facebook like

නීතිය නිරුවත්කර පොලීසියට චීත්ත ඇන්දවූ දේශපාලන මැරයෝ

ඇමති පියංකර ජයරත්න පොලීසියට පැමිණ උප සභාපතිවරයා මුදා ගැනීම සඳහා පොලිස්‌ නිලධාරීන් සමග සාකච්ඡා කරන අයුරු
* උප සභාපති පොලිස්‌ නිලධාරියාට පහර දී ට්‍රැක්‌ටරයෙනුත් බිමට දාලා...* අතරමගදි අත්අඩංගුවට ගත් සැකකරුවත් මුදාගෙන...

රටකට නීති පනවන හා ඒවා ක්‍රියාත්මක කරන අයම එම නීති උල්ලංඝණය කරන්නේ නම් ජනතාවට රකින්නට නීතියක්‌ ඉතිරි වන්නේ නැතැයි කියමනක්‌ තිබේ. එවැනි සිදුවීම් සම්බන්ධව අපේ සමාජයට ලැබෙන අත්දැකීම් දිනපතා වැඩිවෙමින් ඇත. එහි නවතම කතා පුවත දිග හැරෙන්නේ කවදත් මැර දේශපාලනයට කුප්‍රකට වූ පුත්තලම ආණමඩුව කරුවලගස්‌වැවෙනි. මේ සිද්ධියේ ප්‍රධානම දුෂ්චරිතය නිරූපණය වන්නේ කරුවලගස්‌වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති තනතුර දරන්නා විසිනි.

ප්‍රාදේශීය දේශපාලනයේ එතරම් ජනප්‍රියත්වයක්‌ හිමි කරගෙන නැතත් දිස්‌ත්‍රික්‌ දේශපාලන නායකත්වයේ හොඳ හිත දිනා ගැනීමට හේ සමත්ව සිටියේය. කරුවලගස්‌වැවට සුවිශේෂී වැඩ කොටසක්‌ සිදු කර මහජනතාවගේ හදවත් තුළ ජීවත් නොවුනත් යට කී දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් වෙනුවෙන් කිසිදු විලිබියකින් තොරව පෙනී සිටින නිසා හේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති වු බව කියෑවුණේය. ඒ නිසාම කරුවලගස්‌වැව ප්‍රාදේශීය සභාවට ලැබෙන කොන්ත්‍රාත් වලින් වැඩි ප්‍රමාණයක්‌ හිමි වූයේ මෙම උප සභාපතිවරයාටය. කෙසේ වෙතත් දිස්‌ත්‍රික්‌ දේශපාලන නායකත්වයේ සුවච කීකරු ගෝලයකු වීම නිසා කරුවලගස්‌වැව මෙන්ම සාලියවැව පොලීසියේ ලොකු මහත්වරු මෙන්ම පොඩි මහත්වරුද ඔහුට කිසියම් බය පක්‌ෂ පාති බවක්‌ දැක්‌වූහ.

මේ කාලකණ්‌ණි සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය. දිනය පසුගිය 06 වනදාය. එදින පස්‌වරු 6.15 ට පමණ උපාසකගේ චමින්ද රුවන්සිරි නැමති කරුවලගස්‌වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ආවේය. එයින් කියවුණේ ඔහුගේ හිතවතෙකු විසින් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ වැලි ට්‍රැක්‌ටරය පොලීසියෙන් ඇල්ලු බවය. එය කෙසේ හෝ බේරා දෙන ලෙස හිතවතා ඉල්ලා තිබිණි. ඒ වනවිට ඔහු සිටියේ 17 කණුව මංසන්ධිය ආසන්නයේය. උප සභාපතිවරයා කළ හැකි දෙයක්‌a කිරීමට එකඟ වූයේය. ඒ වනවිටත් ඇසට පෙනෙන මානයෙන් එම අත් ට්‍රැක්‌ටරය පුත්තලම අනුරාධපුර මාර්ගය හරහා සාලියවැව දෙසට ධාවනය වෙමින් තිබිණි. එම ට්‍රැක්‌ටරයේ පොලිස්‌ කොස්‌තාපල් 66085 කරුණාසේන ද විය. ට්‍රැක්‌ටරය පිටුපස යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියේ සාලියවැව පොලීසියේ සේවයේ නියුතු උප පොලිස්‌ පරීක්‌ෂක එල්.පී.එස්‌. පතිරණය. උප සභාපතිවරයා 17 කණුව අත්පන්දු ක්‍රීඩාංගනය අසලිsන් අත් ට්‍රැක්‌ටරයට නැග ගත්තේය. අනතුරුව ට්‍රැක්‌ටරය නිදහස්‌ කරන ලෙස නියෝග කළේය. එහෙත් පොලිස්‌ නිලධාරීන් එයට අනුකූලතාවයක්‌ දැක්‌වූයේ නැත. හේ දෙතුන් වතාවක්‌ම ට්‍රැක්‌ටරය නිදහස්‌ කරන ලෙස නියෝග කළේය.

