facebook like

“මිස්ටර් සුනිල් මාධව කියලා කෙනෙක් නෑ..... සුනිල් අයියා නම් ඉන්නවා.”( හැත්තෑ වැනි විය සපුරන අපූරු මිනිසෙකු ගැන සමරු සටහනක් )

'ලක්දිව' පත්‍රයේ කර්තෘ මණ්ඩල සාමාජිකයින් 1991 නොවැම්බරයේ බොරැල්ල 'ලක්දිව' කාර්යාලයේ කර්තෘ මණ්ඩල කටයුතු අරඹමින්-
(පසුපෙළ වමේ සිට): විමල් වීරවංශ, ධර්ම ශ්‍රී කාරියවසම්, විනී හෙට්ටිගොඩ, සුනිල් මාධව ප්‍රේමතිලක, ඩලස් අලහප්පෙරුම, සුදත් මහදිවුල්වැව
(ඉදිරි පෙළ වමේ සිට): රෝහිත භාෂණ අබේවර්ධන, මැනුවෙල් ජයසේකර, තිඹිරියාගම බණ්ඩාර
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර -
මා අබියස කෘතියකි. එහි නම “පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත” යන්නයි. කෘතියේ මූලාරම්භයේ කොළඹ යුගයේ කවියෙකු ලෙස පෙළ‍පොතින් හඳුනාගෙන සිටි මීමන ප්‍රේමතිලකගේ පුද්ගලික අත්දැකීමකි. ඉන්දීය ශාස්ත්‍රඥයෙකු ලෙස එවක ප්‍රකට ව සිටි බණී මාධව බරුවාගේ දේශනයක් වාර්තා කරන්නට ගොස් දේශන ශාලාවේ අසුන්ගෙන සිටි මීමන ආරෝහ පරිණාහ දේහයකින් යුතු, පිළිවෙළකට ඇඳපැළඳ ගත් හැඩකාරයෙකු සිතින් මවාගෙන සිටියේය. “වේදිකාවට ගොඩවූයේ සිහින් සිරුරක් ඇති පුද්ගලයෙකි. ඔහුගේ හිසකේ අවුල්වී ගොසිනි. ටයි පටියක් පැළඳ සිටි නමුත් එහි කිසිදු
හැඩයක් පිළිවෙළක් නැත. බාගයට දමා තිබුණු ටයි ගැටයත්, පැත්තකට විසිවූ ටයි පටියත් නිසා ඔහු කෙරෙන් විද්‍යමාන වූයේ තරමක අමුතු ආකාරයේ පෙනුමකි. මේ කිසිසේත්ම මාධව බරුවා විය නොහැකි යැයි මීමන සිතීය. එහෙත් මීමනගේ සිතුවිල්ල සාවද්‍ය කරමින් මේ අමුතු මිනිසා දේශනය ආරම්භ කළේය.” (පිටුව 11) දේශනයෙන් ඉක්බිතිව මාධව බරුවා ගැන උපන් ගෞරවාදරයෙන් යුතුව මීමන ගෙදර ගියේය. තම බිරිඳ වන ඇඩ්ලින්ට දාව උපදින කුළුඳුල් දරුවාට “මාධව” යයි නම දැමිය යුතු බවට යෝජනා කළේය.

ඒ දෙදාහ දශකයේ මූලාරම්භයයි. මා පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කීමෙන් පසු ලිවීමත් රස්තියාදුවත් ජීවිතය කරගනිමින්, ඩොනල්ඩ් වූඩ්ස්, ජූලියස් ෆූචික් කියවා එවන් පරමාදර්ශීය පුවත්පත් කලාවේදියෙකු වීමට සිහින දකිමින් සිටි යුගයයි. තැන තැන ටයර් මත දැවී යන මළ සිරුරු, පාසල වසා ඇති බවට තද රතු හෝ කළු අකුරින් ලියා ඇති ‍පෝස්ටර්, පාළු වී ගිය මංමාවත්, බෙරි කරගත් මුහුණින් යුතු වැඩිහිටියන්ගේ නොරිස්සුම් අවවාද පිළිබඳ බොඳ වී ඇති මතකයන්ගෙන් යුතු ළමාවිය සිහිගන්වමින් කෙනකු එවන් පුවත්පත් කලාවේදියකු ගැන කියා දෙයි.

“ඔයාලා ඒ දවස්වල ‍පොඩි ළමයි. කටක් හොල්ලල මිනිහෙක් කතා නොකරන කා‍ලේ ‘ප්‍රේමදාස අපි සූදානම්’ කියලා ලක්දිව පත්තරේ හෙඩිම දැම්ම මිනිහෙක්. එක පත්තරයක් වැහිලා තව පත්තරයක් පටන් ගන්න මිනිසුන්ගෙන් සල්ලි එකතු කරන්න තිබිච්ච රැස්වීමකට මං ගියා. මනුස්සයා කතා කළා විතරයි වටේ උන්නු ගැහැනු මිනිස්සු අතේ කනේ තිබුණු කනකර අබරණ ටික ගලවලා දුන්නා.”

ඉක්බිතිව මම ඔහු සොයා ගියෙමි. මහජන පුස්තකාලයේ පුවත්පත් අංශයේද, ජාතික ‍ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලිපි ගොනු අතරේද “සුනිල් මාධව ප්‍රේමතිලක” නම් අදීන පුවත්පත් කලාවේදියෙකු, ‍ලේඛකයෙකු ලියූ කියූ දෑ මට හමුවිය, මීට පෙරාතුව මා කියවා තිබුණු ඩොනල්ඩ් වූඩ්ස්ගේ කෘතිය “හඬනු මැන නිදහස” නමින් සිංහලට අනුවර්තනය කර තිබුණේද ඔහු බව යළි හැඳින ගැනීමට ලැබිමෙන් සියුම් ලැජ්ජාවක්ද උපන් බැව් දැනුදු සිහිපත් කළ හැකිය. කෘතියේ කතානායකයා දකුණු අප්‍රිකානු විමුක්ති අරගලයේ කළු ශිෂ්‍ය නායක ස්ටීව් බිකෝ වුවද මාගේ වීරයා වූයේ කෘතියේ කතුවරයා වූ වූඩ්ස්මය.
සුනිල් මාධව ලියූ “සත්‍යවාදියෙකුගේ දින‍පොත” විටෙක වෙඩි උණ්ඩයක් තරම් හිත් පසාරු කරවන සුළු වන අතරම තවත් විටෙක දෑසට කඳුළු උනන තරමේ සංවේදීය. තවත් විටෙක ලෝකය ගැන අලුත් විදිහට දකින්නට හැඟීම් අවුළුවාලන සුළුය. “උණ්ඩයට බෝම්බයට මුහුණ දෙමින් කරන මේ පත්තර කලාව මොන තරම් සුන්දරද? 92 ජූනි 1 දා ඔහු විසින් සටහන් කර තිබුණි. ජීවිත අවදානම නොතකා ලෝකයේ විවිධ රටවල ඇවිදිමින් තරුණ නැගිටීම් ගැන ලියූ ඔරියානා ෆලච් ලංකාවට පැමිණියේ 71 අප්‍රේල් සමයේදීය.

ඒ වනවිටත් කැලෑවැදී සැඟවී “සමාජවාදී සිහිනයක්” වෙනුවෙන් අරගල කරමින් සිටි සටන්කාමීන් හමුවීමට යාම සඳහා ගමන් සහචරයෙකු ලෙස ඇය විසින් තෝරාගනු ලැබුවේ සුනිල් මාධවය. ඔහු පිළිබඳ මාධ්‍ය ක්‍ෂේත්‍රයේත්, ප්‍රගතිශීලී සමාජයේත් දැල්වී තිබුණු පෞරුෂය තක්සේරු කර ගැනීමට එයද ප්‍රමාණවත්ය. ග්‍රීසියේ පපඩපවුලෝස් ඒකාධිපතියාට එරෙහිව සටන් කළ, ජනයා ආදරයට “ඇලිකෝස්” නමින් හැඳින්වූ ඇලෙක්සැන්ඩර් පනාගොලීස් කවියාගේ ජීවිත කතාව “ද මෑන්” යනුවෙන් ලියූවේ ඔරියානාය. එය “මිනිසෙක්” යන්නෙන් සිංහලට අනුවර්තනය කරන ලද්දේද සුනිල් අයියා විසිනි.

මේ අනුව ඉතා කෙටි කලක් තුළ “සුනිල් මාධව” මා හිස තුළ දැවැන්ත ප්‍රතිරූපයක් බවට ප්‍රාදුර්භූතවීම නොවැළැක්විය හැකිවිය. 2002 වසරේ මා කැලණිය සරසවියට ඇතුළුවන අතර ටික දිනකින් සුනිල් මාධව අලුත් පත්තරයක් ආරම්භ කිරීමට යන ආරංචිය සැලවිය. ඔහුගේ නිවසේ දුරකථන අංකය සොයාගත් මා ඔහු ඇමතුවෙමි.

“ඇවිත් මාව හම්බවෙයන්” කෙටි දුරකථන සංවාදයක අවසානයේදී ඔහු කියා සිටියේය.

ඒ වන විට පුවත්පත ප්‍රකාශයට පත්ව නොතිබුණි. නියමිත දිනයේදී මා ලද මග විස්තර හා අංකය අනුව කොටහේන පිහිටි “කාර්යාලයකැයි” බැලූ බැල්මට කිව නොහැකි නිවසක දොරට තට්ටු කළෙමි.
“මිස්ටර් සුනිල් මාධව ඉන්නවද?”
“මිස්ටර් සුනිල් මාධව කියල කෙනෙක් නම් නෑ. සුනිල් අයිය නම් ඉන්නවා. ඇතුළට යන්න” මුහුණ පුරා රැවුල වවාගත්තු හාදයෙක් කියා සිටියේය. මම කාර්යාලයට ඇතුළුවීමි. මාධව බරුවා දුටු විගස මීමන අර්බුදයට යන්නට ඇත්තේ යම්සේක්ද සුනිල් මාධව දුටු විගස එතෙක් මා හිසේ හොල්මන් කරමින් සිටි දැවැන්තයා මොහොතකට සුන්නද්දූලි වී ගියේය. පැරණි ඩෙනිම් කලිසමකට බාගෙට යට කරන ලද ‍පොඩිවුණු කොටු කමිසයකින් යුතු කෙසඟ සිරුරකින් හෙබි ඔහු මේසය මත වාඩිවී මත්පැන් වඩියකට වතුර කලවම් කරමින් සිටියේය. එක් අතක අඩක් දැවී ගිය සිගරැට්ටුවකි. එක් අතකින් බොකුටු කොණ්ඩය පිරිමැද වේගයෙන් දෙතුන් වරක් ඇසිපිය ගැසූ ඔහු මට කතා කළේය.

“මම සුනිල් අයියා. මෙහේ මිස්ටර්ලවත් මහත්තුරුවත් නෑ. අපි ඔක්කොම යාළුවෝ. අඩියක් ගහලම කතා කරමු.” ඔහු වීදුරුවක් මටද දිගු කළේය. ඉක්බිතිව ඇස් පුංචි කොට සිනාසුනේය. එතැන් සිට ඔහු බොහෝ දෙනකුට මෙන් මටද සුනිල් අයියාම විය.

ඒ අපගේ පළමු හමුවීමය. සුනිල් අයියාගේ කර්තෘත්වයෙන් යුතුව “ලක්ජන” පුවත්පත සති කිහිපයක ඇවෑමෙන් එළිදැක්විණි. මා එහි කර්තෘ මාණ්ඩලිකයෙකු නොවූවද යාවජීව සාමාජිකයෙකු විය. මා පැමිණියේ කොහේ සිටද? කාගේ කවුරුද? යන්න කිසිවක් ඔහුට අදාළ නොවිණි. පුද්ගලික වතගොත කිසිවක් හාරා අවුස්සා බැලීමේ පුරුද්දක් ද සුනිල් අයියාට නොවිණි. ආධුනිකයින්ට අතදීමට නොපැකිලිව ඉදිරිපත්වීම මෙන්ම පළමු හමුවීමේදීම පුද්ගලයින් අසීමාන්තික ලෙස විශ්වාස කිරීම ඔහුගේ මනුෂ්‍යත්වය විදහාපාන්නක් වුවද එයම ඔහුට බොහෝ අකරතැබ්බයන්ට මුහුණදීමටද හේතුවිය.

“ඇත්ත” පුවත්පත කොමියුනිස්ට් පක්ෂයේ පුවත්පත වුවද එහි කතුවරයා ලෙස සිටි පත්තර ලෝකයේ තවත් පරමාදර්ශීය චරිතයක් වන බි. ඒ. සිරිවර්ධන මහතා කිසි කලෙකත් පක්ෂයේ සාමාජිකයෙකු නොවීය. සුනිල් අයියාගේ දේශපාලන දෘෂ්ටිය බොහෝ විටෙක පාහේ ජ.වි.පෙ. දෘෂ්ටිය හා සමපාත විය. එහෙත් ඔහු ජවිපෙ සාමාජිකත්වය ලැබූවෙකු නොවන බව අපගේ විශ්වාසයය. ජාතික ගැටලුව මෙන්ම ඇතැම්විට වෙනත් කාරණා සම්බන්ධයෙන් අපගේ අදහස් ජවිපෙ හා නොපෑහෙන අවස්ථාවන්වලදී “මොන වැරැද්ද තිබ්බත් අපි ඉන්න ඕන කොල්ලන්ගෙ පැත්තෙ” හෙතෙම තරයේ කියා සිටියේය. 88-89 පරාජයෙන් පසු අතීතයේ එක් අවස්ථාවක පක්ෂයට වඩා පුද්ගලයෙකු ලෙස සුනිල් අයියා බලවත්ව සිටියේය. කැඩි බිඳී විසිරුණු තරුණ-තරුණියන් ලක්මිණ, ලක්දිව, ආදී පුවත්පත් සෙවණ යටින් යළි ඒකරාශිවන්නට වූයේ ඒ නිසාය. එහෙව් කොල්ලන් එක් අවස්ථාවක පරිවාස ආණ්ඩුවක් ලෙසද, තවත් අවස්ථාවක අමාත්‍යංශ 4ක් සහිතවද පාලන බලයේ කොටස්කාරයින් වී සිටියේය. මැතිවරණ සමයක දක්වන ආදරය එකී කොල්ලන්ගෙන් වුව පසු කලෙක දක්නට නොවීය. ඒ ගැන ජයලාල් රෝහණ මෙසේ ලිවීය.

“ඇයි සහෝදරය සුනිල් අයිය ගැන හිතන්නේ නැත්තෙ?”
“මේකයි සහෝදරය. එයා ඩ්‍රින්ක්ස් ගන්නවනෙ. කොහොමද පක්ෂෙ ප්‍රතිපත්ති එක්ක තැනකට ගෙනියන්නේ?.
“එහෙනම් ඒ දවස්වල වේදිකාවට නග්ගන කොටත් එයා එහෙමනේ. එතකොට ප්‍රතිපත්තිවලට මොකද වුණේ?
“මෙහෙමයි සහෝදරයා ධනවාදී ආකෘතිය තුළ අපි ඒ ගොල්ලන්ව පාවිච්චි කළා”
සුනිල් අයියාට අත්වූ ඉරණම ඒකයි.”
(පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත - පිටුව 157)

“ලක්ජන” පුවත්පත කෙටි කලකින් වැසී ගියේය. කෙටි කලක් තුළ දැන හැඳිනගත් කොටහේන කාර්යාල නිවස අවට බොහෝ දෙනා සුනිල් අයියාගේ හෘදයාංගම බවට ආදරය කළහ. කාර්යාලයෙන් එළියට බසින ලද මොහොතේ බොහෝ පිරිසක් “ලක්ජන” පුංචි පවුලට සමුදෙන්නට පැමිණ සිටියහ. සියලු දෙනා ආමන්ත්‍රණය කළ සුනිල් අයියා දෑසේ කඳුළු පිසදා ගත්තේ “තාමත් අපට ආදරය කරන උන් ඉන්නවා බන්” කියමිනි. යළිත් පත්තරයකට සම්බන්ධ නොවන බව කීවද 2003 වසරේ රත්මලාන, බොරුපන පාරේ “ලක්නද” පුවත්පත ආරම්භ කරන විට සුනිල් අයියා නැවත කතුවරයා ලෙස පැමිණියේය. මා එහිද සාමාජිකයෙකු විය. ඒ වන විට ජවිපෙ දේශපාලනයේ ජාතිකවාදය මට බොහෝ ගැටලු සහගත විය. ලක්නද පුවත්පතේද “සත්‍යවාදියෙකුගේ දින‍පොත” ලියන සුනිල් අයියා 2004 පෙබරවාරි 08 දා මෙසේ ලිවීය.
“දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රථම ජාතික සමුළුවට ගියා. හිතට ඇතුළු වූයේ එකම ප්‍රාර්ථනයයි. තවත් දස දහස් ගණනින් දේශහිතෛෂී මිනිසුන් මේ රටේ බිහිවේවා.”

කාලය ගෙවී ගියේය. 2008 වසරේ අප්‍රේල් මාසයේ 08 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් “දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ” මහ ‍ලේකම් විමල් වීරවංශ මහතා ජවිපෙන් වෙන්විය. කාලයක් තිස්සේ ජවිපෙ තුළ ජාතිවාදය හා ආගම්වාදය ‍පෝෂණය කරමින් එය ඇතුළතින් දියකර හැරීමේ කුමන්ත්‍රණය නිමාවීයයි බොහෝ දෙනකු සිතුවද එය එසේ නොවීය. ජවිපෙ පෙළපාළිවල කාල් මාක්ස්, ඒංගල්ස්, ලෙනින්, ච්ෙ, මාඕ ආදීන්ගේ ඡායාරූ සහිත කටවුට් සමග කැප්පෙටි‍පොළ අදිකාරම් (සම්භවය ද්‍රවිඩ බැව් නොදන්නා නිසා), දුටුගැමුණු, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිද වැඩම කරවීමේ ආනිසංස පහසුවෙන් බැහැරකරලිය නොහැකි නිසාම ජවිපෙට දඹර අමිල හිමිගේ හා විනී හෙට්ටිගොඩගේ ප්‍රධානත්වයෙන් “දේශ හිතෛෂී ජාතික මධ්‍යස්ථානය” අටවන්නට සිදුවිය.

සුනිල් අයියාගේ ප්‍රාර්ථනය ඉෂ්ට කරමින් මේවන විට “දේශහිතෛෂීන්” දස දහස් ගණනින් බිහි වී තිබේ. ඒ නිසාම එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කොට නිදහස් කරගත් බව කියන රටේ මුස්ලිම් වැසියාව නොඉවසන සමාජ ක්‍රමයක් ස්ථාපිත වෙමින් තිබේ. වීරවංශලා තැනූ ‍පොළොවේ ඥානසාරලා බඩපිනුම් ගසමින් සිටිති. දර්ගා නගරයේ සිංහල දරුවෙකුට ලිංගික හිංසා කළ බව කියමින් මුස්ලිම් වෙළෙඳසල් ගිනි තබා විනාශ කරන විට සිංහල බාලවයස්කාර දැරියන් සියයක් දූෂණය කොට සංවත්සරික සාද පවත්වන ප්‍රාදේශීය සිංහල දේශපාලනඥයින්ට එරෙහිව කටක් අරින්නට හැකි මිනිස් පුළුටක් සොයා ගැනීම අසීරු වී තිබේ.

“ලක්නද” පුවත්පතේ සේවය කරන සමයෙහි කුමන මත ගැටුමක් ඇතිවුවද කිසිදු මදිපුංචිකමක් නොවන තැනට සුනිල් අයියා වග බලාගත් වගද කිව යුතුමය. බදාදා රාත්‍රියේ පුවත්පතේ බොහෝ කටයුතු නිමාවන විට මධ්‍යම රාත්‍රියද ගෙවී ගොස්ය. පත්තර මිටියක් හිසට තබාගෙන මේස දෙකක් එකට එකතු කොට කෙටි නින්දක් දා ගන්නට සැරසෙන අවස්ථාවකදී පිටට තට්ටුකර අතීතයේ අමතක නොවන සිදුවීම් සිහිකර ගුරුහරුකම් දෙන්නටද ඔහු අමතක නොකරයි.

“මිනිසුන්ට හිනාවෙන්න ‍නෙවෙයි මිනිසුන් එක්ක හිනාවෙන්න පුරුදුවෙමු. පශ්චාත් නූතනවාදීන් කරන්නේ මිනිසුන්ට හිනාවෙන එක” කට කොනින් සිනාසෙමින් හෙතෙම යන්නට යයි.

කාලය ගෙවී ගියේය. විමල් වීරවංශ, රාජපක්ෂ රෙජීමයට හේත්තු වී 2010 මහ මැතිවරණයට සන්ධානයෙන් තරග කොට ඇමැති පදවියක් දිනා ගත්තේය. මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සුනිල් අයියාද එක්ව ‍පොල් තෙල් පහන් සිල දැල්වීය. “විභූති මල්ලිට” දෝතම අල්ලා ආශිර්වාද කළේය. “ලක්මිණ” පුවත්පතේ කවි පිටුවට චිත්‍ර අඳින්නට ඩලස් අලහප්පෙරුම විසින් කැටුව ආ ‘කොලුවා’ මේසා දුර ගමනක් පැමිණීම ගැන සුනිල් අයියා හදවතින්ම සතුටු වන්නට ඇත. එසේම භීෂණයේ දෝංකාරය මැදින් බොරලැස්ගමුව කාර්යාල කාමරයේ සඟවා රැකබලා ගැනීමට හැකිවීම ගැන ආඩම්බර වන්නටද ඇත. දැන් සුනිල් අයියාට වසර 70කි. එදා කවි පිටුවට කවි රැගෙන පැමිණි මනෝරා අක්කා අද සුනිල් අයියාගේ ආදරණීය බිරිඳය. රැකබලා ගත් කොලුවා මෙන්ම කොලුවා කැටුව ආ ඩලස්ද වත්මන් රජයේ ප්‍රබල ඇමැතිවරුන්ය. එහෙත් කවි පිටුවේ සංස්කාරකවරයා වන රෝහිත භාෂණ තමන්ගේ මිතුරන් පාලකයන් වී ඇති රටක ජීවිත ආරක්ෂාව පතා ජර්මනියේය. 2003 වසරේ දෙසැම්බර් මස 10 වන දින (ජගත් මානව හිමිකම් දින) සුනිල් අයියා “ලක්නද” පුවත්පතේ “සත්‍යවාදියෙකුගේ දින‍පොත”ට සටහනක් තබමින් මෙසේ ලිවීය.

“පාර්ලිමේන්තු මංසන්ධියේ පිහිටි “අහිංසකයින්ගේ ආරාමය” කියන ස්ථානයේ ප්‍රධාන උත්සවයක් පවත්වන බව දැනගත් විට මගේ හිතට පුංචි දුකක් ඇතිවුණා. මට මතක් වෙන්නේ ඇඹිලිපිටියෙ අතුරුදන් වුණු ශිෂ්‍යයන් හා ඔවුන්ගේ මව්පියන්. සමහර ශිෂ්‍යයින්ගේ මුහුණු මගේ සිතේ තැන්පත්වෙලා තියෙනවා. මේ දරුවන්ගෙ අම්මලා තාත්තලා හමුවෙන්න තිස්හතළිස් වතාවක් ඇඹිලිපිටියෙ ගිහින් තියෙනවා. ඔවුන්ගේ කඳුළු මොන තරමක් මගේ මුහුණේත් පපුවේත් තැවරෙන්න ඇත්ද?” එදා එසේ ලියූවද අද 70 වෙනි වියට පා තබන මොහොත වන විට අද “අහිංසකයින්ගේ ආරාමය” තිබූ තැනක සලකුණක් හෝ සොයා ගැනීමට නොහැකි තරමට සුන්දර මල් වෙළෙඳ සංකීර්ණයකි.
ලස්සන පිඟන් ගඩොල් අතුරා පිළියෙළ කර ඇති ඇවිදින මං තීරුවල සුන්දර ලලනාවෝ ආහාර දිරවනු පිණිස දුවමින් සිටිති. පාරෙන් මෙහා පස පැවැති නාලන්ද එල්ලාවල පිළිරුවද නැත. අහිංසකයින්ගේ මළ මිනී වෙන්දේසි කරමින්, පීඩිත මව්වරුන්-පියවරුන්ගේ ‍ලේ ඩහදිය කඳුළු මතින් ඉහළ නගින උන් ජීවත්වන්නවුන්ටත් වැඩියෙන් මිය ගියවුන්ට බියය. ස්මාරක මිහිදන්වන්නේ ඒ නිසාය.

එදා සුනිල් අයියා අප සමග මත්පැන් වඩියක් තොල ගා පුස්කින්ලා, ගොර්කිලා, ඩොස්ටවුස්කිලා ගැන කතා කළ “පේ‍රස් ක්ලබ්” නම් සොඳුරු නවාතැන් ‍පොළ අද බිමට සමතලා වී තිබේ. බහුජාතික සමාගමක මහා පරිමාණ හෝටල් ව්‍යාපෘතියකින් ඒ බිම ගිලගෙන තිබේ. “සත්‍යවාදියෙකුගේ දින‍පොත”ට නිමිති වුණු ආමර් වීදියේ බාර් එක අසලදී හමුවුණු සිඟන්නන්, ගණිකාවන්, ගැටකපන්නන්, නාට්ටාමිවරුන් වැනි සමාජයේ පරිධියට තල්ලු වී සිටි මිනිසුන් වෙනුවෙන් සුනිල් අයියා එදා හදවතින්ම, සුසුම් හෙළුවේය. අද එකී මිනිසුන් මතු නොව කොළඹ පැල්පත්වාසීන්, පදික වෙළෙඳුන් “ලස්සන නගරයකට” අවලස්සන බැවින් පලවා හැර තිබේ. දිනෙන් දිනම පලවා හරිමින් තිබේ.

දයාබර සුනිල් අයියේ, “මිනිසුන්ට සිනාසෙන්නට නොව මිනිසුන් සමග සිනාසෙන්නට නුඹ ඉගැන්වූ නිසාම පීඩිතයින් එළවා දමන නගරයකට නොව පීඩිතයින්ගේ ජීවිතද ලස්සන වී පීඩිතයින් සමග ලස්සන වන නගරයකට අප වඩාත් කැමතිය. ඔබ පසු කලෙක පාලකයින්ට දරදිය ඇද්දේය. “දේශප්‍රේමිත්වයේ” සළු ‍පොරවා ගත් වෘකයින්ටද අත දුන්නේය. අප සිත් බොහෝ රිදුනේය. ඔබ නිතර මිමිනූ වදනක් තිබුණේය. ඒ “මට හොඳ අතීතයක් තිබුණා.” යන්නය. වසර 70ක් යනු බොහෝ කාලයකි. ඔබ තවත් බොහෝ කාලයක් අප අතර සිටිය යුතුය. මේ ලියැවිල්ලද, ගෞරවාදරයද ගෙවුණු කාලයේ ඔබ ඉතිරි කළ “හොඳ අතීතය” වෙනුවෙනි.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive