එම ප්‍රකාශනය පෙන්වා දෙන පරිදි රජය වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6ක පමණ ප්‍රමාණයක රාජ්‍ය ආයෝජනයක් පවත්වාගෙන යාමට උත්සාහ ගන්නා අතර දැනට මෙම රාජ්‍ය ආයෝජන වියදමින් සියයට 40ක පමණ ප්‍රමාණයක් සඳහා අරමුදල් සපයාගනු ලබන්නේ විදේශ මූල්‍යයන මගිනි.
විදේශ මූල්‍යයනය සඳහා මධ්‍ය කාලීන රාජ්‍ය ප්‍රමුඛතා අතර ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය, අධිවේගී මාර්ග ජාලය පුළුල් කිරීම සහ නගර ග්‍රාම සම්බන්ධතාව දියුණු කිරීම, ග්‍රාමීය නාගරික යටිතල පහසුකම් ඉදිකිරීම, රටේ බලශක්ති අවශ්‍යතා පියවීම, ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය, දැනුමැති ආර්ථිකයක් සඳහා මානව සම්පත් සංවර්ධනය, පරිසර හිතකාමී නාගරික සංවර්ධනය, තරගකාරී හා ව්‍යාපාරික ක්‍ෂේත්‍රවල පුද්ගලික ආයෝජන දිරිමත් කිරීම, දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සහ ධරණීය පාරිසරික කේන්ද්‍රීය ප්‍රමුඛත්වයට අනුවර්තනය වීම වැනි අංශ රජය හඳුනාගෙන තිබේ. ඒ අනුව රජය ලබා ගන්නා ණය බොහෝමයක් මෙම අංශ කරා යොමු කර ඇත.
මෙලෙස විදේශ මූල්‍යයන මූලාශ්‍රයන් කරා රට ගමන් කරද්දී මෑත කාලීනව ඒ සඳහා වැඩිම දායකත්වයක් ලැබි ඇත්තේ අන්තර් ජාතික සංවර්ධන ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය, චීනය, ඉන්දියාව, කොරියාව, සෞදි අරාබිය, කුවේටය සහ ඔපෙක් අරමුදල ආදිය මගිනි. තවද එම විදේශ මූල්‍යයන් බොහොමයක් සහනදායී මූල්‍යයන්ගෙන් සමන්විත බවද ඉහත වාර්තාවෙහි සඳහන් වේ. මෑත කාලයේදී ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය, ආසියානු සංවර්ධන බැංකුව, කෘෂිකාර්මික සංවර්ධන සඳහා වූ ජාත්‍යන්තර අරමුදල එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන , ඔපෙක් අරමුදල, යුරෝපානු ආයෝජන බැංකුව වැනි බහුපාර්ශ්වීය මූල්‍යයන ආයතනද, ජපානය, දකුණු කොරියාව, ප්‍රංශය, ඔස්ට්‍රියාව, ජර්මනිය, ඩෙන්මාර්කය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, කුවේටය, සවුදි අරාබිය, නෙදර්ලන්තය, ස්වීඩනය, චීනය හා ඉන්දියාව වැනි ද්වි පාර්ශ්වීය සංවර්ධන පාර්ශ්වකරුවන්ද සහනදායී මූල්‍යයනයන් මෙරටට පිරිනමා ඇත.
කෙසේ වුවද මේ වන විට ශ්‍රී ලංකාව මැදි ආදායම් තත්ත්වයට හිමිකම් කීම හේතුවෙන් මෙරටට ලැබෙන්නා වූ සහනදායී ණය ප්‍රමාණය සීමා වී ඇති බව ද එම වාර්තාව පෙන්වා දී ඇත. වර්තමානයේදී ශ්‍රී ලංකාව වෙත සහනදායී මූල්‍යයනයන් හිමිවන්නේ ච්ඒ, ඒච්ඕ, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, ද්විපාර්ශ්වික සංවර්ධන පාර්ශ්වකරුවන් හා විශේෂිත සංවර්ධන අරමුදල් හරහා පමණි. වසර 2000 වන විට ලංකාවට ලැබුණු මුළු විදේශ ණයවලින් 98 ක් පමණම ලැබි ඇත්තේ සහනදායී ණය ලෙසය. නමුත් 2012 වන විට සහනදායී නොවන ණය වටිනාකම, සහනදායී ණය වටිනාකම (මුළු විදේශ ණයෙහි ප්‍රතිශතයක් ලෙස) ඉක්මවා ගොස් තිබිම දැකිය හැකිය.
එබැවින්, සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වන මූල්‍ය අවශ්‍යතාව, සාම්ප්‍රදායික ණය දෙන ආයතනවලින් ලබාදෙන ණයවලට අමතරව, අපනයන ණය හා වාණිජමය ණයවර ඇතුළු සහනදායී නොවන ණය ලෙස, අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළඳපොළවලට පිවිසීම හරහා අතිරේකව සපයා ගැනීමට රජයට සිදුවී ඇත. මෙම ක්‍රමවේදය තුළ, එක් අතකින් මෙරට විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අඩුවෙමින් පැවතියද, රටේ ණය සේවාකරණ වියදම (ණය වාරික සහ පොලී ගෙවීමේ වියදම) ඉතා ඉහළ අගයක පවතී. 2014 වසර තුළ පමණක් මෙරට ණය සහ පොලී ගෙවීමට රුපියල් මිලියන 167,071.00කට ආසන්න මුදලක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.
ලංකාවේ විදේශ ණය ලබා ගැනීමට අදාළව පවතින ෙනෙතික රාමුව සකස්වන්නේ 1957 අංක 29 දරන විදේශ ණය පනත හා ඉන්පසුව කරන ලද සංශෝධනද, විසර්ජන පනත, මුදල් නීති පනත, 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත ඇතුළු පාර්ලිමේන්තු පනත් ගණනාවක් මගිනි. සහනදායී නොවන ණය ගැනීම්වලට රජයට යොමු වීමට සිදුවීමත් සමග, ඉහත දක්වන ලද ෙනෙතික රාමුව තුළ රජය ලබා ගන්නා විදේශ ණයවල ව්‍යුහයද වෙනස් කිරීමට රජයට සිදුවී ඇත. විශේෂයෙන්ම පහත සඳහන් විදේශ මූල්‍යයන විකල්පයන් පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇත.
* තෝරා ගත් සංවර්ධන ක්‍ෂේත්‍රයන් සඳහා පවත්නා සම්ප්‍රදායික මූල්‍ය පහසුකම්
* මිශ්‍ර ණයවර සමගින් සහනදායී බවින් අඩු මූල්‍යයනය
* නව මූල්‍යයන පිළිවෙත් කරා ප්‍රවේශ වීම
* රජය සතු රාජ්‍ය ව්‍යාපාර මගින් ලබාගනු ලබන සෘජු ණය
* ප්‍රාග්ධන වෙළඳපොළෙන් ලබාගන්නා ණය
ඉහත දැක්වූ විදේශ මූල්‍යයන විකල්ප අතරින් වැඩි කතාබහට පදනම වූයේ රජය ප්‍රාග්ධන වෙළඳපොළ මූලික කරගෙන ණය ලබාගැනීමට පෙළඹීමයි. රටක් දේශීය හා විදේශීය ප්‍රාග්ධන වෙළඳපොළෙන් ණය ලබා ගැනීම බොහෝ විට සිය රටවල රාජ්‍ය ආයෝජන සඳහා අරමුදල් සපයා ගන්නා මූලාශ්‍රයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවද වර්ෂ 2007 දී වසර පහක කල්පිරීමේ කාලයක් සහිත ඇ.ඩො. මිලියන 500ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරමින් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ වෙත ප්‍රවේශ වූ අයුරු අපි දනිමු. සාමාන්‍යයෙන් මෙම ණය පහසුකම් ඉතා තරගකාරී වෙළඳපළ මිල ගණන් යටතේ ලබාදෙන අතර ඒ අනුව ඉහත කී ඇ.ඩො. මිලියන 500ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කර ඇත්තේද සියයට 8.75ක පොලී අනුපාතිකයකට යටත්වය. මෙයට අමතරව ආර්ථිකවේදීන්ගේ සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැඩි අවධානයකට හා විවේචනයන්ට භාජනය වූ ප්‍රාග්ධන වෙළඳපොළ ණය ලබා ගැනීම් ගණනාවකද රජය පසුගිය වසර තුළ නිරත වී ඇත. ඒ අතර ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සඳහා ගත් විදේශ ප්‍රාග්ධන වෙළඳපොළ ණය කැපී පෙනේ.
ලංකා බැංකුව යනු ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ඕඕ- ශ්‍රේණිය ලබා ඇති, රජයට පූර්ණ හිමිකාරිත්වයක් ඇති බැංකුවකි. තවද එය විශාලතම වත්කම් පදනමක් හිමි ශ්‍රී ලාංකික බැංකුව ලෙසද පිළිගනී. රජය පෙන්වා දෙන පරිදි ලංකා බැංකුව 2013 අප්‍රේල් මාසයේදී බැඳුම්කර ඉදිරිපත් කර විදේශ වෙළඳපොළෙන් ඇ.ඩො. මිලියන 500ක් වටිනා ණය ලබා ගෙන ඇත. මෙම ණය අවුරුදු පහක පරිණත කාලයකින් යුත් අතර සියයට 5.325ක පොලී අනුපාතිකයක් එයට ගෙවිය යුතුය. තවද ජාතික ඉතිරි කිරීමේ බැංකුවද 2013 සැප්තැම්බර් මාසයේදී ඇ.ඩො. මිලියන 750ක් වටිනා ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කරමින් ජාත්‍යන්තර ණය ප්‍රාග්ධන වෙළඳපොළ වෙත අවතීර්ණ වී ඇත. එම ණය මුදලේ පරිණත කාලයද අවුරුදු පහක් වන අතර ගෙවිය යුතු පොලී අනුපාතිකය සියයට 8.875 කි. ඩී.එෆ්.සී.සී බැංකුව සහ ජාතික සංවර්ධන බැංකුවද විදේශ ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත බැඳුම්කර නිකුත් කරමින් ණය ලබා ගැනීමට පියවර ගෙන ඇත. ඩී.එෆ්.සී.සී බැංකුව ඇ.ඩො. මිලියන 100ක ණය ලබාගෙන ඇති අතර ඒ සඳහා ගෙවිය යුතු පොලී අනුපාතිකය සියයට 9.63ක් තරම් ඉහළ අගයක් ගනී.
මෙලෙස එක් අතෙකින් රජය සෘජුවම තම සංවර්ධන කාර්යයන්ට ණය ලබා ගන්නා අතරම, රාජ්‍ය බැංකුද රටේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ණය ලබා ගනී. දළ වශයෙන් ශ්‍රී ලංකාව බාහිරට ගෙවිය යුතු සමස්ත ණය වටිනාකමෙන් 33 කට වඩා වැඩි ප්‍රමාණයක් සමන්විත වන්නේ මෙම රාජ්‍ය බැංකු විදේශ ප්‍රාග්ධන වෙළඳපොළ මූලාශ්‍රවලින් ගන්නා ණයවලිනි. ඒ අනුව රජයේ ණය බරිත බව ගණනයේදී රජය සෘජුව ලබාගත් ණය මුදල් මෙන්ම රාජ්‍ය බැංකු සහ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් ලබා ගත් දේශීය සහ විදේශීය ණය මුදල්ද සලකා බැලිය යුතුය. එයින් අදහස් වන්නේ රජයේ නිවැරදි ණය බරිත බව තේරුම් ගැනීමට නම් රාජ්‍ය බැංකු සහ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් ලබාගත් ණය මුදල්ද රාජ්‍ය ණයවලට එකතුවිය යුතු බවය.
තවද අද වෙන විට රාජ්‍ය බැංකු හැර අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් ද දේශීය ණය වෙළඳපළට පිවිසීම මගින් ණය ලබා ගැනීමට පෙළඹී ඇත. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියට, මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල මූල්‍යයනය කිරීම සඳහා රුපියල් බිලියන 150දක්වා දේශීය බැංකුවලින් අරමුදල් සම්පාදනය කර ගැනීමට අනුමැතිය ලැබි ඇත. 2013 වසරේ තුන්වන කාර්තුව අවසන් වන විට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැංකු සමග රුපියල් බිලියන 80.1ක් වටිනා ගිවිසුම්වලට ඇතුළු වී ඇති අතර 2013 සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙයින් රුපියල් බිලියන 22.9ක් සංවර්ධන ව්‍යාපෘති සඳහා උපයෝජනය කර තිබේ. මෙලෙස රාජ්‍ය ව්‍යවසායන් දේශීය ණය වෙළෙඳපළෙන් ණය ගැනීම යනු රාජ්‍ය බැංකු විදේශ වෙළෙඳපොළෙන් ලබා ගත් ණය දේශීය වෙළෙඳපොළ හරහා රාජ්‍ය ආයතනවලට මුදා හැරීමකි. නිදසුනක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ලබා ගන්නා ණය මුදලින් සියයට 25ක් ලබා දෙන්නේ ලංකා බැංකුවයි. එය රුපියල් බිලියන 27.4කට ආසන්න වේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවද මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 19ක් ලබා දී ඇත. ඩී.එෆ්.සී.සී. බැංකුව ලබා දී ඇති මුදල රුපියල් මිලියන 577කි. ඒ අනුව රජය විදේශීය ප්‍රාග්ධන වෙළෙඳපළෙන් ණය ලබා ගත්තද, නැතිනම් රාජ්‍ය බැංකු හෝ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් විදේශීය ප්‍රාග්ධන වෙළෙඳපළෙන් ණය ලබාගත්තද සිදුවන්නේ එකම බලපෑමක් බව පැහැදිලිය.
මෙහිදී රටක වේගවත් සංවර්ධනයකට දේශීය මෙන්ම විදේශීය ණය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවද අප අමතක කළ යුතු නොවේ. නමුත් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ වාර්තාව මගින් පෙන්වා දෙන පරිදි ක්‍රමයෙන් රජයට ලැබෙන සහනදායී ණය ප්‍රමාණය කප්පාදු වීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස සහනදායී නොවන වාණිජ ණය මූලාශ්‍රවලට අප ගමන් කිරීමත් හේතුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියේදී ණය සේවාකරණ අර්බුදයකට තල්ලුවීමේ අවදානමද අපට බැහැර කළ නොහැක.
මෙම වාර්තාවේ අග භාගයේදී මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පෙන්වා දෙන ආකර්ෂණීය කරුණක්ද ඇත. ඒ අද වෙන විට ශ්‍රී ලංකාව විදේශීය රාජ්‍යයන්වලටද ණය සහ ප්‍රදාන ලබාදෙන රාජ්‍යයක් බවට පත්වී ඇති බවයි. රජය විසින් මේ වන විට මාලදිවයින් රජයට මාර්ගයක් ඉදිරිකිරීම වෙනුවෙන් ඇ.ඩො.මිලියන 10ක ප්‍රදානයක් ලබාදී ඇති අතර උගන්ඩාවෙහි වෘත්තීය හා කාර්මික අධ්‍යාපනික අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ඇ.ඩො. මිලියන. 1.5ක ප්‍රදානයක් හා තාක්ෂණික සහාය ලබා දී ඇත. එක් අතෙකින් ඉහළ පොලියට විදේශ වෙළෙඳපොළෙන් ණය ලබාගෙන එම අරමුදල් මෙලෙස තවත් රාජ්‍යයකට ප්‍රදානයක් ලෙස ලබා දීම කොතරම් නිවැරදිද යන්න විවාදාත්මක කරුණක් බවද සටහන් කළ යුතුය.
ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
(Lakbima)
0 comments:
Post a Comment