facebook like

විනාශයක් -- උපුල් ජෝශප් ප්‍රනාන්දු

"ගැටුම් පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්...."මහින්ද රාජපක්ෂ"ගැහුවොත් ගහන්න කීම ජ.වි.පෙ. නායකයාට ගැළපෙන්නේ නෑ...."සිළුමිණ - 15.06.2014

මේ ප්‍රවෘත්ති දෙකම කියවා බලන විට මතකයට එන්නේ 1983 කළු ජූලිය වෙලාවේ ජේ.ආර්. සහ ආණ්ඩුව කී කතාය. 1983 කළු ජූලියට පසු ජේ.ආර්.ගේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් ජාතිය අමතමින් කීවේ කළු ජූලිය පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බවය. ඔහු නම නොකියා කුමන්ත්‍රණ කතාව එල්ල කළේ සෝවියට් දේශයටය. ලංකාවේ ජ.වි.පෙ. ඇතුළු වාමාංශික පක්ෂ එම කුමන්ත්‍රණයේ බළල් අත් යැයි ඔහු කීවේය. ජේ.ආර්., ජ.වි.පෙ. ඇතුළු වාමාංශික පක්ෂ තහනම් කළේ ඉන් පසුවය.


"මහින්දත් සැරසෙන්නේ ඒකටද....?"
කියන්න නම් දන්නේ නැත. 83 කළු ජූලිය වගේම 2014 කළු ජුනියත් ආණ්ඩුව ඇතුළේම කුමන්ත්‍රණයක් බව ජේ.ආර්. දැන සිටියා වාගේම මහින්දත් දැන සිටිය යුතුය.


උතුරේ ගැටුම් ඇවිළෙද්දී රට තුළ සිංහල-දමිළ කලකෝලාහල ඇතිවිය හැකි බව ජේ.ආර්. 1983 කළු ජූලියට කලින්ම දැන සිටියේය. ඒ වන විටත් එවැනි සිද්ධීන් ඇති වෙමින් තිබිණි. 1983 ජුනියේ නිකවැරටියේ පැවැති උදාගම් උළෙලේදී ඔහු සිංහල ජනතාවගෙන් මෙලෙස ආයාචනයක් කළේය.


"සමහර මෝඩයෝ අහිංසක දමිළ ජනයාට පහර දෙති. මේ නිසා නොමනා සිදුවීම් වැළැක්වීමට රට පුරාම හමුදාව සහ පොලිසිය යෙදවීමට සිදුවී තිබේ. මේ හමුදා, කොටි සංවිධානය මෙල්ල කිරීම සඳහා උතුරේ සිටිය යුතු වේලාවකි. අප දැන් සිටින්නේ උතුරේ කොටින් දිනෙන් දින එඩිතර වීමේ හේතුවෙන් ත්‍රස්තවාදය වර්ධනය වීමේ අර්බුදයකට මුහුණ දෙමිනි. ඒ නිසා මා ජාතියෙන් ඉල්ලා සිටින්නේ රටේ අන්‍ය පළාත්වල ත්‍රස්තවාදය මුල් ඇද ගැනීමට ඉඩ නොදෙන ලෙසටය...."
ජුනි මාසයේ සිද්ධීන් කෙසේ හෝ පාලනය කරන්න ජේ.ආර්. සමත් විය. ඒත් එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කරන ලද හමුදා සෙබළුන් 13 දෙනාගේ සිරුරු කොළඹට ගෙන ආ විට ඇති වූ කළු ජූලිය ජේ.ආර්.ට පාලනය කළ නොහැකි විය. මේ කෝලාහලය අවස්ථාවේ ජේ.ආර්. අසරණව සිටි හැටි ඔහුගේ බි්‍රමාර් නිවෙසේ සේවකයකු විස්තර කළ ආකාරයය.


"ජේ.ආර්.ගේ සහායක නිලධාරියකු වූ සී. ද සිල්වා එම භයානක සතියේ පීඩාකාරී සිද්ධීන් ආවර්ජනය කරමින් තමා කවදත් කළ පරිදි නගරාසන්නයේ පිහිටි නිවෙසින් වෝඩ් පෙදෙසට එදින උදේ හතට පැමිණි සැටි සිහිපත් කළේය. මෙදින ඔහුට රිය පදවාගෙන එන්නට සිදු වුණේ දැවී විනාශ වූ නිවාස හා රිය නටබුන් සහිත වීථි තුළිනි. එය සතුරු ගුවන් යානා ආක්‍රමණයකට ලක්වූ නගරයක් සේ දිස් විය. කලබලකාරී කණ්ඩායම් ඇඳිරි නීතිය කඩමින් ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි යෙදීමට මාන බලමින් සිටියේ පොලිස් භටයන් හා හමුදා භටයන් නොසැලකිලිමත් ලෙස බලා සිටියදීය. ඔහුගේ රථය නැවැත්වීමට කිසිවකු, එනම් කිසිම භටයකු ඉදිරිපත් වුණේ නැත. ඇඳිරි නීතිය ක්‍රියාවට නංවා නොතිබිණි. මෙය ඊළඟ දින දෙක තුන තුළම එසේම පැවතුණි. ඔහු ආරක්ෂක මුර කපොලු කිහිපයක් පසු කළද එහිදීත් ඔහුගේ රථය නවත්වනු නොලැබිණි. ජේ.ආර්. ද අන්තරායකර තත්ත්වයක සිටින බව ඔහුට පෙනුණි. ඒ කලහකාරී කණ්ඩායම්වලින් පමණක් නොවේ. ඔහු බලයෙන් පහ කිරීමට ඉටා ගත් කිසියම් හමුදා ඛණ්ඩයකිනි.


ජේ.ආර්.ගේ නිවෙසට පැමිණි විට ඔහුට පෙනුණේ තම සේවාදායකයා තමාට පාලනය කරගත නොහැකි අවස්ථාවට ළඟාවී තිබුණු තත්ත්වයක් යළි ග්‍රහණයට ගැනීමට මහත් වෙර දරන ආකාරයය. ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් වෙත එකදු වෙඩිල්ලක් හෝ පත්තු කරවීම සඳහා, ආරක්ෂක හමුදාවන් පෙලඹවීමට, ජේ.ආර්. දිගින් දිගටම නිකුත් කළ නියෝග අසමත් වුණු ආකාරයද සිල්වා මතකයට නැඟුවේය. දුරකතන හැඬවුණි. ගලා ආ සෑම පුවතක්ම පාහේ අමිහිරි හෝ අන්ත වේදනාකාරී හෝ එකක් වූයේය. රටේ විවිධ තැන්වල සිටි නිලධාරීන් උපදෙස් පතමින් දුන් ඇතැම් දුරකතන ඇමැතුමක් ඔහු වෙතට යොමු කෙරිණි. තවත් සමහරු ප්‍රචණ්ඩකාරී පිරිස් වළක්වාලීම සඳහා ආධාර ඉල්ලා සිටියහ. මෙහිදී ජේ.ආර්.ට කළ හැකි වූ දේ අල්ප විය. සී. ද සිල්වාට සිතුණු පරිදි ජේ.ආර්. වැටී සිටි බලාපොරොත්තු විරහිත තත්ත්වයේ ඉතාම සෝබර සාධකය වූයේ යුද හමුදාපති ජෙනරාල් වීරතුංග අවුල් වූ හිස කෙසින් යුතුව, හිස් වැසුම සුපුරුදු කෝණයට නොව ඇදට පැලඳගෙන, මහත් චිත්ත කම්පනයක් පිළිබිඹු කළ මුහුණින් යුතුව කාර්යාලයට දිව එමින් කෝලාහලය මැඬලීමට අවශ්‍ය දැඩි පියවර ගැනීමට තම භටයන් ක්‍රියාත්මක කරවීම අපහසු බව කියා පෑමය."


ඇත්තටම ජූලි කෝලාහලය වන විට හිටියේ ඊට දවස් කිහිපකට කලින් හිටි ජේ.ආර්. නොවේ. කෝලාහලය ඇවිළෙද්දී ගාමිණී දිසානායක හමුදා සෙබළුන්ගේ මළ සිරුරු කොළඹට ගෙන ආ වේලාවේ ආවේගාත්මකව කතා කළ ඇල්ලේ ගුණවංශ හිමිව හමුවෙන්න ගියේය. ගාමිණී හිමියන් අසලදීම ජේ.ආර්.ට කතා කොට තමන් හිමියන්ව ජේ.ආර්. ළඟට රැගෙන එන බව කීවේය. ගාමිණී, ඇල්ලේ ගුණවංශ හිමියන් රැගෙන ජේ.ආර්. හමුවීමට ජනාධිපති මන්දිරයට ගියේය. එතැනට ලලිත් ඇතුලත්මුදලිද පැමිණියේය. ඒ වේලාවේ ඇල්ලේ ගුණවංශ හිමි කීවේ ජනතාව ජේ.ආර්. ගැන කෝපයෙන් සහ කලකිරීමෙන් සිටින බවය. එය අසා මුහුණ කළු කරගත් ජේ.ආර්. ගාමිණී සහ ලලිත් දෙස හැරී මෙසේ කීවේය.


"බලන්න මේ හාමුදුරුවෝ කියන දේ. ජනතාව මා ගැන කලකිරීමෙන් ඉන්නවාලු...."
එම කතාව කියා හිමිනම දෙසට හැරුණ ජේ.ආර්. මෙසේ කීවේය.
"ඒත් දැනට මාස කිහිපයකට කලින් ඔය ජනතාවම මාව 50%කට වැඩි ඡන්දයකින් යළිත් රටේ ජනාධිපති කළානේ...."
ජේ.ආර්. ඒ වචන ටික කීවේ අසරණ විලාසයකිනි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තහනම් කොට දමිළ ජනයා පදිංචි ප්‍රදේශවල සිංහල ජනයා පදිංචි කරන ලෙස හිමිනම ජේ.ආර්.ට යෝජනා කළේය.

ජේ.ආර්. එවිට රට බෙදන්න කතා කරන මන්ත්‍රිවරුන්ට මන්ත්‍රි ධුරය අහිමි කරන පනතේ පිටපතක් හිමියන්ට පෙන්නුවේය. හිමිනම පිටත්ව ගිය පසු ජේ.ආර්. හිමිනම ගැන සෝදිසියෙන් සිටින ලෙස රහස් පොලිසියට නියෝග කෙළේය. ඒ නියෝගය දීමට පෙර පොලිසිය සහ හමුදාව සිතා සිටියේ හිමිනම ආණ්ඩුවේ පූර්ණ ආශීර්වාදය ඇතිව සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බෙදුම්වාදය පරාජය කරන්න ක්‍රියා කරන අයකු ලෙසය. ජේ.ආර්.ගේ නියෝගයෙන් පසු සියල්ල වෙනස් විය. පොලිසිය හිමිනමගේ පන්සලට පැන ආයුධ සොයා සෝදිසි මෙහෙයුමක්ද කළහ. එහෙත් අවි තිබුණේ නැත.


ආණ්ඩුවත් සමඟ තිබෙන සම්බන්ධකම්වලට මුවා වී කෝලාහල අවුස්සන අය ගැන ජේ.ආර්. හෙවිල්ලෙන් සිටියේය. ඔහු එහිදී හඳුනාගත් කෝලාහල පිටුපස සිටින ප්‍රබලම චරිතය කර්මාන්ත ඇමැති සිරිල් මැතිව්ය. ඒ වන විටත් විදේශ මාධ්‍ය, විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍ය කෝලාහල පිටුපස ආණ්ඩුවේ ප්‍රබලතම ඇමැතිවරයකු වූ සිරිල් මැතිව් ඉන්නා බව වාර්තා කර තිබිණි. සිරිල් මැතිව්, ජේ.ආර්.ගේ විශ්වාසවන්තම ගෝලයකු විය. ජේ.ආර්. එ.ජා.ප. නායකත්වයට පත්වූ විගස අලුතින් පත්කළ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ජේ.ආර්.ගේ මිනිහෙක් ලෙස කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය දුන්නේ සිරිල් මැතිව්ටය. එසේම ජේ.ආර්. දරුවකු සේ හදපු එ.ජා.ප. වෘත්තීය සමිති ව්‍යාපාරය නොහොත් ජාතික සේවක සංගමය භාර දුන්නේ මැතිව්ටය. ජේ.ආර්. ජනාධිපති වීමට පෙර එහි සභාපති වූ අතර ජනාධිපති ධුරයෙන් දිවුරුම් දීමට පෙර සභාපති ධුරය මැතිව්ට දුන්නේ මැතිව් ගැන තිබූ විශ්වාසය නිසාය. ඒත් කෝලාහල පිටුපස මැතිව් ඉන්නා බව දැන ගත් විගස ජේ.ආර්. කෝපයට පත් විය. කෝලාහල පිටුපස තම ගෝලයා වන මැතිව් ඉන්නවාය කියන්නේ තමන් මැතිව්ව මෙහෙයවනවාය යන මතය රට පුරා පමණක් නොව ලොව පුරාම පැතිර යෑම බව ඔහු දැන සිටියේය. "ඔබ මේ රටේ ජනාධිපති ලෙස මාව ලැජ්ජාවට පත් කොට තිබේ" යැයි ජේ.ආර්., මැතිව්ට ලිපියක් ලීවේ කෝපය ඉවසාගත නොහැකිවය. එසේම ඔහු මාධ්‍ය හරහා මැතිව්ට චෝදනා කෙළේය. ජේ.ආර්. මැතිව් සහ ආණ්ඩුව තුළ සිටි මැතිව්වාදීන්ට එරෙහිව ගත් පියවර ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන්නේ මෙසේය.


"දේශපාලන සැලැස්ම තුළ ඔහුගේ තත්ත්වය කෝලාහලයට පෙර තිබුණාට වඩා දුර්වල විය. තත්ත්වය සමනය කිරීම සඳහා ඔහුට කරන්නට සිදුව තිබුණු සමබරතා රංගනය තුළ අනේ‍යාන්‍ය ප්‍රතිවිරෝධී අංග දෙකක් තිබිණි. තත්ත්වය සාමාන්‍ය අතට හරවා ගැනීමට නම් තමාගේ සෑම ක්‍රියාවකදීම සිංහල බෞද්ධ බලපෑම් කණ්ඩායම් උත්සුක වූ කාරණාවන් ගැන සෑම විටම සැලකිලිමත් විය යුතු වූයේය. ඒ සමඟම දෙමළ සුළුතරයෙහි විශ්වාසය යළි දිනා ගැන්ම, ඒ අරමුණින්ම පමණක් නොව, රටේ ස්ථාවරත්වය යළි පිහිටුවාලීමේ අරමුණින්ද ඉටුකරලන්නට සමත් ප්‍රබල නිශ්චිත පියවර ගැනීමටද සිදුව තිබිණි. ඒ අනුව ඔක්තෝබර් මැදදී ඔහුගේ අවධානය යොමු වූවක් නම් කෝලාහලවලින් පසු පුනරුත්ථාපනය ගැන සහ සුළු ජාතීන්ගේ ප්‍රශ්න ගැන පොදුවේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කිරීමය. සිංහල බෞද්ධ ස්වාර්ථයන් සඳහා අතිශයින් ප්‍රකට ලෙස පෙනී සිටියා වූ පුද්ගලයා වන සිරිල් මැතිව්ට, ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස කියන්නට ජේ.ආර්.ට සිදුවිණි. එය රජයේ ප්‍රතිපත්ති ගැන ප්‍රකාශ නිකුත් කිරීම අරභයා පැවැති සම්ප්‍රදායයන්හි බිඳීමක් සිදු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනෙනු ඇති බවට අනතුරු ඇඟවීමක් විය. මැතිව් එය ටික කලකට හෝ සිතට ගත් බව පෙනුණි."


"මීළඟ අවධියේදී සිදුවූ විශේෂ සිද්ධියක් නම් ජේ.ආර්. හා ඔහුගේ දීර්ඝ කාලීන සමීප දේශපාලන සගයන් දෙදෙනකු විරසක වීමය. ඉන්දීය මැදිහත්වීම පිළිබඳ අර්බුදාත්මක ගැටලු සහ සර්වපාක්ෂික සම්මේලනයේ අසාර්ථකත්වයත්, නැඟෙනහිර පළාතේ ආරක්ෂක තත්ත්වය පිරිහීයෑමත්, මහවැලි ගඟේ දකුණු ඉවුරේ සිංහල ගොවියන් පදිංචි කරවීමට දැරූ අසාර්ථක ප්‍රයත්නයකුත් මීට පසුබිම් විය. දිගු කලක් තිස්සේ ජේ.ආර්.ගේ දේශපාලන සගයකුව සිටිමින් විවාදාත්මක ගැටලු මතුකළ කර්මාන්ත හා විද්‍යාත්මක පර්යේෂණ අමාත්‍ය සිරිල් මැතිව් සහ එ.ජා.ප.යේ සභාපති පදවිය දැරූ හා මහවැලි සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියා වූ ඇන්.ජී.පී. පණ්ඩිතරත්න සමඟ පැවැති ඔහුගේ සබඳතාව එයින් අවසන් වූයේය.


1984 දෙසැම්බර් අග සතියේදී මැතිව් පදවියෙන් පහ කිරීමට ජේ.ආර්. තීරණය කළේ බලය බෙදාහැරීම පිළිබඳව ඔහු ප්‍රසිද්ධියේ තමන් විවේචනය කිරීම නිසාය. මේ කාරණා ගැන තම අදහස් ඇතුළත් කොට මැතිව් විසින් සන්දේශයක් සම්පාදනය කරනු ලැබ තිබිණි. මෙය කැබිනට් අමාත්‍යවරුන්ට පමණක් සීමා වූයේ නම් ඒ ගැන ජේ.ආර්.ට කළ හැකි වැඩි යමක් තිබුණේ නැත. එහෙත් ලියවිල්ල මුළු දිවයින පුරාම විසුරුවා හැරීමට මැතිව් තීරණය කළ විට ඔහු කැබිනට් ආණ්ඩු ක්‍රමයේ ප්‍රධාන මූලධර්මයක් බිඳ දැමුවේය. එහෙයින් ඔහු කැබිනට් මණ්ඩලයෙන් පහ කිරීම හැර වෙන විකල්පයක් ජේ.ආර්.ට නොතිබිණි. ජේ.ආර්. ගත් පියවරෙන් විශාල දේශපාලන අන්තරායක් තිබුණු බවට සැක නැත. මක් නිසාද යත් මැතිව් සලකනු ලැබුවේ රට පුරා මෙන්ම රජය තුළත් දැඩි සිංහල-බෞද්ධ පිළිවෙත නියෝජනය කරන්නා වූ නායකයකු ලෙසට හෙයිනි. ඔහු පදවියෙන් පහ කිරීම රජය තුළ හෝ රට තුළ හෝ ජේ.ආර්.ට ගැටලුවක් ජනිත කළේ නැත. මැතිව් පදවියෙන් පහ කිරීමෙන් පසුව එකදු මන්ත්‍රිවරයෙක් හෝ පක්ෂය හැර ගියේ නැත. ඔහුගේ පුත්‍රයා පවා නියෝජ්‍ය අමාත්‍ය පදවියක් කරමින් රජය තුළ සිටියේය.


ඇන්.ජී.පී. පණ්ඩිතරත්න පක්ෂය තුළ හා පරිපාලනයේ දැරූ පදවිවලින් ඉවත් කරනු ලැබීමට හේතු වූ කාරණා කවරේද යන්න එතරම් පැහැදිලි නැත. එයට අදාළ ඇතැම් වැදගත් විස්තර පහත දැක්වෙනු ඇත. ජේ.ආර්. ඉක්මනින්ම පක්ෂයේ ලේකම්ව සිටි තරුණ හර්ෂ අබේවර්ධන සභාපති පදවියට පත් කළේය. මෙසේ 1985 ආරම්භ වන විට ජේ.ආර්. යළිත් පක්ෂය තුළ තම ග්‍රහණය දැඩි කරගෙන සිටිනු දැක්ක හැකිවිය. එ.ජා.ප.යේ සිය නායකත්වය ඇරුඹුණු දිනවල සිටම තමා සමඟ සිටි සමීපතම සගයන් දෙදෙනකුගෙන් වෙන්වී සිටියත් ඉන් බාධාවක් නොවීය."
අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසන්නා සේ ජේ.ආර්. මේ මොනවා කළත් 83 කළු ජූලිය තම දේශපාලන දෛවයේ විනාශය ලෙස ලියවා ගෙන තිබිණි. එය තමන් හදපු ආණ්ඩුව ලවාම තමන්ව විනාශ කර ගැනීමක් විය. ඔහු ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කීවත් ජ.වි.පෙ.ට සහ වාමාංශික පක්ෂවලට ඇඟිල්ල දිගු කළත් තමා විනාශ කිරීමේ කුමන්ත්‍රණය තම ගෝලයන් අතින්ම සිදුවී ඇති බව ජේ.ආර්.ට නොවැටහුණා නම් පුදුමය.
විනාශයක්; ජේ.ආර්. සහ 1983 ජූලි කෝලාහල


ජේ.ආර්.ගේ කරදර යුගය
මේ ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ ඒ කාලය ලියැවෙන හැටිය. ජේ.ආර්. ඇල්ලේ ගුණවංශ හිමිට කී වචනවලින්ම කියනවා නම් මාස කිහිපයකට කලින් 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් දෙවැනි වරටත් රටේ ජනාධිපති කොට ජනතාව වැලඳ ගත් මිනිහා දිහා ඒ ජනතාවම වපරැහින් බලන්න පටන්ගෙන තිබිණි.
ජනාධිපතිවරු දෙවැනි නිල කාලයේ පල්ලම් බහින කලාව ගැන මා 2010 මාර්තු 10 ගුරුදා විග්‍රහය ලිපියේ මෙසේ ලීවේය.
"නගින කලාව සහ බහින කලාව"


මේ රටේ බලයට පත් හැම ජනාධිපතිවරයකුම දෙවැනි නිල කාලය ලබා ගැනීමෙන් පසු හිතුවේ එහෙමය.
ජේ.ආර්. ජනාධිපති නිල කාලය අවසන් වීමට කලින් ජනාධිපතිවරණයට ගොස් ජනමත විචාරණයකින් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය තව වසර 6කට දික්කර ගෙන දැන් ඉතින් සැනසීමේ ආණ්ඩු කළ හැකි යැයි සිතුවේය.


ඒත් දෙවැනි නිල කාලයට ජනාධිපතිවරණය දිනා අවුරුද්දක් යන්න කලින් 83 ජූලි කෝලාහලය පටන් ගත්තේය. උතුරේ යුද්ධය ආරම්භ විය. දකුණ් ජ.වි.පෙ. කැරැල්ල ආරම්භ විය. ජේ.ආර්.ගේ පළමු නිල කාලයේ තිබුණ ජනප්‍රියත්වය දෙවැනි නිල කාලයෙන් බින්දුවට බැස්සේය. පළමු කාලය අවසන් කරන විට පක්ෂයට නැතිව බැරි හිටපු ජේ.ආර්. දෙවැනි නිල කාලය අවසන් කරන විට පක්ෂය 1988 ජනාධිපති ඡන්ද ව්‍යාපාරයට වැද්ද ගන්නත් බය විය. හේතුව ජේ.ආර්. ඒ තරමට ජනතාවට එපාවී සිටීමය. ජේ.ආර්.ගේ දෙවැනි නිල කාලයේ අන්තිම අවුරුදු දෙක වූ 1987 හා 1988 රට ආණ්ඩු කළේ ජ.වි.ප. තුණ්ඩු කෑල්ලය.

මෙරට විධායක ජනාධිපතිවරුන්ගේ ඉතිහාසය කියවන විට දෙවැනි නිල කාලය කියන්නේ බහින කලාවටය. කන්දක් නැග්ගොත් පල්ලමක් තියේ. මෙරට ජනාධිපතිවරු පළමු නිල කාලයේ නගින කන්දෙන් පල්ලම් බහින්නේ දෙවැනි නිල කාලයේය. මහින්දටත් ඒකම වේදැයි කියන්න කල් වැඩිය."
හැබැයි ඒ ලිපිය ලියනකොට මහින්දගේ ආණ්ඩුවක් යටතේ කළු ජූනියක් එයි කියා නම් හිතුවේ නැත.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive