මොනවා වුණත් ඒ ලෝකේ ඇතුළේ විකිණි විකිණී හරි අපි තවමත් ජීවත් වෙනවා. ඒ ජීවිත ඇතුළේ මේ කියන්න යන්නේ වෙනස් කතා දෙකක්. නමුත් ප්‍රතිඵලය සමානයි.
මේ කතාවේ කතා නායිකාවට අපි සමන්ති කියලා කියමු. උසස් පෙළ විභාගය ඉවර කරලා ගෙදරට වෙලා හිටපු සමන්තිට තාත්තා පාළුව යන්නත් එක්ක ජංගම දුරකතනයක් ගෙනත් දුන්නා. ඒක ඉතින් තාත්තගේ ආදරේ. කොහොම හරි සමන්ති මේ ෆෝන් එකෙන් ෆේස්බුක් යන්න පුරුදු වෙලා හිටියා.
මේ දවස්වලම තමයි සමන්තිට යාළුවෙක් කිව්වේ ෆේස්බුක් එකෙන් ලොග් අවුට් වෙන්නේ නැතුව ෆෝන් එක ඔන් කරපු ගමන් ෆේස්බුක් ලොග් වෙන විදියට හදාගන්න පුළුවන් කියලා. එහෙම කිව්වට අමුතු හැදිල්ලක් තිබ්බෙ නැහැ ලොග් අවුට් නොවී ඉන්න එක විතරයි.
කාලයක් ගෙවිලා ගියා. දවසක් ගමනක් ගිහිල්ලා එන ගමන් සමන්තිට බස් එකේ ටිකක් නින්ද ගියා මහන්සිය වැඩිකමට. ඇහැරුණේ හරියටම බහින තැන කිට්ටු කරලා. බස් එකෙන් බැහැලා ගෙදර ආපු සමන්තිගේ දෙලොව රත්වුණේ තාත්ත අරන් දුන්න ෆෝන් එක නෑ කියලා දැනුණාම.
දැන් මොනවා කරන්නද ආයෙත් හොයාගන්නත් බැහැනේ. ඉතින් සමන්ති නිහඬ වුණා. දින කීපයකට පස්සේ ගෙදර දුරකතනය නාද වෙද්දී ඒකට පිළිතුරු දුන්නෙත් සමන්තිමයි. කතා කළේ එයා එක්ක එකට ඉගෙන ගත්තු යාළුවෙක්.
"මොනවද සමන්ති ඔයා මේ එෆ්.බී. එකේ දාගෙන තියෙන ෆොටෝ" කියලා යාළුවා කියද්දි සමන්තිට සිද්ධ වුණා නිරුත්තර වෙන්න. එතකොට තමයි එයාට මතක් වුණේ තමන්ගේ නැති වුණු ෆෝන් එකෙන් ඉබේම එෆ්.බී. ලොග් වෙන්න පුළුවන්කම තිබුණා නේද කියලා.
අවසානේදී සමන්තිලාට නීති මාර්ගයට එන්න වුණා. නිරුවත් සහ අඩ නිරුවත් ඡායාරූප රැසක් ඒ වෙද්දි ඇගේ ෆේස්බුක් ගිණුම හරහා අන්තර්ජාලයට සහ ඇගේ මිතුරන්ට ගිහින් අවසානයි.
ඒ මේ රටේ පෝය ෙදාළහට බණ කියන හන්දි හන්දි ගාණේ බෝ පැළ හිටවලා බුදු පිළිම වඩම්මන රටේ සිද්ධ වුණු තවත් එක කතාවක් විතරයි.
මේ වගේම නොවුණත් අපට නොපෑහෙන තාක්‍ෂණය නිසා සිද්ධ වුණු විනාශය ගැන තවත් කතාවක් තියෙනවා. මේ කතාව තාක්‍ෂණය පාව්චිචි කරන අයට විතරක් නෙවේ ආදරය පාවිච්චි කරන අයටත් වලංගුයි. පත්තරේකට ලියන්න සුදුසු ඇති නේද කියලා අහලා තමන්ගේ එකම සොහොයුරියගේ අකල් වියෝවට හේතු වුණු මේ කතාව එයා මට කියන්න ඇත්තේ ඒ කතාව අනිත් අයටත් ලොකු ආදර්ශයක් සපයන නිසා වෙන්න ඇති.
කතාව මට කියපු ගැහැනු ළමයට හිටියේ එකම නංගි කෙනයි. ඒ නංගි තමයි පවුලේ ලස්සනම ගැහැනු ළමයා. ඉතින් ඉස්සර ඉඳලම පිරිමි ළමයින්ගේ ඇස්වලින් නම් එයාට ගැලවීමක් තිබිලා නැහැ. ඒත් ආදරයට වඩා අධ්‍යාපනයට වටිනාකමක් දීපු එයා ඉගෙනීමට හැර වෙනත් කිසිම දේකට හිත යොදවලා නැහැ.
උසස් පෙළ විභාගයට මුහුණදීපු එයා ප්‍රතිඵල එනතුරු ඉංග්‍රීසි පන්තියකට ගිහිල්ලා තිබුණේ වැඩිදුරට ඉංග්‍රීසි ඉගෙන ගන්න හිතේ තිබුණු බලාපොරොත්තුව නිසාමයි. කොහොම වුණත් ඉංග්‍රීසි පන්තියේදී මුණගැහුණු ආදරණීය බැල්මකින් වහන් වෙන්න නම් එයාට බැරි වුණා.
මේ ආදරේට ගෙවල්වලින් බාධාවක් තිබුණෙත් නැහැ. පවුල් දෙකේම ආශීර්වාදයත් ලැබුණා. ඒ නිසාම මේ ආදරේට ඕන තරම් නිදහසත් ලැබුණා.
ඉතින් මේ දෙන්නා හැමදාම මුණගැහෙන මේ කියන පිරිමි ළමයගේ යාළුවකුට අයිති ගෙයක් තිබුණා. මේ ගෙදර තමන්ටම වෙන්වුණු කාමරයක තනිවුණු මේ දෙන්නට කාගෙන්වත් බාධාවක් තිබුණේ නැහැ.
ආදරේ වැඩිකමට හරි, ආසාවට හරි මේ පිරිමි ළමයා මෙතැනදි එක දෙයක් කළා. ඒ තමන්ගේ පෙම්වතිය එහෙම නැත්නම් මේ කතාවේ කතා නායිකාව නිරුවත් කරලා ඇගේ රුව වීඩියෝගත කරපු එක. ඒ සඳහා යොදාගත්තේ තමන්ගේ ජංගම දුරකතනය.
හැබැයි මේ කිසිම වීඩියෝවක් එතැනින් එහාට ගියේ නැහැ. අවශ්‍ය වෙලාවට ඔහු අරගෙන බැලුවා. එච්චරයි.
මෙහෙම කාලයක් ගෙවිලා ගියා. දවසක් මේ තරුණයාගේ දුරකතනය ලොක් වුණා. ඉතින් කරන්නම දෙයක් නැති තැන ඔහු හදිසියට ළඟම තිබුණු කොමියුනිකේෂන් එකකට ෆෝන් එක දීලා තිබුණේ. ඒත් අර වීඩියෝ තිබුණු චිප් එක ගන්න අමතක වුණා.
දුරකතනය හදන්න ගත්තු කෙනා චිප් එක බැලුවාම ඒකේ අර වීඩියෝ තිබුණා. එයා කළේ වීඩියෝ ටික අරගෙන සී.ඩී. හදලා විකුණන්න දාපු එක. නමුත් මේ පුද්ගලයා අපි කියන ගැහැනු ළමයා දන්නේ අඳුනන්නේ නැති දැකලවත් නැති කෙනෙක්.
මේ විදියට නිර්මාණය වුණු සී.ඩී. පටයක් මේ තරුණියගේ නිවෙස අහල පහළ කෙනෙක්ට ලැබිලා තියෙනවා. එයා දැකපු ගමන් මෙයාව අඳුනගෙන මේ තරුණියගේ මවුපියන්ට ඒ ගැන දැන්නුවා. අවසානෙදි මේ කියපු ගැහැනු ළමයා වස පානය කරලා මියගියා. ඇගේ පෙම්වතා ඒ සිද්ධියෙන් වුණු කම්පනය නිසා සදාකාලික ගොළු බවට පත්වුණා.
මේ කියන කතාව වෙද්දි ලංකාවට තියා ලෝකේ කොහේවත් ෆේස්බුක් තිබුණේ නැහැ. කවුරුහරි කියනවා නම් ෆේස්බුක් නිසා තරුණ පරපුර විනාශ වෙනවා කියලා. එහෙනම් මේ ගැන එයාලට මොනවද කියන්න තියෙන්නේ?
ඒ වගේම තමයි අපේ රටට ජංගම දුරකතන ආවාම ඒක පැතිරිලා ගියේ හරියට වසංගතයක් වගේ. අන්තිමට වුවමනා දේටයි එපා දේටයි සේරටම ජංගම දුරකතනය හේතු වුණා.
අපේ මිනිස්සු ජංගම දුරකතනය ගත්තට මට නම් හිතෙන්නේ ඒක හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ කියලා. අතිශය පෞද්ගලික ප්‍රශ්න පවා මහා හයියෙන් කෑගහලා කියන්න අපේ අය හරි දක්‍ෂයි. ඒ දක්‍ෂතාවට ජංගම දුරකතන නිසාම හොඳ තැනකුත් ලැබිලා තියෙනවා.
මෙහෙම කෑගහලා තමන්ගේ ප්‍රශ්න අනිත් අයට කියන එක අපේ මිනිසුන්ට ලොකු දෙයක් වුණාට එයාලා දන්නේ නැහැ ඒ නිසාම ප්‍රශ්න ඇති වෙනවා කියන එක. කාටහරි අවශ්‍ය නම් ඒ කතා අහගෙන ඉඳලා හානියක් වුණත් කරන්න පුළුවන්.
ලංකාව කවදත් ලෝක වාර්තා තියන රටක් නේ. මේ මම ඉපදුණු රටට අපහාස කරනවා නොවේ. ඒ වුණත් අපේ රටට පිටරටින් ප්ලාස්ටික් කෑල්ලක් ආවත් ඒකත් දැළි පිහියක් කරගෙන බඩ කපා ගන්න තමයි බලන්නේ.
මේ වෙද්දි ෆේස්බුක් කියන සමාජ වෙබ් අඩවිය අපේ රටේ තරුණ ජීවිත කීපයක් බිලි අරගෙන අවසානයි. බොහෝදෙනාගේ ඡායාරූප නොයා යුතු තැන්වලට ගිහිල්ලා ඉවරයි. ඒත් තවමත් බොහෝදෙනා හැසිරෙන්නේ හරියට අඳබාලයන් වගේ. පාටිවලට ගියාම ටිකක් නැටුවට සතුටු වුණාට කමක් නැහැ. නමුත් හුඟක් අයට තමන් කවුද කියලත් අමතකයි. බීලා විකාර කරනවා. අවසානෙට පහුවැනිදා උදේ ඒ විකාර සේරම එක්කෝ ෆේස්බුක් නැත්නම් අන්තර්ජාලයේම වෙන කොහේ හරි.
දැකපු ගමන්ම ඒ ෆොටෝ, වීඩියෝ අයින් කළාට වැඩක් නැහැ. ඒ වෙද්දි ඒවාගෙන් පිටපත් දහස් ගණනක් විසිරිලා ඉවරයි. අවසානෙදි හැමදේටම විසඳුම කියලා හිතාගෙන ගෙල වැලලා ගන්නවා.
විසඳුම ඒක නෙවේ. තමන් කාලයට ගැළපෙන විදියට ජීවත් වීමයි. ඉස්සර වගේ ඇහැට පේන ලොකු කැමරාවක් අරගෙන ෆොටෝ ගහන්න ඕන නෑ. දැන් කැමරාවක් කියලා කියන්නෙත් හරිම පුංචි උපකරණයක්. ඒ ගන්න ඡායාරූපය හරිම ඉක්මනට අන්තර්ජාලගත කරන්න පුළුවන්.
අන්න ඒ කියන කරුණු ටික හොඳින් මතකයේ තියාගන්න. මේ කතා දෙකත් හොඳට කියවලා බලන්න. එහෙම වුණොත් කාටවත්ම බෙල්ලට ලණු දාගෙන එල්ලෙන්න ඕන වෙන්නේ නැහැ. අනිත් එක ජීවිතයෙන් පැනලා යනවා කියන්නේ විසඳුමක් නෙවේ. හොඳම දේ තමයි තාක්‍ෂණය සහ තමන් කවුද කියන කාරණය හඳුනාගන්න එක.
කතාව - හංසි ආටිගල
0 comments:
Post a Comment