේ වෙතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ මහජනයා තුළ දේශපාලන පිබිදීමක් දක්නට ලැබුණ බවයි, ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්නට දක්නට ලැබුණේ.

වීඩියෝව බලන්න
ඉහල තත්වයෙන්mp4 (30.7 මෙගබයිට්)
සාමාන්‍ය තත්වයෙන්mp4 (6.3 මෙගබයිට්)