බරපතළ අපරාධයන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ගිනි අවි පෙන්වන්නට යාමේදී පොලීසිය සමග ඇතිවන ගැටුමකින් මියයයි. එම නිසා පොලීසිය විසින් සැකකරුවන්ව ගිනිඅවි පෙන්වීමට ගෙනයාම හොඳද නරකද යන කාරණය පිළිබඳව විද්වත් මත විමසුමක් කළෙමු.
ආයුධ පෙන්වීමට ගෙනියන්න නීතිමය ප්‍රතිපාදන තිබෙනවා
- කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා
යම්කිසි පුද්ගලයෙක් අපරාධයක් කළේ නම්, ඔහු එම අපරාධය කළ බව පිළිගන්නේ නම් එම පුද්ගලයා
අපරාධය සිදුකළ ස්ථානය හෝ අපරාධය සිදු කිරීමට භාවිත කළ ආයුධය පෙන්වීමට පොලීසියෙන් රැගෙන යාමට නීති ප්‍රතිපාදන ලබා දී තිබෙනවා.
මෙසේ අපරාධකරු රැගෙන යන්නේ නම් ඒ බව පොලිස් පොතේ සටහන් තැබිය යුතුවේ. එසේ සටහන් තබන විට අපරාධකරු ගෙන යන දිනය, වේලාව, ගෙනයන්නේ කොතැනටද, ගෙනයන්නේ කුමකටද ගෙනයන්නේ කෙසේද යන වග ලිඛිතව සටහන් කළ යුතුවෙනවා.
පොලිස් රැකවල් මැද මාංචු දමා මෙසේ රැගෙන යන සැකකරු අපරාධය සිදු කළ ස්ථානය හෝ අපරාධය සඳහා භාවිත කළ ආයුධය පොලිස් නිලධාරීන්ට පෙන්වනු ලබනවා. මෙසේ පෙන්වීමෙන් අනතුරුව සැකකරුව නැවතත් පොලිස් රැකවල් මැද පොලීසියට ගෙන යනු ලබනවා.
අපරාධ භාණ්ඩ සොයන්න සැකකරු නැතුව යන්න බෑ
- පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ
මෙරට සාක්ෂි ආඥා පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව යම් අපරාධකරුවෙක් එම අපරාධයට යොදාගත් භාණ්ඩයක් සොයා ගන්න යනවා නම් ඊට සැකකරුත් සහභාගි කර ගත යුතුයි. සැකකරු නැතිව ඒ ගමන යන්න බැහැ. සැකකරු ඉදිරියේ භාණ්ඩය සොයාගෙන එය ඔහු විසින්ම රැගෙන පොලීසියට භාර දිය යුතුයි. එය තමයි පවතින නීතිය. එසේ කළේ නැත්නම් සැකකරුට කියන්න පුළුවන් තමා එවැනි දෙයක් කිව්වෙත් නැහැ කළෙත් නැහැ කියලා.
අධිකරණය පිළිගන්නේත් සාක්ෂි ආඥා පනත යටතේ පොලීසිය ඉදිරිපත් කරන ලේඛන හෝ භාණ්ඩ පමණයි. සැකකරුවකු නොමැතිව ගොස් අපරාධයකට යොදා ගත් භාණ්ඩයක් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළොත් එය අධිකරණයට සාක්ෂියක් ලෙස පිළිගන්න බැහැ. නොයෙක් දෙනාට නොයෙක් අර්ථකථන දෙන්න පුළුවන්. හැබැයි පොලීසියට කටයුතු කරන්න වෙන්නේ නීතියට අනුවයි.
අතට මාංචු දමා ගෙන යන අය තුවක්කු ගන්නා එකම රට මෙයයි
- නීතිඥ ජේ.සී. වැලිඅමුණ
ලංකාවේ මේ සිදුවීම් පොලීසියේ ඇත්ත තත්ත්වය හෙළි කරන්නක්. පොලීසිය නීතිය අනුගමනය නොකරන බව මෙයින් පෙනී යනවා. අත්අඩංගුවට ගත් අයෙක් මාංචු අතට දමා රැගෙන යනවා. අතට මාංචු දමන ලද අය තුවක්කු අතට ගන්නා එකම රට තමයි ලංකාව.
මේවා ඝාතනය හා මිනීමැරුම් ලෙස සටහන් කළ හැකියි. මේ සිදුවීම්වලට සම්බන්ධයෙන් පොලීසියට එරෙහිව මිනීමැරුම් නඩු පැවැරිය යුතුයි. සැකකරුවන් මේ ආකාරයට ඝාතනය කළ විට අපරාධවල සුලමුල සොයාගත නොහැකියි. අපරාධ පිළිබඳ සිදුවන පරීක්ෂණ අතරමගදී ඇන හිටිනවා.
සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දඬුවම් දිය යුතුයි. සැකකරුවන්ට දඬුවම් දීමේ බලයක් පොලීසියට හා ලංකාවේ සුළු අපරාධවලට උසාවියෙන් දඬුවම් දෙනවා. බරපතළ අපරාධකරුවන්ට පොලීසියෙන් දඬුවම් දෙනවා. නීතිය අනුව අධිකරණයකින් වරදකරුවකු කරන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙක්. ඒ අනුව බලනවිට පොලීසිය මේ ඝාතනය කරන්නේ නිර්දෝෂී පුද්ගලයින්ම ලංකාවේ නීතියේ බිඳවැටීම මෙයින් පේනවා. මේ අයට පොලීසිය මරණ දඬුවම් දෙනවා.
ලෝකයේ මරණ දඬුවම ප්‍රතික්ෂේප කරන විට පොලීසිය මේ ආකාරයට මරණ දඬුවම් දීම ඉතාමත් වැරදි සහගතයි.
(වසන්ත වීරකුලසූරිය / පැතුම් වික්‍රමරත්න / පද්මිණි මාතරගේ / ශ්‍රියානි විජේසිංහ)






0 comments:
Post a Comment