එහෙත් මෙම අත් ට්‍රැක්‌ටරයම මීට පෙර අවස්‌ථාවක මෙවැනිම සිද්ධියකදී අත්අඩංගුවට ගෙන රුපියල් 50000 ක දඩයක්‌ ගෙවීමට පුත්තලම මහාධිකරණයෙන් නියෝග කර තිබුණි. මේ නිසා අත් ට්‍රැක්‌ටරය මුදා හැරීමට පොලිස්‌ නිලධාරීන් දෙපළ කිසි සේත් එකඟ වූයේ නැත. තම ආධාරකරුවන්ද ඉදිරියේ මහා වීරයෙකු මෙන් පොලිස්‌ නිලධාරීන්ට බලපෑම් කළත් ඔවුන් ඊට අනුකූලතාවය නොදැක්‌වීම නිසා උප සභාපතිවරයා තම සගයන් ඉදිරියේ අසරණ විය. මේ නිසා දණ්‌ඩෙන් පහර කෑ සර්පයෙකු මෙන් උප සභාපතිවරයා පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ කණ හරහා වැරෙන් පහරක්‌ එල්ල කළේය. එයින් නොනැවැතී පොලිස්‌ කොස්‌තාපල්වරයා බිමට ඇද දැමීමටද කටයුතු කළේ ය.

පුත්තලම, ආණමඩුව, නවගත්තේගම හා කරුවලගස්‌වැව මැර දේශපාලනයට නව පරිච්ඡේදයක්‌ එකතු කරන්නට උත්සාහ කරන උප සභාපතිවරයාගේ පහර දීම් හමුවේ නිවටයන් ලෙස තම රාජකාරිය පැහැර හැරීමට පොලිස්‌ නිලධාරීන් දෙදෙනා කටයුතු කළේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ යළි අත් ට්‍රැක්‌ටරයේ නැග එය සාලියවැව පොලීසිය දක්‌වා රැගෙන යැමට කටයුතු කිරීමය.

උප සභාපතිවරයාගේ පහර දීමෙන් පසු සිද්ධිය අවසන් වෙන්නට ඇතැයි සිතූ පොලිස්‌ නිලධාරීහු සාලියවැව පොලීසිය වෙත යමින් සිටියහ. සිද්ධිය වූ ස්‌ථානයේ සිට කිලෝ මීටර් 3 ක දුර ගෙවා පු/සාලිය ආදර්ශ මහ විදුහල ආසන්නයට ඔවුහු පැමිණෙමින් සිටියහ. ඒ වනවිටත් ලොරියකින් මග හරස්‌ කළ පිරිසක්‌ අත් ට්‍රැක්‌ටරයට යන්න දුන්නේ නැත. රැස්‌ව සිටි පිරිස පොලිස්‌ නිලධාරීන්ට පහර දුන්නෝය. සිද්ධිය පාලනය කිරීමට නොහැකි වූ තැන උප පොලිස්‌ පරීක්‌ෂකවරයා තම ගිනි අවියෙන් අහසට වෙඩි තැබුවේ ය. පිරිස හිස්‌ ලූ ලූ අත දුව ගියේ ය. මේ අවසරයෙන් පිරිස අත්ට්‍රැක්‌ටරය හා එහි රියදුරාද රැගෙන පලා ගියහ. දෙවැනි වතාවට ද පහර කෑමට ලක්‌ වූ පොලිස්‌ නිලධාරියා නොච්චියාගම දිසා රෝහලට ද උප පොලිස්‌ පරීක්‌ෂකවරයා සාලියවැව පොලීසිය වෙත ද රැගෙන යැමට පිරිසක්‌ කටයුතු කළ හ.

