facebook like

මළ සිරුරුවලට මතුරා හතුරන් මරන්නට පිල්ලි යවන හැටි

( එස්.කේ. ජයවර්ධන)
අතීත ලංකාවේ ඇතැම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අසන විටත් අද ඇඟ කිලි‍පොලා යයි. පරම්පරාවට ගුරුමුෂ්ටි නොදීම හා දරුණු යන්ත්‍ර මන්ත්‍රකම් දැන සිටියද සඟවාලීම නිසා ඒ ක්‍රම ක්‍රමයෙන් අතුරුදන් විය. එවැනි දරුණු යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමවලින් එකක් නම් පිල්ලි යැවීමයි. අතීත ලංකාවේ අනුරාධපුර යුගයේ සිටම පිල්ලි යැවීම වූ බවට සාධක ඇත.

අද පිල්ලි අරිනවා යන වදනේ වචනාර්ථය සොරකම් කිරීම වැනි අදහසක් දෙයි. පිල්ලි යැවීම යනුවෙන් හඳුන්වන ලද්දේ මළ සිරුරකට යකෙකු ආරූඪ කර සතුරන්ට අනවින කිරීමයි. පිල්ලි ඉන්දියාවෙන් ලංකාවට ආවාදැයි හරියටම කිව නොහැක. දකුණු ඉන්දියාවෙන් පිල්ලි යැවීම ලංකාවට ආවේනම් එය පසුකාලයේ මෙරටට  දේශීය ලෙස සකස් විය.
1910 ඕ .පරිටෝල්ඩ් නම් මහතෙකු ලංකාවේ පිල්ලි යැවීම ගැන පරීක්ෂණ පවත්වන ලදුව ඔහුට බ්‍රිතාන්‍ය කටුගේ තිබි ලංකාවේ පිල්ලි යැවීම ගැන ලියවුණු පුස්කොල ‍පොත් කිහිපයක් ලැබි තිබුණි. පිල්ලි යැවීම ගැන කරුණු විස්තර  වන පිල්ලි වීදිය බ්‍රිතාන්‍ය කටුගේ තිබි පර්ටෝල්ඩ් මහතාට ලැබුණු පුස්කොල ‍පොතකි. පිල්ලි යැවීම ගැන තොරතුරු එකතු කළ බි.ද.එස්. ගුණසේකර මහතා ලංකාවේ පැවැති පිල්ලි ක්‍රම දහඅටක් ගැන කියයි. මේවා දහඅට පිල්ලි නම් වේ.
දහඅට පිල්ලි නම් 1. රීරි 2. නාග 3. කුමාර 4. කේලි 5. කන්‍යා 6. කනාමැදිරි 7. ගරුඬ 8. කුරුමිණි 9. තල 10. මහසෝන් 11. ඔඩ්ඩි 12. දෙබර 13. බඹර 14. වඩිග 15. සිංහ 16. ගජ 17. ගිනි 18. නීච කුල පිල්ලි යනුවෙනි.
ලංකාවේ අනුරාධපුර යුගයේ මුල පැවැති පිල්ලි ක්‍රම ගැන කතාවක් පාලි රසවාහිනී පාලි සහස්සවත්ථු ප්‍රකරණය හා සද්ධර්මාලංකාරයේ එයි. මේ කතා මුලින් එන්නේ පාලි සහස්සවත්ථු ප්‍රකරණයේය. (72 කතාව නන්දී, වාණිජස්ස වත්ථු- ‍පොල්වත්තේ බුද්ධදත්ත සංස්කරණය 145-146 පිටු) ඉන් පසු පාලි රසවාහිනියේ නන්දිවාපිස්ස වත්ථු නමින්ම එයි. මේ කතාව මාතර කල නන්දිය වෙළෙඳ වත නමින් කවියට නඟා ඇත. ඒ කතාව මෙසේය.
ලක්දිව මාවටුපටුනේ එනම් මන්නාරම් තොට විසූ ධනවත් නන්දිවෙළෙන්ඳා රූමත් ධනවත්, සමකුළ සිටුකුමරියක් පාවා ගනී, පිටරට වෙළෙඳාමේ ගිය ඔහුගේ නැව අවුරුදු 3ක් යන තුරු ලංකාවට ආවේ නැත. මේ අතර අනුරාධපුර රජු මාවටුතොට පාලනයට ශිව ඇමැතියා පත්කරයි. ශිව ඇමැති පිළිගැනීමට මාවටුතොට අලංකාරව සරසයි. ඇතුපිට නැගී නගරය ප්‍රදක්ෂණය කළ සිව ඇමැති නන්දි වෙළෙන්දාගේ බිරිය දැක ඇගේ රූපයෙන් මත්ව තොරතුරු විමසයි. ඇය කැමැති කරවා ගැනීමට ඇමැති දාසියක අත මසු දාහක් ඇයට යවයි. සිටු බිරිය ශරීරයේ අනිත්‍ය භාවය ගැන කියයි. දෙවනුව මසු දෙදාහක් යවා ඇය රාගයට ‍පොළඹවා ගැනීමට තැත් කරයි. ඇය බණ කියා  ඉන් වළකී. තුන්වෙනි වර මසුරන් 4000ක් යවන ලදුව ඇය  කිපී බැණ තමා පතිවත රකින බව කියයි.
සැමියා මරා ඇය හිමිකර ගැනීමට සිතූ ඇමැතියා යකැදුරෙකු කැඳවයි. පිටරට වෙළෙඳාමට නැවෙන් ගිය වෙළෙන්ඳා පිල්ලියක් යවා මැරීමට යකැදුරා මාවටුතොට සොහොන් බිමේ සිට ජීවම් කරයි. මතුරා මළ මිනියට පැන් ඉසින ලදුව මළ මිනියට යක්ෂයෙකු ආරූඪ විය. කළ යුතු දේ පිල්ලිය විමසන ලදුව වෙළෙන්ඳා මරණ ලෙස පිල්ලියට දන්වයි. පිල්ලිය කටින් ගිනි කඳු දමමින් මුහුද කළඹමින් නන්දි වෙළෙන්දාගේ නැව සොයාගෙන යයි. පිල්ලිය නැව දෙසට එනු දුටු වෙළෙන්ඳා බේරීමට මොන ක්‍රමයක්වත් නැතිබව දැන බුදුගුණ සිහි කරයි. වෙළෙන්ඳාට ළංවිය නොහැකි පිල්ලිය නැව වටා ගොස් ආපසු එයි. මෙසේ යැකැදුරා වෙළෙන්දා මැරීමට පිල්ලිය තුන්වරක් යවන ලදී. හතරවන වර මිනියට මතුරා ආරූඪ කර යවන ලදුව වෙළෙන්දා මැරිය නොහැකිව ආපසු ආ පිල්ලිය යකැදුරා හා ශිව ඇමැතියා මරා බිලි ගෙන මළ සිරුර අතහැර අතුරුදන් විය.
මේ කතාව සිද්ධ වූ කල රජු කව්දැයි සඳහන්ව නැතත් ක්‍රිස්තු වර්ෂ එක හෝ දෙක තරම් කතාව පැරැණිය. සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ කල විසූ කොත්මළේ ගණිතයා  තම බිරිඳට යකින්නක් වැඩකාරකමට බැඳ දී තිබුණි. ඒ යකින්නක් බව නොදත්කමින් යකින්න දිනක් ගැබිනිව සිටි ඇය මරා ශ්‍රී පාද අඩවියේ සැඟවුණි. කොත්ම‍ලේ ගණිතයා ජීවම් කළ කරුංකා ගෙඩියක් පිල්ලියක් සේ යවා       යක්ෂණිය අල්ලා බැඳ මුහුදට දැමූ බව කියැවේ. මෑත කල විසූ ප්‍රකට බත්තර මුල්‍ලේ සුභූති හිමියන් බණට වඩින විට  මුත්තර බල්ලාත් ආවාද කියා සරදම් කළ අයෙකුට බත්තරමුල්‍ලේ හිමි බලු පිල්ලියක් යවා වින කර වූ බව සඳහන් වේ.
නාගයන් ගැන පර්යේෂණ කළ ඇන්ස්ලම් ද සිල්වා මහතා කියන පරිදි  නාග මාණික්‍යය හා නාග පිල්ලි මිනිසුන් ගෙතූ මිථ්‍යා කතා මිස සත්‍යයක් නැත.
පර්ටෝල්ඩ් සොයාගත් පිල්ලි විදිය පුස්කොළ ‍පොත පිල්ලි යැවූ හැටි ‍පොදුවේ මෙසේ විස්තර කරයි. පිල්ලි ඇරීම ප්‍රධාන අවස්ථා
4කට බෙදිය හැක. පළමුව කුළුඳුල් දරුවෙකුගේ මළමිනියක් ලබාගත යුතුයි. දෙවැනි පියවර ඒ  මළ මිනියට පණ දීමයි. තුන්වැන්න මළ සිරුරට යකා බැඳ ගැනීමයි. හතර වෙනුව පිල්ලියෙන් වැඩ ගැනීමයි.
පිල්ලි යැවූ හැටි ‍පොතපතෙහි සඳහන් වන්නේ මෙසේය. පළමුව කුළුඳුල් කන්‍යාවක් සොයා ඈ ගැන තොරතුරු දැන ගත යුතුය. ඌරු දළයකින් ඇගේ නම බුලත් කොළයක ලියා ඇය සැපූ බුලත් සප, ඇගේ කෙස් රොදක්, ඇගේ නිය‍පොතු කැබැලි, ‍පොරවන රෙද්දේ නූල් සොයාගෙන එලිපත්ත යට වළලා ඇයට එළිපත්තෙන් පැනීමට සැලැස්විය යුතුය. ඉන්පසු ඒ ‍පොදිය දින තුනක් දෙබරයකට බැඳ තබා අනතුරුව ‍පොදිය දිමියන් සිටින තුඹසකට දමනු ලැබේ. ඈ විවාහ වූ පසු ඇය ගැන සැලකිල්ලෙන් සිටිය යුතුයි. විවාහයට පසු මේ බිහිසුණු බව ඇයට බලපායි. ඇය සිහිනෙන් මස් දකී. අස්වාභාවික දොළදුක් උපදී, නපුරු සිහින දකී, පියයුරු තුඩු කළු වෙයි. ශරීරය කෙට්ටු වෙයි.  දරු ගැබට යක්ෂයෙකු ආරූඪ වෙයි. අනතුරුව දරුවා මියගොස් දරුවාගේ මළ කුණ ප්‍රසූත කරයි. මළ දරුවා යකෙකු වෙයි.
මළ සිරුරක් වළ දැමූ පසු ඇදුරා දිය නා සොහොන් බිමට යයි. පිදෙනි පුදා සොහොන් යකා බැඳගෙන වළ හාරා මළ සිරුර ගොඩ ගෙන බඩ පලා බඩවැල් ඉවතලා හාල්පිටි බඩට පුරවා කම්බිවලින් උදරය මසයි. මළ සිරුර සඳුන් කිරි පැන් වලින් නාවා මළ සිරුරට ඉක්බිති රසදිය ‍පොවයි. තලප්පාවක් මළ සිරුරේ හිසේ බැඳ කොටි හමක් ඔතයි. මළ මිනිය අතේ නූලක් බැඳ ගොටු නවයක් සාදා පිදෙනි පුදා දින තුනක් තබයි. ඉන් පසු පාළු ගෙයක් සොයා මළ සිරුර එහි තබා ජීවම් කරයි. මළ සිරුරට කොටි තෙලින් පහන් දල්වා බුලත් තබයි. කිකිළි බිත්තරයක්, ‍ලේ, මස් පුදට තබයි. ඊතලයක් හා දුන්නක් වනමින් ඇදුරා මතුරයි. මතුරා මිනියේ මුහුණට පිම්බ විට සොහොන් යකා පන්දම ගෙන එයි. එවිට උගේ බලයෙන් මළ සිරුර යකෙකු වෙයි. මළ මිනිය නටමින් හූ කියයි. එවිට වැළකින් තලා බිම හෙළිය යුතුයි. නමක් කියන තුරු තලයි. එවිට පිල්ලිය යයි. දැන් මල පිල්ලිය යකැදුරාගේ අණ පිළිපදියි. මළ පිල්ලිය ගම දෙසට දිව ගොස් ගම මැදසිට හූ කියයි. යකැදුරාගේ අණ පරිදි පිල්ලිය සතුරන්ට විණ කරයි. වසුපැටවුන් මරයි. දරුවන් මරයි. කාන්තාවන්ට ආරූඪ වෙයි. වෙනත් හානි සිදු කරයි. පිල්ලි වීදියේ විස්තරවන පිල්ලි යැවීම ඉන්දියාවෙන් ලංකාවට ආ බව පර්ටෝල්ඩ්ගේ මතයයි.
ලංකාවේ පැවැති පිල්ලි යැවීමේ ක්‍රමයට වඩා දකුණු ඉන්දියාවේ ට්‍රැවන්කෝර් හා කොවින්  ප්‍රදේශවල පැවැති පිල්ලි යැවීම දරුණුය. ඒ ක්‍රමය කෙටියෙන් මෙසේය. කුළුඳුල්ව ගැබ්ගෙන මාස 7ක් වූ ස්ත්‍රියක් සොයාගෙන ඇගේ නිවස වටා යමින් රාත්‍රියේ දුම්මල මතුරයි. එවිට ඈ මන්ත්‍ර බලයෙන් දොර ඇරගෙන එළියට එයි. ඉන් පසු ඇය නග්න කර බිම හෙලයි. යකැදුරා දෙවටොර මත ලබු කැටයක් තබා මතුරයි. එවිට කුසතුළ සිටින දරුවා එළියට එයි. එළියට එන දරුවා බිම නොගෑවෙන සේ අල්ලා එළියට ගෙන දරුවා කැබැලිවලට කපයි. දරුවාගේ කැබැලි බඳුනකට බහා ඒ අසල වතුර පිරවූ බඳුනක්ද තබයි. ඉන් පසු ගිනිදල්වා රත්කරයි. මළ කඳේ කැබැලිවලින් ද්‍රවයක් ගලා අවුත් දෙවැනි බඳුනේ එක් වෙයි. මිනී හිස් කබලක් කුඩු කර ඒ මිනී තෙල්වලට එක් කරයි. යැකැදුරා ඒ තෙල් නල‍ලේ හා ඇඟේ ගා ගෙන ගොම දිය කළ වතුර ටිකක් පානය කරයි. ඉන් පසු යකැදුරාට කවරෙකුගේ හෝ ස්වරූපය ගැනීම හෝ හිතූ දෙයක් කළ හැකි යැයි කියැවේ.
මෑත කාලීන තොරතරු අනුව පිල්ලි යැවීම ලංකාවෙන් තුරන් වී නැත. ඉතා දක්ෂ පාරම්පරික ඇදුරන් අතර පිල්ලි යැවීම තවම ඇති බවට සාධක ඇත. පිල්ලිය ගැන මෑත අවධියේ පුවත්පත් සඟරාවල කතා කිහිපයක හරය මෙසේය. සතුරෙකු වෙත නාග පිල්ලියක් යවන ලදුව නාගයා කපා කොටා යළි යළි මැරුවත් නාගයා මැරිය නොහැකි විය. තවත් සිද්ධියක් රෑ වනය මැද වැස්සට නැවතුණ වෙළෙන්දෙකුට කරවලයෙකු මෙන් වේලා මහලු ස්ත්‍රියක් මතුරන ළමා මළ සිරුරක් පිල්ලියක් වී පහර දෙන විට රෑම පලාගොස් තුවාල ලබයි. පෙම්වතෙක් තම පෙම්වතිය ඔහු අමතක කර වෙනත් තරුණයකු සමග විවාහ වෙනු දැක කිපී පත්තෑ පිල්ලියක් යවයි. මනාලිය නව මනාලයා සමග ‍පෝරුවට නගින විට ඈ සපත්තුව පිස දමයි. පත්තෑ පිල්ලිය              දෂ්ඨ කළ ඇය ‍පෝරුව මත ඇද වැටී මිය යයි. තවත් කතාවක් අනුව යකැදුරෙකු අතවැසියෙකු සමග සොහොන් බිමට ගොස් පිල්ලියක් ජප කර පුස්කොලයේ නම ලියා සතුරා නැසීමට නාග පිල්ලි යවයි. කේන්ද්‍රය වැරැදී පිල්ලිය ආපසු ඇවිත් යකැදුරා බිලි ගැනීමට ‍පොර කයි. ඔහු අතවැසියා ගෙදරට යවා මැතිරූ තෙල් වගයක් ගෙන්වා ගනී. එවිට නාග පිල්ලිය අතුරුදහන් වෙයි.
මධ්‍ය කාලීන ලංකා සමාජය ග්‍රන්ථයේ මහාචාර්ය ඇම්.බි. ආරියපාල කියන පරිදි පිල්ලිය වැරැදුනොත් ආපසු අවුත් යැවූ අය මරණ බව විස්වාසයයි. ඉන්දියාවේ වේතාලයාගේ තැන ලංකාවේ පිල්ලිය ගනී. වේතාලයා දුෂ්ට පිසාචයෙකි. නිදන් වස්තු ගැනීමට පිල්ලි යැවූ බව, මහ මුහුදේ ධීවරයන් වෙත පිල්ලි යැවූ බව ජන කතාවල එයි. සෙලබ්ස් දූපත්වල මළ මිනිසුන්ට පණ දී ඔවුන් කෙසෙල් වතුවල වැඩට යොදවයි. සොම්බි යනුවෙන් හඳුන්වන මේ මළ මිනිසුන්ට මන්ත්‍ර බලයෙන් පණ දීමෙන් පසුව ඇසිපිය නොහෙලයි. සෘජුව ගමන් කරයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive