සෙනසුරාදා (12 වැනිදා) "දිවයිනේ" පළ වූ පුවත් දෙකක් කෙරෙහි අවධානය යොමු කරමු. ඉන් පළමුවැන්නෙන් කියෑවුණේ මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන හතරක් රටට එරෙහිව තානාපති කාර්යාලවලට කේලාම් සපයන බවය. දෙවැනි ප්‍රවෘත්තියෙන් කියෑවුණේ "රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව ආණ්ඩුව තහංචි දැමුවහොත් එයට එරෙහිව නැගී සිටින්නෙමැයි" ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න (නව සම සමාජ පක්ෂය) කියන බවය. වික්‍රමබාහු කියන පරිදි රාජ්‍ය නොවන සංවිධාන පළමු ලෝක යුද්ධයටත් පෙර පැවතුණේය. ඒ සඳහා ඔහුගේ උදාහරණ වන්නේ සූරියමල් ව්‍යාපාරය සහ අමද්‍යප සංගමය ය. වික්රමබාහුට අමතකව තිබෙන ප්‍රධානතම කාරණය වන්නේ පෙර කී සංවිධාන දෙකම රටට සහ එහි ස්වාධීනත්වයට මහත් සේ ආදරය කළ, ඒ වෙනුවෙන් කැපවුණු සංවිධාන බවය. ඒ අතර ශ්‍රී ලංකාවේ ප්රමුඛ රාජ්‍ය නොවන සංවිධාන තුනක "හිමිකරුවන්" වන ඡේ. සී. වැලිඅමුණ, පාක්‍යසෝති සරවනමුත්තු, නිමල්කා ප්‍රනාන්දු යනාදීන් හැකිනම් අත්අඩංගුවට ගන්නැයි ආචාර්ය වික්‍රමබාහු අභියෝග කරයි. මේ තිදෙනා අත්අඩංගුවට ගන්නේ කවර පිස්සුවකටද? හිටපු ගමන් පොලිසිය කරනවාක් මෙන් කුඩු පැකට්ටුව බැගින් ඔවුන්ගේ බෑගවලට දමා ඔවුන් අල්ලන ලෙස වික්‍රමබාහු කියනවාද? කාල් (1/4) මාක්ස්වාදියකු වන වික්‍රමබාහු යනු මේ රටේ ජනාධිපති වීමට සිතා සිට කොළඹ නගර සභාවේ නාගරික මන්ත්රීකමින් සිය දේශපාලන ජීවිතය අවසන් කළ උගත් බුද්ධිමත් ලස්සන මහතෙකි. අද වන විට වික්‍රමබාහු බ්‍රෑන්ඩ් එක කොතරම් පරිහානියට පත්ව ඇද්ද යත් කිසිදු ලෙසකින් කාටවත් අලෙවි කළ නොහැකිය. ඒ නිසා ඔහු ගැන මෙතැන් සිට කතා කරනු නොලැබේ. මෙතැන් සිට අපේ කතාව රාජ්‍ය නොවන සංවිධාන ගැනය.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ රජයේ මධ්‍යස්ථානය නමැති ආයතනයෙහි ලියාපදිංචි වූ දේශීය සහ විදේශීය එන්.ජී.ඕ. 1426 ක් ලංකාවේ ඇත. රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීම ඉතා පහසු කාලයක් තිබිණ. (අදටත් එය එසේම යෑයි අපි විශ්වාස කරමු) සිල්ලර කඩයක් හෝ චීන හෝටලයක් අරින ආකාරයෙන් මෙය කළ හැකි විය. සිල්ලර කඩයක් හා චීන හෝටලයක් අරින විට ස්ථිර ලිපිනයක් සහ අතේ රුපියල් 500 ක් තිබේ නම් පළාත් සභාවෙහි ලියාපදිංචි කළ හැකිය. චීන හෝටලයකට නම් විශාල මකරකු (මකරුන් ගැන අපට අත්දැකීම් නැති නිසා කටින් ගින්දර පිට කරන විශාල කටුස්සකු ඇඳීම ප්රමාණවත්ය) ඇඳි බට පැලැල්ලක් තිබීම ආණ්ඩුවේ නීතිවලට යටත් නැති අමතර සුදුසුකමකි. සිල්ලර කඩයකට නම් මුදලාලි කොහොම වෙතත් හාමිනේ ඉඳීම ප්රමාණවත්ය. එන්.ජී.ඕ. එකකුත් පළාත් සභාවේ ලියාපදිංචි කර වැඩ පටන් ගත හැකි යුගයක් විය. අද එය තව ටිකක් දුරදිග ගොස් රාජ්‍ය නොවන සංවිධාන මධ්‍යස්ථානයෙන් ලබා ගන්නා පෝරමයක් පුරවා අනුමැතිය ලබාගත යුතු තත්ත්වයක් හටගෙන ඇත. එන්. ජී. ඕ. වලින් වැඩි හරිය පටන්ගත් දවසේ සිටම කරන්නේ සල්ලි ගැරීමය. පිටරටින් සල්ලි ගැරීමට නම් මෙරට තිබෙන වෙළෙඳ භාණ්ඩ කිහිපයක් පිට රටවලට ඉදිරිපත් කරනු ලැබේ. මානව හිමිකම්, ප්රචණ්ඩ ක්‍රියා, ජනවාර්ගික ප්රශ්නය ලෙස හඳුන්වන ලද ත්‍රස්තවාදී ප්රශ්නය, ආහාර හිඟය, ජල හිඟය, නිවාස හිඟය යනාදිය පමණක් නොව පොල් අතු වහළ සෙවිල්ලීම සඳහා දැනට පවත්නා පොල්අතු හිඟය පවා ජාතික ප්‍රශ්න ලෙස ඉදිරිපත් කර මුදල් ගැරූ අවස්ථා විය. කොටි සංවිධානය සන්නද්ධ කිරීමේදී විදේශික රාජ්‍ය නොවන සංවිධාන විශාල මෙහෙවරක් කළ බව මතක තබාගත යුතුය. මේ නිසා රාජ්‍ය නොවන සංවිධාන වංචනික ක්‍රියා කරන්නේ නම් ඒවාට විරුද්ධව තහංචි පැනවීම ඉතා සාධාරණ වන අතර, කැබලි බවට පත් වූ රටක් හෝ විදේශීය මැදිහත්වීම් නැති ස්වාධීන රටක් පවතිනු දැකීමට කැමති පුරවැසියන් එම තහංචිවලට පක්ෂපාත වනු ඇත. ඒ අතර වික්‍රමබාහු මේ රටේ පුරවැසියෙක්ද නැද්ද යන්න තීරණය කර ගත යුතුය.
0 comments:
Post a Comment