මෙම සිද්ධියෙන් සාලියවැව පොලිසියේ නිලධාරීහු සලිත වූහ. පුත්තලම පොලීසියේ සේවය කරමින් සිටිය දී මැර ප්‍රහාරයකට ලක්‌ව මිය ගිය සැරයන් නවරත්න බණ්‌ඩාට එම ප්‍රහාරය එල්ල වූ මොහොතේ පුත්තලම පොලීසියේ නිලධාරීන් කලබලයට පත් වූවාට වඩා සාලියවැව පොලීසියේ නිලධාරීන් මෙම අවස්‌ථාවේ කලබලයට පත් වූයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ආණ්‌ඩුවේම නියෝජිතයෙකුගේ මැර කණ්‌ඩායමකගෙන් වීම නිසා ය. එසේම තමන්ට නිතර දෙවේලේ හමුවන උප සභාපතිවරයා හා ඔහුගේ හිතවත් කණ්‌ඩායමක්‌ මෙම ප්‍රහාරය එල්ල කිරීම නිසා ඔවුහු වඩාත් පීඩාවට පත් වූහ.

මේ සිද්ධියත් සමග උප සභාපති උපාසකගේ චමින්ද රුවන්සිරි නමැත්තාගේ නිවස ළඟට අසල්වැසියන් හා හිතවතුන් පිරිසක්‌ පැමිණ සිටියේ ඔහු කළ ක්‍රියාව අනුමත කරන්නාක්‌ මෙනි. එහෙත් මෙම ප්‍රහාරය එල්ල කළේ රටේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හා නීතියට බව තේරුම් ගැනීමට ඒ කිසිවෙකුටත් අවශ්‍යතාවයක්‌ නොතිබිණි. මෙවැනි ප්‍රහාරයන් එල්ල කරන අයට එරෙහිව තීන්දු තීරණ ගැනීමට ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්‌ෂයෙන් හෝ ආණ්‌ඩුවෙන් පියවර ගන්නේ නැත. එය නුගත් සමාජයට වීරත්වයෙන් සැලකිය හැකි වික්‍රමයකි.

සාලියවැව පොලීසියේ බෝසත්වරු නැත. එය සැබෑවකි. එහෙත් දුගී මිනිසුන් සහිත සාලියවැව පොලිස්‌ වසම තුළ ජීවත්වන ඕනෑම අයෙකුට තම මූලික ජීවිත අවශ්‍යතා පිරිමසා ගැනීමේ දී මානුෂික පදනමකින් කටයුතු කරන ප්‍රතිපත්තියක්‌ පොලීසිය විසින් ක්‍රියාත්මක කරයි. නිවසක්‌ හදන්නට වැලි ටිකක්‌ ගන්න, වහල සෙවිලි කිරීමට ලී ටිකක්‌ සපයා ගන්න අවශ්‍ය ඕනෑම මොහොතක මානුෂික පදනමකින් සලකා බලා ඒ අවශ්‍යතාවට බාධා නොකිරීමට තරම් පොලීසියේ නිලධාරීන් අනුකම්පා සහගතය. නීතිය තමුන්ව විනාශ කරන්නට ක්‍රියාත්මක නොකරන මේ ස්‌වරූපය සාලියවැව ජනතාවගේ හදවත් දනී.

සාලියවැව ආදර්ශ මහා විද්‍යාලයේ බිම සකස්‌ කරද්දී ඊට අවශ්‍ය වැලි පස්‌ වැනි දේවල් සපයා ගැනීම සඳහා සාලියවැව පොලීසියේ ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීන් සහය දැක්‌ වූ අයුරු මෙන්ම 17 කණුව අලුත්ගම ශ්‍රී ලුම්බිණි විහාරයේ නව සංඝාවාසය ඉදි කරද්දී ඊට ඇවැසි දැව සපයා ගැනීමට ඉඩ හසර සලසා දුන්නේ මේ මානුෂික ගනුදෙනුව සමාජයත් සමග කළ නිසා ය. මේ සියල්ල මෙසේ සිදු වෙද්දී සාලියවැව පොලීසියේ නිලධාරීන්ට පහර දීම නීතිය හා සාමය අගයන කිසිවෙකුත් අනුමත කළේ නැත.

මෙම සිද්ධියත් සමග කරුවලගස්‌වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති උපාසකගේ චමින්ද රුවන්සිරි පෙරේරා නැමැත්තා අත්ඩංගුවට ගැනීම සඳහා සාලියවැව පොලීසියේ නිලධාරීහු උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගෙන් උපදෙස්‌ පැතූහ. ඒ අනුව හදිසියේම උප සභාපතිවරයා අත් අඩංගුවට ගත හොත් යම් මහජන විරෝධතාවයක්‌ ඇති විය හැකි බවට පොලිසියට තේරුම් ගොස්‌ තිබුණි. ඒ අනුව එදිනම රාත්‍රිය වනවිට අතිරේක භට පිරිස්‌ පුත්තලම, වනාතවිල්ලුව, හා කරුවලගස්‌වැව යන පොලිස්‌ බල ප්‍රදේශවලින් කැඳවීමට පුත්තලම කොට්‌ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී එල්. පී. එස්‌. පී. සඳුන්ගහවත්ත උපදෙස්‌ ලබා දී තිබිණි. වනාතවිල්ලුව හා කරුවලගස්‌වැව පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් සමග සහකාර පොලිස්‌ අධිකාරිවරුන් වන ක්‌ලෙමන් ප්‍රනාන්දු, ඊ. එස්‌. දයාරත්න, හා අබේරාජ ගම්ලත් යන නිලධාරීන්ට මෙහි පරීක්‌ෂණ කටයුතු සිදු කිරීමට නියෝග කර තිබුණි. ඒ අනුව එදින රාත්‍රියේ සැලසුම් කළ ආකාරයට උප සභාපතිවරයාගේ නිවස වැටලූ පොලිස්‌ නිලධාරීහු සැකකාර උප සභාපතිවරයා අත් අඩංගුවට ගත්හ.

මෙම උප සභාපතිවරයා පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ දේශපාලන නායකත්වය සමග ඉතා කුළුපග ඇසුරක්‌ පවත්වන බැවින් තමන් උදහසට ලක්‌ වේ යෑයි ඇතැම් උසස්‌ පොලිස්‌ නිලධාරීහු බියට පත් වූහ. එම තත්ත්වය කොතරම්ද කියනවානම් සැකකාර උප සභාපතිවරයා අධිකරණයට ඉදිරිපත් කරන අවස්‌ථාව වන තෙක්‌ රඳවා තබන්නේ කුමන පොලිස්‌ ස්‌ථානයේ ද යන්න පිළිබඳ තීරණයක්‌ කර ගැනීමටවත් මෙම උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ කශේරුකාව ශක්‌තිමත් වී තිබුණේ නැත. අවසානයේ සියල්ල සැකකරුට වාසි වන අයුරින් තීරණය කළ අතර හේ සාලියවැව පොලිසියේ රඳවා තබා ගැනීමට පියවර ගෙන තිබුණි. එහෙත් සාලියවැව පොලිසියේ නිලධාරින් අප වෙත අනාවරණය කළේ සැකකාර උප සභාපතිවරයා පොලිස්‌ කූඩුවේ රඳවා තබනු වෙනුවට ඔහුගේ ජංගම දුරකථනය යොදා ගනිමින් විවිධ පුද්ගලයන් සමග නිදහසේ කතා බහ කරමින් සිටීමට ඉඩ සළස්‌වා දී තිබු බව ය.

කෙසේ වෙතත් 07 දින දහවල් වන විටත් සැකකාර උප සභාපතිවරයා පුත්තලම වැඩබලන මහේස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් නොකිරීමට උසස්‌ පොලිස්‌ නිලධාරීන් කටයුතු කළේ ප්‍රහාරයට ලක්‌ව රෝහල්ගත කර සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා දැක්‌වූ නිර්භීතකමවත් තමන් තුළ නොමැති බවත් තම දෙපාර්තමේන්තුවේ තමන්ගේම සගයෙකුට හෙණ ගැහුවත් අඳ බාල දේශපාලනය ඉදිරියේ දණින් වැටී සිටීම යහපත් බවත් කියා පාමිනි. නිල ඇඳුම් ගලවා චීත්ත ඇන්දවිය යුතු මේ උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ නිවට හැසිරීමේ අවසන් ප්‍රතිඵලය වූයේ උප සභාපතිවරයාගේ ආධාරකරුවන් යෑයි කියාගත් පිරිසක්‌ සාලියවැව පොලිස්‌ ස්‌ථානය ඉදිරියේ විරෝධතා දැක්‌වීම හා පසුව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න පැමිණ උසස්‌ පොලිස්‌ නිලධාරීන්ට බලපෑම් කොට පොලිස්‌ ඇප ලබා ගෙන තම සුවච කීකරු ගෝලයා මුදවා ගෙන යැමට කටයුතු කිරීමය.

මේ සිද්ධිය යළිත් අපට කියන්නේ මේ රට ගමන් කරනා දිශානතිය ගැනය. පසුගියදා තමන්ට දඩ කොලයක්‌ ලියා දුන් පොලිස්‌ නිලධාරියෙකුට පහර දී ඔහුගේ රථය ගිනි තබා විනාශ කෙළේa මේ රටේ ඇමතිවරයෙකි. මේ මොහොතේ පොලීසියට පැමිණ තමන්ගේ අපරාධකාරී දේශපාලන සගයාව බලය යොදවා රැගෙන යන්නේත් ඇමති වරයෙකි. මේ අනීතික අපරාධ වීරත්වයෙන් දකින මිනිස්‌ ගොන්නුන් සහිත රටක දේශපාලකයන් මේ අයුරින් පිස්‌සු කෙළීම අපේක්‌ෂා කළ යුත්තකි. සිදුවීම් පෙළගැසෙන්නේ මේ ආකාරයට නම් මේ රටේ මහජන මුදල් වියදම් කර අධිකරණ පද්ධතියක්‌ නඩත්තු කළ යුතු නැත. මහජන නියෝජිතයින් යෑයි පවසන ඇමතිවරුන් පොලිසිවලට පැන තම ආධාරකරුවන් ද සමග පිස්‌සු කෙළී නම්, රටේ නීති පද්ධතිය ගර්හිත වීමේ ප්‍රායෝගික ව්‍යසනය ආණ්‌ඩුවට නොපෙනේනම් එවන් රටක ජීවත්වීමේ බිහිසුණු කම නුදුරේදීම එළි දකිනු ඇත්තේය.

සිවිල් ගුවන් සේවා ඇමති පියංකර ජයරත්න දැන් සාලියවැව පොලීසිය අම්බලමක්‌ කර හමාරය. හෙට සිට මේ පොලිස්‌ නිලධාරීන් නිල ඇඳුමක්‌ ඇඳගෙන පාරට බහින්නේ කෙසේදැයි අප දන්නේ නැත. මෙතැන් සිට සාලියවැව පොලිස්‌ වසම තුළ කුමන අපරාධයක්‌ සිදු වුව ද සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ දී පොලීසියට දෙපාරක්‌ සිතන්නට සිදුවනු ඇත. එපමණක්‌ ද නොව සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටින කණ්‌ඩායමක්‌ පැමිණ විරෝධතා දැක්‌වූ පමණින් එම සැකකරුවන් මුදාහළ යුතු දැයි සිතා බැලීමට කටයුතු කළයුතුව ඇත. ඇමති ගෝලයන්ට එක නීතියකුත් සෙසු අයට තවත් නීතියකුත් ක්‍රියාත්මක නොවන බව තහවුරු කිරීමට සාලියවැව පොලිසියට සිදුවනු ඇත.

ඇමති ලේකම්වරයකු සාලියවැව කලාඔය අධි රක්‌ෂිත ප්‍රදේශයේ කුඹුක්‌ගස්‌ කැපීමේ ජාවාරමක්‌ කළේය. එදා පොලිසියට කටයුතු කිරීමට සිදු වූයේ ගොලුවන් සහ බිහිරන් ලෙසය. එහි උණුසුම මැකී යන්නටත් පෙර සිදු වූ පියංකර ජයරත්න සාලියවැව පොලිසියට පැමිණ පොලිස්‌ අත්අඩංගුවේ සිටි සිය බත්බැලයාව රැගෙන යන්නේය. දැන් සාලියවැව පොලීසියේ නිලධාරීන් අප වෙත කියා සිටින්නේ තම නිල ඇඳුම් ගලවා ඇමතිවරයාට භාර දී සේවයෙන් සමු ගැනීමට පවා ඔවුන්ට සිතුණ බව ය. එහෙත් තම දරු පැටවුන්ගේ කුස ගින්න නිසා එසේ කළ නොහැකි බවත් අවසානයේ ප්‍රාදේශීය දේශපාලඥයන් ඉදිරියේත් කොඳු බිඳගත් නිවටයන් ලෙස සේවය sකිරීමට තමන්ට සිදුව ඇති බවත් ඔවුහු පවසන්නෝය.

සාලියවැව පොලීසියේa නිලධාරීන් මුහුණ දී සිටින අතිශය ෙ€දනීය තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී නීතිඥ අජිත් රෝහණගෙන් අප කළ විමසීමේ දී කියා සිටියේ මෙම සිද්ධිය පිළිබඳ පරීක්‌ෂණ පැවැත් වූ නිලධාරීන් තම වගකීම හරියට ඉටු නොකිරීම නිසා පොලීසිය පැහැදිලිවම අප්‍රසාදයට පත් වූ බවයි.

මෙම සිද්ධියේ දී අප අප ගැනම කල්පනා කළ යුතු සිද්ධි ගණනාවක්‌ පෙළගස්‌වනු ලබයි. නීති විරෝධී කටයුත්තක්‌ කළ ආධාරකරුවෙක්‌ අත්අඩංගුවට ගැනීම නිසා පොලිසියට පහරදී අත්අඩංගුවේ සිටි ජාවාරම් කරු පැහැරගෙන ගිය මැර උප සභාපතිවරයා නිදහස්‌ කර ගැනීම සඳහා මේ රටේම සිවිල් මිනිස්‌සු පිරිසක්‌ එක්‌වෙති. පොලිසිය ඉදිරියට රැස්‌ව විරෝධතා දැක්‌ වූ හිතවතුන් අතර බෞද්ධ භික්‌ෂුවක්‌ ද වැඩ සිටිති. පොලිස්‌ නිලධාරීනට දෙනෝදාහක්‌ ඉදිරියේ පහරදී පොලිස්‌ අත්අඩංගුවට පත් උප සභාපතිවරයා සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බැරිව උසස්‌ පොලිස්‌ නිලධාරීහු ඇඹරෙති. තම අත්අඩංගුවේ සිටින සැකකරු අධිකරණය ඉදිරියට පැමිණවීමට කොන්දක්‌ නැතිව ඔවුහු කල් මරති. අනතුරුව සිවිල් ගුවන් සේවා ඇමති පැමිණ බලය යොදවා පොලිසිය තුළ සිටි සැකකාර උප සභාපතිවරයා රැගෙන යනතුරු පොලිස්‌ නිලධාරීහු බලා සිටිති.

මේවා දකින මිනිස්‌සු තමුන් ගැනත් මේ රට ගැනත් දුක්‌වෙමින් සිටිති.

divaina -පින්තූර හා සටහන සාලියවැව වාර්තාකරු

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive