facebook like

දේශද්‍රෝහියෙක් ඕනෑකර තිබේ 'මම ජිනීවා යනවා...'

උපුල් ජෝශප් ප්‍රනාන්දු

මහින්ද 1991 සැප්තැම්බර් 12 වැනි දින ප්‍රේමදාස ආණ්ඩුවේ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ සිද්ධි ඇතුළත් වාර්තා සහ ඡායාරූප තොගයක් රැගෙන ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ රැස්වීමට යනවා යැයි කියන විට මහින්දගේ දේශපාලන මිතුරෝ කලබල වූහ.

'ඔයාව යූ.ඇන්.පී.ය දේශද්‍රෝහියෙක් කරාවි...'
ඔවුහු මහින්දට කීහ.
'ඒකට බය වෙලා මට මේ ජනතා ද්‍රෝහී ආණ්ඩුව ආරක්‍ෂා කරන්නද කියන්නේ? අවුරුදු 14ක් අපේ අහිංසක පාක්‍ෂිකයෝ විපක්‍ෂයේ ඉඳන් ගුටි කනවා. අපි උන්ට කොහොම හරි ආණ්ඩුවක් අරන් දෙන්න ඕනෑ...'


මේ මහින්ද මිතුරන්ට කී කතාවය.
මේ කතාව මතක් වුණේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පරීක්‍ෂණයට එරෙහිව මහින්දගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවට ඡන්දය දිය යුතු ආකාරය ගැන විපක්‍ෂය සාකච්ඡා කරන බව ආරංචි වූ විටදීය.


'බය නැතිව කොන්ද කෙළින් තියාගෙන මහින්ද විපක්‍ෂයේදී ගේම දුන්නා වගේ ගේමක් දෙන්න එකෙක් අද විපක්‍ෂයේ නෑනේ...'
මේ එදා මහින්දට ජිනීවා යන්න උපදෙස් දුන් මහින්දගේ පරණ මිතුරන් අද කියන කතාවය. මේ එදා මහින්ද ජිනීවා යන්න ගිහින් කටුනායක ගුවන් තොටුපොළේ වෙච්ච ඇබැද්දිය දිවයින පුවත්පත වාර්තා කළ ආකාරයය.


ජගත් සමුළුව වෙත ගෙන යද්දී මානව හිමිකම් කැඩීමේ සිද්ධි 600ක විස්තර අත්අඩංගුවට
එක්සත් ජාතීන්ගේ මූලික හා මානව අයිතිවාසිකම් සංවිධානයේ 31 වැනි සැසිවාරයට සහභාගි වීම ස¼දහා ජිනීවා බලා පිටත්ව ගිය මානව අයිතිවාසිකම් සුරැකීමේ පාර්ලිමේන්තු කමිටුවේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ගෙන යන ලද මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 600ක විස්තර අඩංගු ලිපි ලේඛන රාශියක් පෙරේදා (11දා) රාත්‍රි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ජිනීවා බලා යෑම සඳහා ගුවන් තොටුපොළට පැමිණි රාජපක්‍ෂ මහතා හමුවීමට පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ඔහුට පොලිසියට යෑමට කතා කර ඇත.


රාජපක්‍ෂ මහතා එයට අකැමැත්ත පළ කොට අවශ්‍යනම් තමා ගුවන් තොටුපොළේදී පරීක්‍ෂා කරන ලෙසත් තමා ළඟ රාජ්‍ය විරෝධී හෝ නීති විරෝධී කිසිවක් නොමැති බවත් ඔවුන්ට පවසා තිබේ.
පසුව පොලිස් නිලධාරීන් ඒ මහතා ගුවන් තොටුපොළේ කාමරයක් වෙත කැඳවාගෙන ගොස් පරීක්‍ෂා කිරීමට සූදානම් වූ නමුත් රාජපක්‍ෂ මහතා එම අවස්ථාවේ තම ගමන් මලු ප්‍රසිද්ධියේම විවෘත කොට එතැනම තබාගෙන පරීක්‍ෂා කරන ලෙස ඉල්ලා ඇත.
අන්තිමේදී පොලිස් නිලධාරීන් මහින්ද රාජපක්‍ෂ මහතා ළඟ තිබූ පසුගිය කාලයේ අතුරුදන් වූ පුද්ගලයන් 600කගේ පමණ තොරතුරු හා ඡායාරූප ඇතුළත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය මඟින් නිකුත් කොට ඇති පෝර්ම තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව පොලිස් නිලධාරීන් රාජපක්‍ෂ මහතාට යන්නට දී තිබේ. ඔහු මේ පිළිබඳ ඒ මොහොතේම ගුවන් තොටුපොළේ සිට දුරකතන මඟින් විපක්‍ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටද දැනුම්දී ඇත.


ඉන් අනතුරුව මහින්ද රාජපක්‍ෂ මහතා රාත්‍රි 11.15ට පමණ එයාර්ලංකා ගුවන් යානයෙන් ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.
මෙය තවත් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්
විපක්‍ෂයේ මන්ත්‍රිවරු


පොලිස් නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම හා ඔහු සතු ලියවිලි අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් වන අතර මෙම සිද්ධිය තමන් තරයේ හෙළාදකින බව ප්‍රකාශ කරමින් නව සමසමාජ පක්‍ෂයේ නායක වාසුදේව නානායක්කාර හා ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ යන මන්ත්‍රිවරු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා වෙත ඊයේ (12දා) විදුලි පුවතක් යවා ඇත.
මෙය රජය විසින් සිදු කරන ලද තවත් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් යැයිද එහි දැක්වේ.
එම විදුලි පුවත මෙසේය.


එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් සංවිධානයේ විශේෂ රැස්වීමක් සඳහා 1990.09.11 දින රාත්‍රි ගුවන් මඟින් ඇම්ස්ටර්ඩෑම් බලා යෑමට පැමිණි පාර්ලිමේන්තුවේ මානව අයිතිවාසිකම් කමිටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ මහතා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඔහු භාරයේ තිබූ ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් කඩකිරීමේ සිද්ධීන් 600ක් පමණ සම්බන්ධයෙන් වූ ලිපි ලේඛන හා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ පෝර්ම පත්‍ර යනාදිය අත්අඩංගුවට ගැනීම අපි හෙළා දකිමු'


මෙය රජය විසින් කරන ලද තවත් මානුෂික අයිතිවාසිකම් කඩ කිරීමක් බව අපි සඳහන් කරමු. අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු අඩංගු ලිපි ලේඛන ගුවන් තොටුපොළ තුළදී පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් ඔප්පු වන්නේ මෙම පැහැර ගැනීම් හා මානව අයිතිවාසිකම් කඩ කිරීම්වලට රජය කෙළින්ම සම්බන්ධ බවයි. කතානායකතුමාගේ නියෝගයක් නොමැතිව මන්ත්‍රිවරයකු අත්අඩංගුවට ගැනීම සහ ඔහු පරීක්‍ෂා කිරීම මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමකි. මේ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන්න.
තවද පසුගිය කාලය තුළ මෙවැනි සිද්ධීන් කිහිපයක්ම සිදු වී ඇති හෙයින් මෙයින් පෙනී යන්නේ රජයේ අනුග්‍රහය ඇතිව දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීම් නොකඩවාම සිදු කරන බව යැයි ද එම විදුලි පුවතේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙහි පිටපත් කතානායකතුමා, පොලිස්පති, රාජ්‍යාරක්‍ෂක, රාජ්‍ය ඇමැති, විපක්‍ෂ නායිකාව ඇතුළු සියලුම පක්‍ෂ නායකයන් වෙත යවා ඇතැයි ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා දිවයිනට පැවැසීය.
ලැබුණු ඔත්තුවක් අනුව මන්ත්‍රිතුමා පරීක්‍ෂා කළා
පොලිස් නිලධාරියෙක්


අපට ලැබුණු ඔත්තුවක් අනුව පෙරේදා රාත්‍රි ගුවන් තොටුපොළේදී අපි මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රිතුමා පරීක්‍ෂා කළා. ඔහුගේ බෑගයක තිබී ඡායාරූප 500කට අධික සංඛ්‍යාවක් ඇලවූ පෝර්ම තොගයක් හා මළ සිරුරු රාශියක ඡායාරූපද හමු වුණා. අපි මෙයින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර නැහැ. මේ මස 23දා රාජපක්‍ෂ මහතා පෙරළා ශ්‍රී ලංකාවට පැමිණි පසු මේ ගැන ඔහුගෙන් ප්‍රශ්න කරන්නට බලාපොරොත්තු වෙනවා යැයි මහින්ද රාජපක්‍ෂ මහතා පරීක්‍ෂා කිරීමේ සිද්ධිය ගැන දිවයින මඟින් කළ විමසීමකට පිළිතුරු දුන් ගම්පහ දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ පිළිබඳ පොලිස්පති අර්නස්ට් පෙරේරා මහතාගෙන් විමසූ විට අදාළ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකුගෙන් අසා දැන ගන්නැයි ඒ මහතා කීය.
ඉහත සඳහන් උසස් පොලිස් නිලධාරි තැන එම විස්තරය කළේ ඒ අනුවය.


මහින්දට එදා දේශද්‍රෝහී හංවඩුව එ.ජා.ප. ආණ්ඩුව ගැහුවේය. මේ මහින්ද එදා පාර්ලිමේන්තුවේදී එයට උත්තර දුන් ආකාරයය.
ජේ.ඒ.ඊ. අමරතුංග මහතා
හංගාගෙන ගියේ රට යන්න. සුද්දන්ට දෙන්න.
මහින්ද රාජපක්‍ෂ මහතා


ඔව්, අපි හංගාගෙන නොවෙයි එළිපිට අරගෙන යනවා. (බාධා කිරීම්) ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ අය මෙතැන ඉඳගෙන කියනවා, සුද්දෝ ළඟට අරගෙන ගියාය කියලා. ආධාර ඉල්ලාගෙන හිඟමනේ යනකොට හොඳයි සුද්දෝ ළඟට, ගිහින් හිඟමන් කන්න හොඳයි, ආධාර ඉල්ලන්න හොඳයි. හාල් පොත කපන්නය කියලා සුද්දෝ කිව්වාම හාල් පොත කැපුවා. මුද්දර පොත කපාපන් කිව්වා, මුද්දර පොත කැපුවා. ලංගම පෞද්ගලිකකරණය කරපන් කිව්වා. පෞද්ගලිකකරණය කළා. නැද්ද? ලංගම පෞද්ගලිකකරණය කළේ ලෝක බැංකු ආධාර දෙන රටවල් කිව්ව නිසා නොවෙයිද? ඊට පස්සේ සියලුම ජනසතු ව්‍යාපාර, සංස්ථා වගේ රජය සතු ව්‍යාපාර සියල්ලක්ම පෞද්ගලිකකරණය කරන්නය කියා කිව්වා.


ගරු මන්ත්‍රිවරයෙක්
කැසිනෝ?
මහින්ද රාජපක්‍ෂ මහතා
ඒවා කරන්නය කිව්වාම තමුන්නාන්සේලා අත ඉස්සුවා. ආධාර දෙන රටවල්වලට අපි ගිහින් කිව්වේ. තමුන්නාන්සේලා පුළුවන් නම් මේ මේවා කපන්නය කියා කියන්න. මේ රටේ මිනිසුන්ගේ මානව අයිතිය රකින්නය කියන එකක් මේ ආණ්ඩුවට කියන්නය කියන එකයි. එහෙම නම් ආධාර දීමේදී එය කොන්දේසිය වශයෙන් දාන්නය කියන එක වැරැදිද කියා මම තමුන්නාන්සේගෙන් අහනවා.
ජේ.ඒ.ඊ. අමරතුංග මහතා
ඒක රට පාවාදීමක්


මහින්ද රාජපක්‍ෂ මහතා
රට පාවාදීමක්? තමුන්නාන්සේලා වගේ රට පාවා දෙන කොල්ලෝ නොවෙයි දකුණේ ඉපදිලා තිබෙන්නේ. දකුණේ ඉපදිලා සිටින්නේ රට වෙනුවෙන් ජීවිත පූජා කරන කොල්ලන්ය කියන එක තමුන්නාන්සේ මතක තියාගන්න. (බාධා කිරීමක්) ඒක මතක තියාගන්න. ඒ හින්දා මේවා ගැන කියන්න අපට අයිතියක් තිබෙනවා. මේ රටේ ජනතාවගේ අඳෝනාව, මේ රටේ මවුවරුන්ගේ අඳෝනාව, මේ රටේ අහිංසකයන්ගේ අඳෝනාව පිටරටකට නොවෙයි ඕනෑ අහකට ගිහින් අපි කියනවා. ඒක අපි එදත් කිව්වා අදත් කියනවා ඒ වගේම හෙටත් කියනවාය කියන එක ඇමැතිතුමන්ලාට අපි මතක් කර දෙන්න ඕනෑ. ඒක මත තියාගන්න (බාධා කිරීමක්) මොකක්ද, මට ඇහුණේ නැහැ. (බාධා කිරීමක්)
පාර්ලිමේන්තු හැන්සාඩ් 25.01.1991
ඇත්තටම මහින්ද එදා කළේ දේශද්‍රෝහී වැඩක් නොවේ. මහින්දට ඕනෑ වුණේ යකා ළඟට ගිහින් හරි යූ.ඇන්.පී. ආණ්ඩුව ඉවර කරල ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් බලයට ගේන්නටය.


අනෙක මහින්දට හොඳට මිනිසුන්ගේ නාඩි වැටුණි. 88, 89 භීෂණ කාලයේ වල්ලෙන් හරි පොල්ලෙන් හරි ගහල ජ.වි.පෙ. ඉවර කර ගන්න මිනිසුන්ට අවශ්‍ය විය. හේතුව ජ.වි.පෙ. නිල නොවන ඇඳිරි නීතිය මිනිසුන්ට 'තිත්ත' වෙලා තිබුණ නිසාය. ඒ වෙලාවේ මහින්දලාවත් ජ.වි.පෙ. ගැන කතා කළේ නැත. කාලයක් යන කොට මිනිසුන්ට ජ.වි.පෙ. කළ වැඩ අමතක විය. මහින්දලා ජ.වි.පෙ. තරුණ තරුණියන් ඝාතනය ගැන කතා කරල මිනිස්සු අතර වෛරයක් හදන්න පටන් ගත්තේ ඒ කාලයේය.


අද යුද්ධයට වෙලා තියෙන්නෙත් ඒකය. දැන් මිනිසුන්ට යුද්ධයත් මතක නැත. ප්‍රභාකරන්වත් මතක නැත. හැබැයි එහෙම කියල එදා මහින්දල ප්‍රේමදාස ආණ්ඩුව මරපු ජ.වි.පෙ. තරුණ තරුණියන්ගේ ඡායාරූප පෙන්වන විට 'අනේ අපොයි' කිව්වා වගේ මහින්දගේ ආණ්ඩුව එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් මරල තියෙන ඡායාරූප 'චැනල් ෆෝ' එකේ දැකල අනේ අපොයි කියන්නේ නැත.
'අයියෝ මේ ආණ්ඩුවට මේවා වහල කරගන්න බැරි වුණානේ...'


'ආණ්ඩුවට මේවාට උත්තරත් නෑනේ...'
මේ මිනිස්සු කියන කතාය. 2009දී ආණ්ඩුව නියමෙට වැඩේ දුන්නා කියපු මිනිස්සුම දැන් කියන්නේ ආණ්ඩුව ඉන්ටර්නැෂනල් වැඩේ නා ගත්තා කියලාය. මහින්ද වගේ කෙනෙක් අද විපක්‍ෂයේ හිටියා නම් මිනිසුන්ගේ ඒ නාඩිය අල්ලලා කෑ ගහන්නේ ආණ්ඩුව නහන්න පිල්ලේ බැරි නම් ඕනෑ පිල්ලියක් වරෝ වරෝ
කියලාය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive