facebook like

තහනම් ගහේ රස සොයා ගිය කතක් මැරුම් කයි........අනියම් පෙම්වතුන් දෙන්නෙක් ඇසුරු කරලා මාට්ටු වෙලා


“මෙහෙම ඉඳලා හරියන්නේ නෑ.... දැන් අපිට සල්ලිත් නෑනේ. මට මේ ළඟදි මහත්තයෙක් හම්බවුණා. එයා කිව්වා මදුරන්කුලියේ වත්තක් තියෙනවා. ඒක බලාගන්න කෙනෙක් ඕන කියලා. මට තියෙන්නේ ගෙදරදොරේ වැඩ. ඔයාට තියෙන්නේ මල්වලට සාත්තු කරලා වත්තේ වැඩ ටික කරගෙන ඉන්න....”

“නිල්ලා” සිය සැමියා වන “ආරි” අමතා මෙම යෝජනාව ඉදිරිපත් කළේ මෙම ජූනි මස හතරවැනිදා ය. නිල්ලාත්, ආරිත් එකට ජීවත් වුවද ඔවුන් විවාහක යුවළක් වූයේ නැත. වසර නවයක පමණ කාලයක් අනියම් අඹුසැමි යුවළක් ලෙස ජීවත් වන මේ දෙදෙනාට අවුරුදු හයක් වයසැති දියණියක ද සිටී.

නිල්ලා ගෙනා යෝජනාවට ආරි එකඟවූයේ වෙනත් කළ හැකි දෙයක් නොවූ නිසාය. ආරි ප්‍රදේශය පුරා ප්‍රසිද්ධ බූරු ආරි ලෙසිනි. ඒ... ඔහු පල්ලම ප්‍රදේශයේ බූරු පොළවල් පවත්වාගෙන ගිය නිසාය. එලෙසම ප්‍රදේශීය සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ද එක්ව සිටි ඔහු මුදල් හදල් අතින් ඉහළ මට්ටමක පසුවිය. එහෙත්.... මෑතකදී මොහු ආර්ථික අහේනියකට ගොදුරුවූයේ කොන්ත්‍රාත් අහිමිව යාමත්, පොලිසිය ආරිගේ බූරු පොළවල් දිගට හරහට වැටලීමත් නිසාය.

අවසානයේ ඔහු නිල්ලාගේ යෝජනාවට එකඟව මදුරන්කුලියේ සුදු මහත්තයගේ වත්තේ වැඩට යාමට එකඟ විය. දෙදෙනාට පදිංචිවන්නට වත්තේ නිවෙසක් ද, නිල්ලාට දිනකට රුපියල් පන්සියයක වැටුපක් ද, ආරිට දිනකට රුපියල් හත්සියයක වැටුපක් ද ගෙවීමට වත්ත අයිති සුදු මහත්තයා එකඟ වී තිබිණි.

පිළිවෙලට ඉන්න කැමැත්තක් දැක්වූ ආරි, සුදු මහත්තයාගේ වත්තේ වැඩට යාමට පෙර සිය නිත්‍යානුකූල බිරිය හා දරුවන් පදිංචි නිවෙසට යන්නේ ඇඳුම් පැළඳුම් රැගෙන ඒම සඳහා ය. අනියම් ඇසුරුවලට පෙළඹ සිටියද ආරි සිය නිත්‍යානුකූල බිරිය හා දරුවන්ට නොසලකා හැරියේ නැත.

පසුව කතිකා කරගත් පරිදි සුදු මහත්තයා සිය වාහනයෙන් පැමිණ එදින සවස්යාමයේ ම නිල්ලා සහ ආරි මදුරන්කුලිය, වත්තට කැඳවාගෙන යන්නේය. එම ගමනට මොවුන්ගේ හය හැවිරිදි දියණිය ද එක්වන්නීය.

සුදු මහත්තයා බංගලාවට යයි. ආරිත්, නිල්ලාත් ඔවුන්ට දුන් නිවෙසේ පදිංචි වන්නේය.

රාත්‍රිය උදාවෙද්දී සුදු මහත්තයා ආරිලා පදිංචි නිවෙසට පැමිණෙන්නේ අරක්කු බාගයක් ද රැගෙනය. ආරි හා සුදු මහත්තයා එකට වාඩිවී අරක්කු බාගය හිස්කරන අතර සුදු මහත්තයා බොන්නේ ඉතා ස්වල්පයක් පමණි. ආරි අනිත් සියල්ලම බී වෙරිවී නින්දට යන අතර සුදු මහත්තයා බංගලාවට යන්නේය.

මවත් පියාත් සමඟ මදුරන්කුලිය වත්තට ගිය කුඩා දියණියට එහි පරිසරය ඇල්ලුවේ නැත. ඇයට සාංකාවක් දැනෙන්නට විය. තමා ආච්චි අම්මාගේ නිවෙසට ඇරලවන ලෙස ඇය මවට කියා සිටියා ය. ඒ අනුව ආරිත්, නිල්ලාත් දියණිය රැගෙන ගොස් නිල්ලාගේ මවට බාරදී යළි වත්තට පැමිණියහ.

මේ අතර හත්වැනිදා නිල්ලාගේ අක්කාගේ සැමියා මිය යන්නේය. පහුවැනිදාට මළගම පැවැත්වෙන බැවින් එදින රාත්‍රියේ ආරි, නිල්ලාට පවසන්නේ හෙට ඇඳගෙනයාමට අවශ්‍ය ඇඳුම් මැද තබා නිදාගන්නා ලෙසටය.

ඒ අනුව දවසේ වැඩ අවසන් කළ නිල්ලාත්, ආරිත් නිවෙසේ කාමර තිබියදී නින්දට යන්නේ ඉස්තෝප්පුවේය. ආරි රෝගියෙකි. රෝග කිහිපයකින් පෙළෙන ඔහු එදින රාත්‍රී දොළහට පමණ නින්දෙන් පිබිදෙන්නේ “මට වතුර එකක් ගෙනෙන්....” යැයි නිල්ලාට පවසමිනි. එහෙත්... එයට කිසිම ප්‍රතිචාරයක් නැත. ඔහු යළිත් එම වැකියම කියන්නේ උස් හඬිනි. ඊට ද නිල්ලාගෙන් ප්‍රතිචාරයක් නොවීය. නිල්ලා නිවෙසේ නොමැති බව ආරිට වැටහිණි. ඔහු මුළුතැන්ගෙය දෙසට ගොස් බලද්දී එහි දොර විවෘතය. ඉන් එබී බලද්දී දකින්නේ නිල්ලා වැසිකිළිවළේ කොන්ක්‍රීට් එක මත හිඳගෙන ජංගම දුරකථනයෙන් කතාබහක යෙදී සිටින අයුරුය.

එතැනට යන ආරි මේ කතාබහ කරන්නේ කා සමඟින්දැයි නිල්ලාගෙන් විමසන්නේය.

“මගේ යාළුවෙක් එක්ක කතා කරන්නේ.....”

“තමුසෙට මොන යාළුවොද.....? එනවා ගෙට....” එලෙස කී ආරි, නිල්ලා කැඳවාගෙනවිත් පැදුර මත හිඳවන්නේය.

“මම තමුසෙට ගහන්නේ නෑ... අත පය කඩන්නෙත් නෑ... මට කියපං... අර කවුද කතා කළේ කියලා....” ආරිගේ වදන් හමුවේ බියෙන් සැලෙන නිල්ලා සත්‍ය හෙළිකරන්නට වූවාය.

“ඒ කතා කළේ වත්තේ සුදු මහත්තයා. මම ඒ මහත්තයා එක්ක යාළුවෙලා හිටියේ. මැයි මාසේ තිස්එක් වැනිදා මම එයා එක්ක ආණමඩුව රෙස්ට් එකකට ගිහින් හිටියා....”

“ඊට පස්සේ තමයි මහත්තයා මට මෙහෙට එන්න කිව්වේ... මහත්තයා කිව්වා ආරි වත්තේ වැඩ කරද්දී ඔයාට මගේ බංගලාවේ වැඩකරන්න පුළුවන්. එදා බීපු දවසේ රෑත් මහත්තයා ඇවිත් මගේ අකමැත්තෙන්ම මාත් එක්ක ඉඳලා ගියා....” ඇයගේ පාපොච්ඡාරණයට සමාදානව සවන්දුන් ආරි සියල්ල අමතක කර දැමීමට තීරණය කළේය.

“හරි... සේරම මෙතනින් ඉවරයි. දැන් මේවා අමතක කරලා දාන්න ඕන. ගිහින් මට තේ එකක් හදාගෙන එනවා....” ආරිගේ ඉල්ලීමට කන්දුන් නිල්ලා මුළුතැන්ගෙට ගොස් කිරි තේ එකක් සාදාගෙනවිත් ආරිට පිළිගැන්නූවා ය. ආරි එය පානයකොට වැසිකිලියට ගිය අතර නැවත පැමිණ බලද්දී නිල්ලා පෙනෙන්නට හිටියේ නැත.

පසුව බංගලාවට දිව යන ආරි නිල්ලා නොමැති බව සුදු මහත්තයාට පැවසුවේය. දෙදෙනාම එක්ව නිල්ලා සෙවූ නමුත් ඇය හමුනොවුණ අතර පසුව දෙදෙනාම වත්තේ මුරකුටියට වී රාත්‍රිය ගෙවා දමන්නේ නිල්ලා කොයි මොහොතක හෝ පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

පාන්දර හතර පමණ වෙද්දී සුදු මහත්තයා බංගලාවට යන අතර තවත් පැයක් පමණ බලා සිටි ආරි ද නිවෙසට ගොස් හැඳ පැළඳ නිල්ලාගේ අක්කාගේ සැමියාගේ මළ ගෙදරට යන්නේය. එහෙත් නිල්ලා මළ ගෙදර ද දක්නට සිටියේ නැත. මළගම අවසන් වූ පසු ආරි වනාතවිල්ලුව, එළුවන්කුලමේ පිහිටි නිල්ලාගේ තවත් අක්කා කෙනකුගේ නිවෙසට යන්නේ ඇය එහි ගොස් සිටීදැයි දැනගැනීම සඳහා ය. එහෙත්.... ඇය එහි ද ගොස් නැත.

එදින රාත්‍රිය එම නිවෙසේ ගතකරන ආරි පහුවැනිදා යළි සිය නිත්‍යානුකූල බිරිය වෙත පැමිණෙන්නේය. එහි සිටියදී ඔහුට මුන්දලම පොලිසියෙන් දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ඇති බැවින් පොලිසියට පැමිණෙන ලෙසටය.

ඒ අනුව ආරි නවවැනිදා පොලිසියට යනවිට දකින්නට ලැබුණේ නිල්ලා හා සුදු මහත්තයා පොලිසියේ සිටින අයුරුය. නිල්ලා ආරිට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් කර ඇත. ඒ... ඔහු තමාට පහරදී දරුණු වද බන්ධනයට ලක්කළ බවත්, තමාගේ සිරුරෙන් ලේ ගලන බවත් කියමිනි.

පසුව ඇය රෝහල් ගත කළ අතර ආරි අත්අඩංගුවට ගනු ලැබීය. දසවැනි දින පුත්තලම මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ ආරිට ඇපදීමට කිසිවකුත් ඉදිරිපත් නොවුණ බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කැරිණි. එහෙත්.... ඊට පසු දින එනම් එකොළොස්වැනිදා දහවල් ඔහුට ඇප ලබාදෙන අතර හෙතෙම නිදහස්ව විවාහක බිරියගේ නිවෙසට යන්නෙ නිල්ලා පිළිබඳ සිතෙහි හටගත් තරහ ද සමඟිනි. එම නිවෙසට ගොස් කීකරු සැමියකු ලෙස සිටීමට උත්සාහ කරනා ඔහුගෙන් බිරිය විමසා සිටින්නේ.... “ඇයි.... තමුසේ ආපහු යන්නේ නැද්ද.....?” ලෙසිනි.

“මම ආයි යන්නේ නෑ... මාව රිමාන්ඩ් කරපු උන් ළඟට....” එලෙස කියන ආරි එදින නිවෙසේ ගත කළේය. ඊට පසු දින පොසොන් පෝය දිනයයි. එදින උදේ එකොළහමාරට පමණ නිවෙසින් පිටවන ආරි මුලින්ම යන්නේ ආඬිගම හන්දියේ පවත්වන දන්සලට ය. මුල්වටයට එකතු වී දන්සල් බත් කන ආරි ඊළඟට යන්නේ නිල්ලාගේ මවගේ නිවෙසට ය.

ආරි හා නිල්ලා යුග දිවියක් ආරම්භ කළ මුල් අවධියේ නිල්ලාගේ මව මහගෙයින් බාගයක් නිල්ලා හා ආරි වෙනුවෙන් වෙන්කර දී තිබුණේ පොල් අතු පැළැල්ලක් යෙදීමෙනි. එහි ඉදිරිපස කොටස නිල්ලාගේ මල්ලීට දී තිබිණි.

ආරි එහි යනවිට නිල්ලාගේ මල්ලිගේ ඥාති පිරිසක් නිවෙසේ සිටි අතර සිදුවූයේ කුමක්දැයි ආරි ඔවුන්ට විස්තර කරන්නට විය. ඒ අතරතුරේ නිල්ලා ඥාති පුත්තු දෙදෙනකු සමඟ යතුරු පැදියකින් මෙම නිවෙසට පැමිණියහ. නිවෙස තුළට යන ඇය පසුපස ආරි ද ගියේය.

“උඹ පලයන් යන්න. මට උඹව එපා.....” එලෙස කී නිල්ලා නිවෙසේ තිබූ ආරිගේ ඇඳුම් කිහිපයද මල්ලක දමා ඔහු අත තැබුවේය. එහෙත්.... ආරිට අවශ්‍ය වන්නේ යළි ඇය සමඟ එකට ජීවත්වීමට ය.

“ඇයි.... මට මෙහෙම කරන්නේ... අපි ප්‍රශ්න විසඳගෙන එකට ජීවත්වෙමු. කොහොමටත් ළමයා මගේනේ.... මම ළමයට සලකන්න ඕනනේ.... මම ළමයට සල්ලි දෙන්නම්..” ආරි බැගෑපත්ව ඇයගේ ඇසුර යළි පැතුවේය. එහෙත්... දිගින් දිගටම ඔහු ප්‍රතික්ෂේප කරන ඇය දානෙට කෑම හදන්න පොල් රැගෙනයාමට පැමිණි බව කියමින් යතුරුපැදියේ නැඟී එතැනින් පිටව යන්නේය.

ඇය නික්ම ගිය පසු එම නිවෙසට අල්ලා සාදා ඇති පොල්අතු මඩුවට යන ආරි එහි ඇති ඇඳ මත ඇලවන්නේ සිත සන්සුන් කර ගැනීමට සිතාගෙනය. එම මඩුවේ කොන්ක්‍රීට් පුටු හා මේසයක් ද තිබේ. බොහෝවිට ආරි නිදාගන්නේ මේ මඩුවේ ඇඳේය.

ටික වේලාවක් නිදාගෙන සිටි ආරි යළි පිබිද ළිඳට ගොස් දිය නාගෙන කාමරයට වී කල්පනාවෙන් සිටින්නට විය.

වේලාව සවස හයහමාර පමණ වෙද්දී නිල්ලා යළි මෙම නිවෙසට පැමිණියාය. ඇය මඩුවට ගොස් කොන්ක්‍රීට් පුටුවක වාඩි වී ආරි සමඟ රණ්ඩුවට පැටලෙන්නේ පරුෂ වචනයෙන් බැන වදිමිනි. එම වචන අතරට නපුංසකයා යන්න ද ඇය එක්කර ගන්නීය.

දිගට හරහට එල්ලවන වාග් ප්‍රහාරය හමුවේ ආරිගේ ඉවසීම ඉක්මවා යන්නේය. ඒ මොහොතේ ආරිගේ මතකයට එන්නේ “ග්‍රීස් යක්කු” සිටි සමයේ සාදාගෙන ඇඳ යට දමා තිබෙන කඩුවයි.

එය අතට ගන්නා ආරි, නිල්ලා වෙතට පැන ඉන් ඇයට කොටාගෙන කොටාගෙන ගියේය. කළුවර වැටී තිබූ බැවින් මේ සිද්ධිය කාටත් එතරම් පැහැදිලි නොවූ අතර කෑගැසීමේ ශබ්දය ඇසී ඒ අසලට එන දියණිය පියාගෙන් ඉල්ලා සිටින්නේ මවට පහර නොදෙනා ලෙසට ය.

නිල්ලා කපා කොටා ඝාතනය කළ ආරි කඩුව ද රැගෙන එම ස්ථානයෙන් පැනගොස් කැලයට වී රාත්‍රිය ගතකරන්නේය. පසුදා කඩුව කැලයේ සඟවා ප්‍රදේශයෙන් පලායාම සඳහා බසයකට ගොඩවීමට ගියද බසය ඒ වනවිට පිටත්ව තිබිණි.

ආපසු දිවාකාලය කැලයේ සැඟවී සිටින ආරි එදින සවස ඒ අවට පදිංචිව සිටින වැඩිමල් සහෝදරයා හමු වී සිද්ධිය පවසා සිටින්නට විය. එම විස්තරය ඇසු අයියා කෝපයට පත්ව ආරිට පහර දෙන්නට පටන් ගත්තේය. ආරිට දිගට හරහට පහරදුන් අයියා, ආහාර පානද, දිය නාගැනීමට අවශ්‍ය පහසුකම් ද සපයන්නේ සහෝදර ප්‍රේමය නිසා විය යුතුය.

ඊට පසුදින උදේ විවාහක බිරියගේ නිවෙසට යන ආරි ඇඳුම් මැද බෑගයක දමාගෙන පල්ලම පොලිසියට ගොස් බාර වන්නේ නිල්ලා ඝාතනයේ වගකීම බාර ගනිමිනි.

අනතුරුව ඔහුගේ මඟ පෙන්වීම යටතේ ඝාතනය සඳහා උපයෝගී කරගත් කඩුව ද පොලිසිය විසින් සොයා ගන්නා අතර පුත්තලම මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙතෙම රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

මෙලෙස බන්ධනාගාර ගතවූ ආරි අතින් ඝාතනය වූ නිල්ලා තිස්අට හැවිරිදි තිදරු මවකි. ඇයගේ පළමු විවාහයේ වැඩිමල් දරුවාට වයස අවුරුදු දාහතකි. දෙවැනියාට දාසයකි. බාල දියණියට අවුරුදු හයකි. ඇය ආරිට දාව උපන් දැරියයි.

ඇය පළමු විවාහයෙන් දික්කසාද වී මව හා දරු දෙදෙනා සමඟ මවගේ නිවෙසේ කල්ගෙවූ අතර ඇයට ආරි හමුවන්නේ අසල්වැසි කාන්තාවක වූ දයානිගේ මාර්ගයෙනි.

දයානි යනු ආරිගේ තවත් අනියම් බිරියකි. ඇයද පුරුෂයා හැරගිය දෙදරු මවකි. ආරි නිතරම දයානි හමුවට පැමිණෙන අතර නිල්ලා පිළිබඳ යෝජනාව ආරිට ගෙන එන්නේ දයානි විසිනි.

ඒ මීට වසර නවයකට ඉහතදීය. ඒ යෝජනාවට එකඟ වන ආරි එදිනම නිල්ලාගේ නිවෙසට යන්නේ සිය යතුරුපැදිය පිටුපස දයානිව ද හිඳුවාගෙනය.

“නංගි මේ අයියට ඔයා එක්ක කතා කරන්න ඕනලු....” දයානිගේ ඉල්ලීමට එකඟ වන නිල්ලා එදින සවස්යාමයේ දයානිගේ නිවෙසට ගොස් ආරි හමුවන්නේය. දෙදෙනා සිය පවුල්වල තොරතුරු කතා බහ කරන අතර එදිනම දෙදෙනා අතර හිතවත්කමක් ද ඇතිවිය.

ඊට දින කිහිපයකට පසු දයානි සිය දරු දෙදෙනා ද නිල්ලා ද ත්‍රීරෝද රථයක දමාගෙන ආරි හමුවට යන්නේ ඔහු ප්‍රාදේශීය සභාවේ පාරවල්වලට ගල් සැපයූ ස්ථානයටය. ඔහු මේ සිව්දෙනාට ආහාර පාන ලබාදී එක් අයකුට රුපියල් පන්සීය බැඟින් ද ලබා දෙන්නේය.

ඊට පසු දිනක නිල්ලා තනිවම ගොස් ආරි හමුවන අතර එදින රාත්‍රිය ආරි නිල්ලා සමඟ ගතකරන්නේ ආඬිගම ආරිගේ මාමා කෙනකුගේ නිවෙසේය. පසුදින උදෙන්ම ආරි නිල්ලා නිවෙසට ඇරලවන අතර ඊට දින තුනකට පසු නිල්ලා යළි ආරි හමුවට එන්නේ රෙදි බෑගයක් ද රැගෙනය.

පසුව රුපියල් පනස්දහසකට නිවෙසක් මිලදී ගන්නා ආරි නිල්ලා සමඟ එහි පදිංචි වන අතර එම නිවෙසේ වසර දෙකහමාරක පමණ කාලයක් දෙදෙනා ජීවත්වූහ.

මේ බව දැනගත් ආරිගේ නිත්‍යානුකූල බිරිය එම නිවෙසට පැමිණ නිල්ලාට හොඳහැටි පහරදෙද්දී ආරි පසෙකට වී එම දර්ශනය බලා සිටියේය.

පසුව එම නිවෙස රුපියල් ලක්ෂ තුනහමාරකට විකුණන ආරි නිල්ලාගේ මහගෙදර පදිංචියට ගියේය. එයද පොල්අතු ගෙයකි. නිල්ලාගේ මව පොල්අතු පැළැල්ලක් යොදා නිවෙසින් භාගයක් නිල්ලාටත්, ආරිටත් වෙන්කරදුන්නද ආරිට එම නිවෙස හිතට ඇල්ලුවේ නැත.

ඒ නිසා ඔහු අලුතින් නිවෙසක් සෑදීමට උත්සාහ කළ ද මව ඊට විරුද්ධ වූවාය.

කෙසේ හෝ කල් ගතවෙද්දී ආරි අත තිබූ මුදල් හදල් හිඟවන්නේය. ඔහු නිල්ලාගේ යෝජනාවකට අනුව සුදු මහත්තයාගේ බංගලාවේ වැඩට යාමට එකඟ වන්නේ පැවැති ආර්ථික අහේනියට පිළියමක් ලෙසිනි.

“මගේ ලොකු බෑණා මැරිලා දවස් හතක් ගතවෙද්දී මගේම බාල දූගේ මරණයත් ගෙදරට ගේන්න සිද්ධවුණා. දුව මිණිබිරියත් එක්ක ගෙදර හිටියේ.

මං ඒ වෙලාවේ අසල්වැසි කෙනෙක් එක්ක බෑණගේ ඉලව් ගෙදරට ගිහින් හිටියේ. ඒ ගිහින් හවස ආවම තමයි මෙහෙම අපරාධයක් වෙලා කියලා දැනගත්තේ....”

“මං කුලීවැඩ කළේ. දැන් ලෙඩ ගාණේ බේත් බිබී ඉන්නේ. කුලී වැඩක් කරගන්නත් දැන් මට බැහැ. බැඳලා ළමයි කිහිපදෙනකුත් ඉන්න කොහු මෝලක වැඩකරන පුතාට ලැබෙන්නේ, දවසකට හුඟක් පොඩි පඩියක්. ඒකෙන් තමයි දරුවෝ කිහිපදෙනකුට උගන්වලා පුතා මාවත් බලාගත්තේ.... දැන් දුව මරා දැම්මාම දූගේ දරුවෝ දෙන්නත් අනාථ වුණා. දුවගේ බාල දුව තවම මොන්ටිසෝරි යනවා. දැන් අම්මා නැති ඒ දැරිවිවත් බලා කියාගන්න ඕනෑ. ඒත් මමත් දැන් හුඟක් වයසයි. මේ දැරිවිගේ හෙට කල දවස වෙනුවෙන් රටේ මහත්තුරුන්ට උදව් උපකාරයක් වෙන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්.....” නිල්ලාගේ මව වන එච්. එම්. සෝමාවතී එසේ කියමින් දුක්වන්නීය.

දරු දෙදෙනෙක් සෝමාවතීගේ මරා දමන ලදැයි කියන ආරි මේ වනවිට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

මෙහි වඩාත් බරපතළ ඛේදවාචකය වන්නේ අම්මා නැතිව සිඟිති දියණියක මෙලොව තනිවීමය. වියපත් අත්තම්මාගෙන් පසුව බිලිඳිය රැකබලා ගැනීමටත්, ඇයට අධ්‍යාපනය ලබාදීමටත් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් මේ අත්තම්මා ආයාචනය සංවේදී සිත් ඇති, උදව් උපකාර කිරීමට කැමති කවුරුන්හෝ වෙත්නම් එච්. එම්. සෝමාවතී, මල්නායක කඩේ බාරේ, හිඟුරේගම- අඟුණවිල, මුන්දලම යන ස්ථානයේදී ඔවුන් හමුවී උදව් උපකාර කළ හැකි බව ගම්වාසීන්ගේ ඉල්ලීම මත සටහන් කරන්නෙමු.

පුත්තලම කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සඳුන්ගහවත්ත,සහකාර පොලිස් අධිකාරී අබේරාජ ගම්පලගේ උපදෙස් මත පල්ලම වැඩබලන ස්ථානාධිපති ඡායා කුමාරසිංහ ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති ආනන්ද, සැරයන්වරුන් වන (21763) නිමල්රත්න, (21777) ප්‍රේමසිරි, කොස්තාපල්වරුන් වන (41424) රූපසිංහ, (33631) පේ‍්‍රමරත්න පරීක්ෂණ සඳහා එක්වූහ.




පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive