බුරුමය ශ්‍රී ලංකාව වගේම 80%ක්ම බෞද්ධාගමික වැසියෝ සිටින රටක්. බුරුමය ලංකාව වගේම බි්‍රතාන්‍යයේ යටත් විජිතයක්. බුරුමය ලංකාව වගේම තම රටේ නම පසුව මියන්මාර් නමින් වෙනස් කළා. නමුත් වෙනස තිබෙන්නේ මෙතැනයි. එනම් බුරුමය එක්දහස් නවසිය හැට ගණන්වල නී වින් නමැති මිලිටරි පාලකයා විසින් එදා ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් පලවා හැර රටේ බලය අල්ලා ගත්තා. එම මිලිටරි පාලනය අදත් තිබුණත්, පාලකයන්ගේ බලය ඉතා පහළ තැනකට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ බලය ක්‍ෂය වෙන්න වෙන්න ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාව සටන් කරන තැනට පැමිණ තියෙනවා. ඉතින් අද බුරුමයේ දේශපාලනය තිබෙන්නේ කොතැනද?
• බුරුමය සහ මුස්ලිම් විරෝධය
එදා බුරුමයේ භික්ඛු පරපුර ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ කොටසක් වුණා. එදා ඔවුන්ගේ ප්‍රධාන වාදය වූයේ උරහිස් දෙකම වැසෙන සේ සිවුරු පොරවනවාද නැතිනම් උරහිස් එකක් වැසෙන සේ සිවුරු පොරවනවාද වැනි දේ. නමුත් මීට අවුරුදු 7කට පෙර භික්‍ෂුන්වහන්සේලා පවතින මිලිටරි ආණ්ඩුවට විරුද්ධව පෙරමුණ ගත්තා. තරුණ භික්ෂුන්වහන්සේලා ආණ්ඩුවට විරුද්ධව පෙළපාළි යන විට ජනතාවත් ඔවුන් සමඟ පෙළපාළි ගියා. යුද හමුදාව සමඟ සටන් කළා. පැහැදිලිව ජනතාව තමන්ගේ අයිතිවාසිකම්, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී බලාපොරොත්තු භික්‍ෂු පෙරමුණ මඟින් ප්‍රකාශ කළා. එදා භික්‍ෂුන්වහන්සේලා සහ ජනතාව පරාජය කිරීමට හමුදාවට හැකි වුවත් එතෙක් ගලක් වගේ ශක්තිමත්ව සිටි බුරුමයේ මිලිටරි ආණ්ඩුව එදා දුර්වල වුණා. මැතිවරණ පොරොන්දු දෙන්න සිද්ධ වුණා. අවුන් සාන් සූ කී නමැති විරුද්ධ පක්‍ෂයේ නායකයන්ව නිවාස අඩස්සියෙන් නිදහස් කිරීමට සිදු වුණා. ජනතාවට මෙතෙක් නැතිව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැවත ලබාදෙන්න සිදු වුණා.
• මීළඟ භික්‍ෂු පිම්ම
මිලිටරි ආණ්ඩුවට විරුද්ධව ගොස් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් නැවත ලබා දුන්න භික්‍ෂුන්වහන්සේලා මීට වසර තුන හතරක සිට මහ මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් පටන් ගත්තා. එදා ඔවුන් කීවේ මුස්ලිම් ජනතාව බුරුමයට අයිති නැති බවත්, ඔවුන් ආපසු බංග්ලාදේශයට යා යුතු බවත්. මෙයට නායකත්වය දුන්නේ විරාතු නමැති භික්‍ෂුන්වහන්සේයි. ඔවුන්ගේ මූලිකත්වය උඩ මීට වසර දෙකකට පෙර, බෞද්ධ ලීගය Buddhist mobs) විසින් බුරුමය පුරාම මුස්ලිම් විරෝධී හර්තාල් ඇති කළා. එදා 300ක් පමණ මුස්ලිම් ජනතාව මියගියා. 1,40,000කට පමණ ඉන්න හිටින්න තැනක් නැති වුණා. මෙම භික්‍ෂු සංවිධාන කියන දෙයක් වන්නේ මුස්ලිම් ජනතාව වැඩියෙන් දරුවන් වදන බවත්, මේ නිසා බුරුමයේ බෞද්ධ ජනතාව දවසක නැති වන බවත්. රටවල්වලින් නියෝජිතයන් රටට පැමිණි විට භික්‍ෂු සංවිධාන ඔවුන් ඉදිරියේ පෙළපාළි ගියා. ඔවුන්ගේ බැනර්වල මෙවැනි වැකි සඳහන් වී තිබුණා. එනම් ඉස්ලාම් යනු සතුන්ගේ ආගමකි, සත්තු මෙන් උපත් පාලනයක් නැති ආගමකි, වගේ දේවල්.
• බුරුමයේ මිලිටරි ආණ්ඩුව සහ භික්‍ෂු සංවිධාන
මෙසේ මිලිටරි ආණ්ඩුව දුර්වල වන තැන, භික්‍ෂුන්වහන්සේ සහ ජනතාව ප්‍රසිද්ධියේ ආණ්ඩුවට විරුද්ධ වන තැන, විරාතු නමැති භික්‍ෂුන්වහන්සේ බොදු බල සේනාව වැනි සංවිධානයක් ඇති කළා. එයට ඔහු නමක් දුන්නේ "මබත" කියලයි. ඒ සමඟම මෙම භික්‍ෂු පෙරමුණ 969 නමැති තවත් එවැනිම මුස්ලිම් විරෝධී පෙරමුණක් ආරම්භ කළා. මෙම පෙරමුණු දෙකෙන්ම ජනතාව උසි ගැන්වූයේ මුස්ලිම් ජනතාව මරන්නයි, ඔවුන්ගේ දේපොළ විනාශ කරන්නයි. මුස්ලිම් විරෝධී ව්‍යාපාර ගෙන ගියේ මෙම පෙරමුණු දෙකයි. මෙම මුස්ලිම් විරෝධී ව්‍යාපාරයෙන් ප්‍රයෝජන ගන්නේ කවුද? මිලිටරි ආණ්ඩුවයි. විශ්ලේෂකයන් පවසන විදියට විරාතු හාමුදුරුවෝ මිලිටරි ආණ්ඩුවේ බළල් හස්තයක්. මුස්ලිම් ව්‍යාපාර මඟින් තමන්ට විරුද්ධව තිබෙන බලවත් ව්‍යාපාර නිහඬ කිරීමට ඒ හරහා මිලිටරි ආණ්ඩුවට හැකි වුණා.
• දැන් ලංකාවෙත් එහෙමද?
ලංකාවේ බොදු බල සේනාවත්, රාවණා බළකායත් මේ වගේ පවතින ආණ්ඩුව දුර්වල වී ගෙන යන විට මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් රටට ගෙන ආවා. ඔවුන්ගේ සටන් පාඨ වුණෙත් අර බුරුමයේ විරාතු හාමුදුරුවන්ගේ මුස්ලිම් ව්‍යාපාරවල සටන් පාඨම නොවේද? "මුස්ලිම්වරු වැඩියෙන් ළමයි හදනවා, එමඟින් ඔවුන් සිංහල ජනතාව සුළු ජනතාවක් කරනවා". එවිට මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්නැයි කියන එක? එයද ගෙන ආවේ අර විරාතු හාමුදුරුවන්ගේ ව්‍යාපාරයෙන්මයි. ඔහුත් එය කළා. එවිට හලාල් ප්‍රශ්නය සහ ගව සංහාරය නැවතීම? එයද බුරුමයෙන් ගෙන ආව හැටි බලන්න. බුරුමයේ මුස්ලිම් විරෝධී ව්‍යාපාර දැන් අවුරුදු 500ක් තිස්සේ තිබෙනවා. එදා රජවරු පවා මුස්ලිම් ජනතාවට හලාල් මස් කෑම පවා තහනම් කළා.
• බොදුබල සේනා මුස්ලිම් විරෝධී ප්‍රතිපත්ති
දැන් බලන විට අපේ බොදුබල සේනාව මේ මුස්ලිම් විරෝධය ඉගෙන ගෙන තිබෙන්නේ බුරුමයෙන්. ඒ නිසා වෙන්න ඇති මෑතකදී ඔවුන් අර විරාතු හාමුදුරුවන්ට ලංකාවට එන්න කියා ආරාධනා කළෙත්! දෙගොල්ලන්ම හදන්නේ ජනතා අප්‍රසාදයට පාත්‍ර වූ පාලකයෝ ආරක්‍ෂා කරන්න නොවේද? හැබැයි බොදුබල සේනාවට අමතක වුණු දෙයකුත් තිබෙනවා. එනම් බුරුමයේ මුස්ලිම් විරෝධී ව්‍යාපාරයට ඓතිහාසික හේතුවක් තිබුණා. එනම් ඉන්දුනීසියාව තම අසල්වැසි බෞද්ධ රටක් වුවත්, එහි බෞද්ධාගම ඉස්ලාම්වාදය නිසා නැත්තටම නැති වුණා. අදත් බොදු බාදූර් නමැති බෞද්ධ නටබුන් සංචාරකයෝ ආකර්ෂණය කරනවා. ඒ වගේම අද මලයාසියාව නමින් හැඳින්වෙන මලය රට කලින් බෞද්ධ රටක් වෙලත් ඉස්ලාම් ධර්මය වැලඳ ගත්තා. බුද්ධාගමත් නැති වුණා. ඉතින් බුරුමය මුස්ලිම් විරෝධී වීම පුදුමයක් නොවෙයි.
නමුත් ශ්‍රී ලංකාව? මේ රටට ඉස්ලාම් ධර්මයෙන් කවදාවත් කිසිම තර්ජනයක් සිද්ධ වී නැහැ. අපේ රටට තර්ජන තිබුණේ දකුණු ඉන්දියාවෙන්. ඉතින් ඒ නිසා තමයි බොදුබල සේනාව කෙතරම් බුරුමයේ මුස්ලිම් විරෝධී බෞද්ධ ව්‍යාපාරවල සටන් පාඨ මේ රටට ගෙන ආවත් අපේ රටේ බෞද්ධයෝ මුස්ලිම් විරෝධී ව්‍යාපාරවලට හසුකර ගන්න බැරි වුණේ. ඉතිහාසයේ තර්ජන නැති තැනක අලුතෙන් ජාතික තර්ජන ඇති කරන්න කවදාවත් බැහැ. එය ඔය රාජපක්‍ෂ ආණ්ඩුව ආරක්‍ෂා කරන්න හදාගත් බොදුබල සේනාවට ඉගෙන ගන්න කෙතරම් කල්ගත වෙයිද?






0 comments:
Post a Comment