facebook like

ලෙයට ලෙයින් පළිගන්නා තංගල්ල

තංගල්ල නගරය චිකාගෝවක්‌ බවට පත්වෙමින් තිබෙන්නේය. නිදැල්ලේ සැරිසරන නාඳුනන තුවක්‌කුකරුවන් තංගල්ලේ නගරවාසීන් භීතියට පත් කර හමාරය. මහ දවල් සිදුවන වෙඩි තැබීම් මිනිස්‌ ඝාතනවල නිමක්‌ නැත.

තංගල්ල අධිකරණය ඉදිරිපිටදී ආමි අමිල නමැති අපරාධකරුවාට වෙඩි තබන්නේ මීට දින කීපයකට උඩදීය. ඒ වෙඩි තැබීමේ උණුසුම පහව යැමටත් පෙර තංගල්ල ප්‍රධාන බස්‌ නැවතුම්පළේ සිටි ආමි අමිලගේ ගෝලයකු වෙඩි තබා ඝාතනය කරන්නේය. මේ සියලු වෙඩි තැබීම්
සිදුවන්නේ මහ දවල්ය. දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදීය.

මේ භීෂණය පතුරුවාලන අපරාධකරුවන් කවුරුන් දැයි තංගල්ල පොලිසිය පමණක්‌ නොව මුළු දකුණු පළාතම හො¹කාරව දන්නේය. සන්නද්ධ කණ්‌ඩායම් තංගල්ල නගරය පුරා නිදැල්ලේ හැසිරීමට හේතුව කුමක්‌ද? ඊට හේතුව තංගල්ල පොලිසියේ අකාර්යක්‍ෂමතාවයද? පාතාල සන්නද්ධ කණ්‌ඩායම් පොලිසියට වඩා බලවත් වීමද? එසේත් නැතිනම් මේ සියලු භීෂණයන් පිටුපස කිසියම් අදෘශ්‍යමාන බලවේගයක්‌ ක්‍රියාත්මක වන නිසාද?

තංගල්ල නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන පාතාල කණ්‌ඩායම් දෙකකි. ඉන් එක්‌ කල්ලියකට නායකත්වය දෙන්නේ පල්ලිකුඩාවේ උක්‌කුවාය. අනෙක්‌ කල්ලිය මෙහෙයවන්නේ ආමි අමිලය.

කාලයක්‌ තිස්‌සේ පවතින වෛරය පිරිමසා ගැනීමට මොවුන් එකිනෙකා මරා ගැනීමට පටන්ගෙන තිබෙන්නේය.

ඔවුනොවුන් අතර ඇතිවී තිබෙන වෛරය, පිටකර ගැනීමට තැනක්‌ නොතැනක්‌ නැත. කාලවේලාවක්‌ නැත. තමන්ට අවශ්‍ය වූ ස්‌ථානයක අවශ්‍ය වේලාවකදී කිසිම බියකින් සැකයකින් තොරව වෙඩි තබා ගැනීමට ඔවුන් පෙළඹී සිටිති. මේ සිදුවීම් හමුවේ පොලිසිය දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවක්‌ පෙනෙන්නට තිබෙන්නේය.

පල්ලිකුඩාවේ උක්‌කුවා යනු තංගල්ලේ සෑහෙන වත්පොහොසත්කමක්‌ ඇති කෙරුම්කාරයෙකි. දේශපාලන බලපුළුවන්කාරකම ද ඔහුට නොඅඩුව ලැබී තිබෙයි.

තංගල්ලේ පිහිටි මධ්‍යම ප්‍රමාණයේ සංචාරක හෝටලයක හිමිකරුවකු වන උක්‌කුවා ප්‍රදේශය පුරාම මහා භීෂණයක්‌ පතුරුවාගෙන සිටින්නේය.

හැඩිදැඩි සිරුරකට හිමිකම් කියන උක්‌කුවා මැරයකු ලෙස තංගල්ලේ පමණක්‌ නොව මුළු දකුණු පළාතේම ප්‍රසිද්ධය. හිස මුඩුකරගෙන සිටින මොහු පාතාල නායකයකුගේ නියම ස්‌වරූපයට ජීවත්වන්නෙකි. උක්‌කුවා වැඩිපුර එළිබසින්නේ නැත. ඔහු හැම අපරාධයක්‌ම කරන්නේ තිරයෙන් පිටුපස සිටය. කොටින්ම ඔහු අනුකරණය කරන්නේ පාතාල ලෝකයේ ගෝර්ඩ් µdදර්ගේ චරිතය රඟපෑ නාවල නිහාලවය. කිසියම් අපරාධයක්‌ සඳහා උක්‌කුවා කෙළින්ම සම්බන්ධ වන්නේ නැත. ඔහු වටා සිටින ගෝලයන් තිහ හතළිහෙන් කෙනකු යොදවා මොහු ඒ අපරාධය කරන්නේය.

එවිට කිසිම අවස්‌ථාවක උක්‌කුවාගෙ නම කරලියට එන්නේ නැත. කිසිම පොලිස්‌ පොතක ඔහුගේ නම ලියෑවෙන්නේ ද නැත. කිසිම අධිකරණයක්‌ වෙත ඔහු ඉදිරිපත් වන්නේ ද නැත.

එහෙත් තංගල්ලේ සිදුවන බොහොමයක්‌ අපරාධ පිටුපස සිටින්නේ උක්‌කුවාය. ආමි අමිල තංගල්ල සුසාන භූමිය පාරේ පදිංචිකරුවෙකි. කලක්‌ යුද හමුදාවේ සේවය කළ අමිල ඉන් පහකරනු ලැබුවේ මීට වසර හත අටකට උඩදීය. යුද හමුදාවෙන් ඉවත් කිරීමෙන් පසු අමිල දකුණේ පාතාලයට සම්බන්ධ වුණේය.

එවකට දකුණේ පාතාල කෙරුම්කාරයන් වූ වම්බොට්‌ටා, පාලංකඩ හීනා වැනි අපරාධකරුවන් සමග සිට අමිල පාතාල ලෝකයේ අපරාධකාරයකු ලෙස පෝෂණය වුණේය.

දකුණේ සිදුවූ මිනිස්‌ ඝාතන හත අටකටම අමිල සම්බන්ධ වුණේය. අති දක්‍ෂ වෙඩික්‌කරුවකු වූ අමිල සිය ඉලක්‌කය නිවැරැදිව ලබා ගන්නට සෑම විටම සමත් වූවේය.

අමිල ආමි අමිල ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ ඉන් පසුවය. අමිලගේ අපරාධ ලැයිස්‌තුව ඉදිරියේ මිනීමැරුම් ගණනාවක්‌ තිබුණ ද ඒවා කිසිවක්‌ අධිකරණය හමුවේ ඔප්පු වූයේ නැත.

දකුණේ පාතාල කෙරුම්කාරයන් එකා දෙන්නා ජීවිතයෙන් සමුගනිද්දී ආමි අමිල ද තම ගමන් මාර්ගය වෙනස්‌ කරගන්නට සිතුවේය. මිනීමැරුම් ඇතුළු විවිධ දරුණු අපරාධවල නිරතවීම සම්පූර්ණයෙන් නතර කළ ආමි අමිල තංගල්ලේ පිහිටි තම නිවසට වී කාලය ගත කරන්නට පුරුදුව සිටියේය.

අපරාධවලින් ඉවත්ව සිටියද ආමි අමිල සුපුරුදු චණ්‌ඩිකම් අතහැර දැමුවේ නැත. කටගොන්නක්‌ බීගෙන අහිංසකයන්ට පහරදීම ඔහුගේ විනෝදාංශයකි. තම එදිරිවාදීන්ට හිරිහැර කිරීම ඔවුන්ට තර්ජනය කිරීම ආමි අමිලගේ පුරුද්දක්‌ විය.

තංගල්ලේ ව්‍යාපාරිකයන්ගෙන්කප්පම් ලබාගැනීම, ධීවර වරායේ මාළු තොගපිටින් ලබාගෙන ඒවා විකිණීම ආමි අමිල තම ආදායම් මාර්ග බවට පත්කර ගෙන සිටියි.

මහා දේශපාලන බලපරාක්‍රමයකින් සමන්විත වී සිටින උක්‌කුවාගේ චණ්‌ඩිකම් ආමි අමිලට එතරම් රිස්‌සුවේ නැත. ඔහු කිසිවිටෙකත් උක්‌කුවා ගණනකට ගත්තේ නැත.

ඌ මොන චණ්‌ඩියෙක්‌ද කවුද ඌව ගණන් ගන්නෙ.

ආමි අමිලගේ මේ ක්‍රියාකලාපය ගැන උක්‌කුවා සිටියේ ද දැඩි වෛරයකින්ය. තංගල්ලට චණ්‌ඩින් දෙදෙනකු සිටිය යුතු නැති බව උක්‌කුවා නිතරම සිතුවේය. පාතාල කිරුළ දිනාගැනීම සඳහා මොවුන් දෙදෙනා අතර තිබුණේ සීතල යුද්ධයකි. අලුත්ගොඩ මන්නා ආමි අමිලගේ සමීපතමයකු වූවේය. ආමි අමිලගේ පාතාල කල්ලියට මන්නාගෙන් ලැබුණේ නොමද සහායකි. තංගල්ල ප්‍රදේශයේ නන්නත්තාර වූ තරුණයන් හැට හැත්තෑවක්‌ ආමි අමිලගේ පාතාල කල්ලියේ සාමාජිකයන් වූහ. ආමි අමිලට හරිහමන්

රැකියාවක්‌ තිබුණේ නැත. ඔහුගේ පවුලේ සාමාජිකයනුත් පෝෂණය කළේ ධනවත් ඥතියකු විසින්ය.

ආමි අමිලගේ හයිය අතට ගෙන සිටි මන්නා තංගල්ලේ චණ්‌ඩිකම් පෙන්වන්නට පටන්ගත්තේය.

ආමි අමිල සමග මිතුදම ගොඩනැගෙන්නට පෙර මන්නාගේ සමීපතම මිතුරාව සිටියේ උක්‌කුවාය. මන්නාත් උක්‌කුවාත් එකම කල්ලියේ සාමාජිකයන් වූහ.

මොවුන් අතර පැවති මිතුදම බිඳී යන්නේ 2009 වර්ෂයේ මැයි මාසයේ සිදුවූ එක්‌තරා සිදුවීමකින් පසුවය.

දශක තුනක්‌ තිස්‌සේ පැවති යුද්ධය නිමාකර ප්‍රභාකරන් මරා දැමීමේ ප්‍රීතිය මුළුමහත් ශ්‍රී ලංකාවාසීන්ම සමරමින් සිටියහ. තංගල්ල නගරය ද එකම සැනකෙළියක්‌ බඳු විය.

උක්‌කුවා මන්නා ඇතුළු පාතාල සගයන්ද මේ ප්‍රීතිය බුක්‌ති විඳින්නේ අධික ලෙස බීමත්ව ප්‍රීතිඝෝෂා කරමින්ය. එහෙත් එකට සිටි මිතුරන් අතර ගුටි කෙළියක්‌ හටගන්නට වැඩි වේලාවක්‌ ගත වුණේ නැත.

උක්‌කුවා බිම පෙරළාගෙන මන්නාට පහර දුන්නේය. ඔහුගේ මිතුරන් මැදිහත් වී ගැටුම සමතයකට පත් කළහ. තමන්ට නිකරුණේ පහර දීම නිසා දැඩි කෝපයට පත්ව සිටි මන්නා තංගල්ල නගරය පුරා දිවගියේය.

ගතවුණේ සුළු වේලාවකි. මන්නා උක්‌කුවා වෙත කඩාපැන්නේය. මන්නා අත තියුණු ආයුධයකි. පලිගැනීමේ ෙච්තනාවෙන් සිටි මන්නා අත තිබූ පිහියෙන් උක්‌කුවාගේ හිසට පහර පිට පහර එල්ල කළේය. මේ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබුවද උක්‌කුවා දිවි ගලවා ගත්තේය.

එතැන් පටන් උක්‌කුවා සහ මන්නා අතර ගොඩනැගුනේ බද්ධ වෛරයකි. උක්‌කුවා මන්නාට මරණ වරෙන්තු නිකුත් කළේය.

"ඕකා මගේ ලේ හොල්ලලා කරගත්තෙ ලොකු වැරැද්දක්‌. ඌ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා. මම ඌව යහතින් තියන්නෙ නැහැ.

දැඩි ලෙස කෝපයට පත්ව සිටි උක්‌කුවා කෑගැසුවේය. උක්‌කුවාගේ ගෝලබාලයන් මන්නා සොයා තංගල්ල නගරය පීරන්නට වූහ. එහෙත් මන්නාද බිය වුණේ නැත. ආමි අමිලගෙන් ලැබුණු රැකවරණය මන්නාට විශාල ශක්‌තියක්‌ ගෙන දුන්නේය. මන්නා ගෝලබාලයන් පිරිවරාගෙන ඕනෑම ප්‍රහාරයකට සූදානමින් සිය නිවසට වී සිටියේය.

එදින රාත්‍රි උක්‌කුවාගේ ගෝලබාලයන් තංගල්ල අලුත්ගොඩ පිහිටි මන්නාගේ නිවස වටකළහ. එදින මන්නා සමග ඔහුගේ සහචරයන් කීපදෙනකුම නිවසේ සිටියහ.

උක්‌කුවාගේ ගෝලබාලයන් ක්‍රියාත්මක වුණේය. ටී 56 ගිනි අවිවලින් පිටවූ උණ්‌ඩ මන්නාගේ නිවස සුනුවිසුනු කළේය. විනාඩි ගණනක්‌ තුළදී සිදුවූ ප්‍රහාරය නිම කළ උක්‌කුවාගේ ගෝලබාලයන් පලා ගියේ මන්නා සදහටම අවසන් ගමන් යෑවූ බව සිතමින්ය.

එහෙත් මන්නා එදින දිවි ගලවා ගත්තේය. මන්නාගේ සමීපතම සගයකු මේ ප්‍රහාරයෙන් මරුමුවට පත්වුණේය.

"උක්‌කුවා කොයි වෙලාවක හරි උඹට වැඩක්‌ දෙනවා. ඒ නිසා උඹ පරිස්‌සමෙන් හිටපන්. ඌ නයා වගෙ මිනිහෙක්‌.

ආමි අමිල සිය සගයා වූ මන්නාට උපදෙස්‌ දුන්නේය. ඒ අතර උක්‌කුවා විනාශ කර දැමීමේ සැලසුමක්‌ ද මන්නා ඇතුළු සගයන් හොර රහසේම සැලසුම් කරන්නට වූහ.

උක්‌කුවාගෙන් මන්නාට කිසිම ගැලවීමක්‌ තිබුණේ නැත. උක්‌කුවාගේ ගෝලබාලයන් මන්නා පසුපසම පන්නන්නට වුණේ කොයි මොහොතක හෝ ඔහු පරලොව යෑවීමේ බලාපොරොත්තු ඇතිවය.

උක්‌කුවාගේ සැලසුම සාර්ථක වන්නට වැඩි දවසක්‌ ගත වුණේ නැත. තංගල්ල අධිකරණයේ විභාගවෙමින් තිබු නඩුවකට මන්නා ඉදිරිපත් වීමට නියමිතව සිටියේය. එදින මන්නා සිය ගෝලයකුද සමග තංගල්ල අධිකරණය වෙත ඉදිරිපත් වීමට ආවේ යතුරුපැදියකින්ය.

උක්‌කුවාගෙන් දිගින් දිගටම එල්ල වී තිබූ තර්ජන නිසා මන්නා තම ආරක්‍ෂාවට පිස්‌තෝලයක්‌ පාවිච්චි කළේය. ඔහු එය යන එන හැම ස්‌ථානයකටම ඉනේ සඟවාගෙන යැමට පුරුදුව සිටියේය. තංගල්ල අධිකරණය වෙත යද්දී පිස්‌තෝලය ආමි අමිලගේ නිවසේ තබා යැම මන්නා පුරුද්දක්‌ ලෙස කළේය.

කාටත් හොර රහසේ තම ගිනි අවිය අමිලගේ නිවසේ සඟවන පුරුද්ද උක්‌කුවාගේ කල්ලියේ සාමාජිකයන් කලින්ම දැන සිටියහ. මන්නා ගිනි අවියක්‌ නොමැතිව පැමිණෙන අවස්‌ථාවකදී ඔහුට ප්‍රහාරයක්‌ එල්ල කිරීමට උක්‌කුවා ඇතුළු සගයන් සැලසුම් කළහ.

මන්නා අධිකරණය වෙත එද්දී අතරමගදී ඔහුට වෙඩි තැබීමට උක්‌කුවා ඇතුළු සගයන් සැලසුම් කළෝය. මන්නා එදින ද සුපුරුදු ලෙස තම ගිනි අවිය අමිලගේ නිවසේ තබන්නට ආවේය. "අමිල අයියා මට අරූගෙන්නම් ගැලවීමක්‌ නැහැ. උක්‌කුවගෙ ගෝලයො හැම තැනම ඔත්තු බලනවා. ඌ කොයිවෙලාවක හරි මට වැඩක්‌ දෙනවා.

මන්නා තම සමීපතම මිතුරා වූ ආමි අමිලට කීවේ කිසියම් ආරක්‍ෂාවක්‌ ලබාගැනීම සඳහාය.

උඹ බය නැතිව හිටපන්. අපිත් මේ ගම්වල හැදිච්ච කොල්ලො. ඌට පුළුවන්ද අපිට එහෙම කරන්න.

ආමි අමිල මන්නාව සැනසුවේය. එදින මන්නා තම සගයාගෙන් සමුගත්තේය. ඒ සමුගැනීම සදහටම සමුගැන්මක්‌ වනු ඇතැයි මන්නා සිතුවේ නැත.

පරණ සුසානභූමිය පාර ඔස්‌සේ තංගල්ල අධිකරණය වෙත යතුරුපැදියක ගමන් කරමින් සිටි මන්නා සහ ඔහුගේ සගයා පසුපස ත්‍රිරෝද රථයකින් සන්නද්ධ පිරිසක්‌ පන්නාගෙන ආහ. එහි සිටියේ උක්‌කුවාගේ කල්ලියේ ගෝලයන්ය. ඔවුන් ටී 56 ගිනිඅවිවලින් සන්නද්ධව සිටියහ.

මහ දවල් දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී උක්‌කුවාගේ ගෝලයන් ක්‍රියාත්මක වුණේය. ටී 56 ගිනි අවිවලින් එල්ල වූ වෙඩි උණ්‌ඩ මන්නා සහ ගෝලයාගේ සිරුරු විනිවිද ගමන් කළේය. මුළු තංගල්ල නගරයම භීතියට පත් කළ උක්‌කුවාගේ ගෝලබාලයන් ජීවිත දෙකක්‌ මහ මගදී විනාශ කර දමා නිරුපද්‍රිතව පලා ගියහ.

මන්නා ඝාතනය ආමි අමිලගේ සිත භීතියෙන් සලිත කරවීමට සමත් විය. කොයි මොහොතක හෝ උක්‌කුවා තම ජීවිතය ද විනාශ කරන බව අමිල හො¹කාරවම දැන සිටියේය. ඊට පෙර තමන් ක්‍රියාත්මක විය යුතු බව සිතූ ආමි අමිල තම සගයන් ද සමග එක්‌වී සැලසුමක්‌ සකස්‌ කරන්නට වූවේය.

මන්නා ඝාතනය කිරීමෙන් පසු ආමි අමිල දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටින බව උක්‌කුවාද දැන සිටියේය. අමිල තම ජීවිතයට හානියක්‌ කරනු ඇති බව උක්‌කුවාද සිතුවේය ඔහු ද සැලසුම් කළේ තමන්ට හානියක්‌ කිරීමට පෙර ආමි අමිල පරලොව යෑවීමටය. මේ අතර තංගල්ල ධීවර වරායේදී ආමි අමිලගේ ගෝලබාලයන් සහ උක්‌කුවාගේ ගෝලයන් පැටලුනෝය. මාළු තොග මිලදී ගැනීමට ගිය අවස්‌ථාවේ ඇති වූ සුළු සිදුවීමක්‌ ගැටුමක්‌ දක්‌වා දුරදිග ගියේය.

මේ සිදුවීම් අමිලත් උක්‌කුවාත් අතර හටගෙන තිබූ වෛරය තව තවත් දළුලා වැඩෙන තත්ත්වයකට පත් කළේය. එකිනෙකාට තර්ජන එල්ලවීම නිසා ආමි අමිලත් උක්‌කුවාත් නිදහසේ කාලය ගත කිරීම සම්පූර්ණයෙන් නතර කළහ. හැම විටම ඔවුන් ආරක්‍ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට පටන් ගත්හ.

මිනීමැරුමක්‌ සම්බන්ධයෙන් තංගල්ල අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට ආමි අමිලට ඉදිරිපත් වීමට නියමිතව තිබුණේය. ඒ පසුගිය මැයි මස 22 වනිදාය. එදින උදැසන ආමි අමිල තම සගයන් ද සමග තංගල්ල අධිකරණය වෙත ආවේය. නඩු විභාගයට ඉදිරිපත් වූ අමිල අධිකරණ ශාලාවෙන් පිටවන්නේ නිවසට යන බලාපොරොත්තුවෙන්ය.

අධිකරණය ඉදිරිපිට පිහිටි පුංචි තේ කඩයට ගිය ආමි අමිල එහි සුළු වේලාවක්‌ ගත කර පිටතට ආවේය. මාරයා තමන් එනතුරු දත් විලිස්‌සාගෙන සිටින බව ආමි අමිල දැන සිටියේ නැත.

එහෙත් උක්‌කුවාගේ ගෝලබාලයන් නගරය පුරා සැරිසරමින් සිටින අයුරු දුටු ආමි අමිල තරමක්‌ තැතිගෙන සිටියේය. ඔහු තම ගෝලබාලයන් කීපදෙනකුට දුරකථනයෙන් කතාකර මේ බව කීවේය. උක්‌කුවාගෙ උන් එහෙ මෙහෙ කැරකෙනවා. උන් මොනවට හරි ලෑස්‌තිවෙනව වගේ පේන්නෙ. කෝකටත් මම ගෙදර යනවා. ආමි අමිලට වෙළෙඳසලෙන් පිටතට එන්නට ඉඩ ලැබුණේ නැත. මුහුණු ආවරණය කරගත් හිස්‌ වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙක්‌ ආමි අමිල වෙත වෙඩි වරුසාවක්‌ එල්ල කළෝය.

අනපේක්‌ෂිතව එල්ලවූ ප්‍රහාරයෙන් ආමි අමිල අන්දමන්ද වුණේය. කාලයක්‌ තිස්‌සේ යුද හමුදාවේ රාජකාරි කරමින් ලබා තිබූ පුහුණුව ඔහු ඒ අවස්‌ථාවේ ප්‍රයෝජනයට ගත්තේය. තමන් වෙත එල්ල වන වෙඩි ප්‍රහාරවලින් ගැලවීමට ආමි අමිල එහෙට මෙහෙට පැන්නේය.

එහෙත් වෙඩි ප්‍රහාර කීපයක්‌ ඔහු වෙත එල්ල වී තිබිණි. ඒ වෙඩි ප්‍රහාර මාරාන්තික ඒවා නොවීය. තම ඉලක්‌කය වැරැදී ගිය බව තේරුම් ගත් ඝාතකයන් තංගල්ල ජනාකීර්ණ මාර්ගයක්‌ ඔස්‌සේ නිරුපද්‍රිතව පලා ගියහ.

ප්‍රහාරයෙන් ආමි අමිලට බරපතළ තුවාල සිදු වුණේ නැත. ඔහු ඒ මොහොතේම තංගල්ල රෝහල වෙත රැගෙන ගියේය. එතැනින් ඔහු ගාල්ල කරාපිටිය රෝහල වෙත යෑවීමට ද රෝහල් බලධාරීන් ක්‍රියා කළේ හදිසි ශල්‍යකර්මයකට ඔහු භාජනය කිරීම සඳහාය.

ආමි අමිල දින කීපයක්‌ තිස්‌සේ කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තේය. උක්‌කුවාගේ ගෝලබාලයන් කොයි මොහොතක හෝ රෝහලට කඩාවැදී තම ජීවිතය විනාශ කරනු ඇතැයි ආමි අමිල සිතුවේය.

ඒ සඳහා ඔහු දැඩි ආරක්‌ෂක ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කළේය. තම ගෝලබාලයන් දහදොළොස්‌ දෙනෙක්‌ නිතරම රෝහල භූමියේ සහ වාට්‌ටුවේ රඳවා ගත්තේ තම ආරක්‍ෂාව සඳහාය. මේ අතර ආමි අමිල නැවතත් තංගල්ල රෝහල වෙත යෑවීමට කරාපිටිය රෝහලේ බලධාරීන් කටයුතු කළේ ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ අතට හැරී නොතිබූ නිසාය. අමිල ගිලන්රථයක නන්වා තංගල්ල රෝහලට යෑවීමට සූදානම් කළේය. අමිලගේ ගෝලබාලයන් කීපදෙනෙකුම ගිලන් රථයට ගොඩවුණේ ඔහුගේ ආරක්‍ෂාව සඳහාය.

එහෙත් පිටස්‌තර පුද්ගලයන් ගිලන් රථයක ගෙන යැමට රෝහල් කාර්ය මණ්‌ඩලය කැමති වුණේ නැත. එහිදී දෙපාර්ශවය අතර ඇති වුණේ උණුසුම් තත්ත්වයකි.

"අපිට තංගල්ල හොස්‌පිට්‌ල් එකට යන්න ඕනෙ නැහැ.

අමිලගේ ගෝලබාලයන් කියන්නට වූහ. සුළු වේලාවකදී වෙනත් වෑන් රථයක්‌ රැගෙන ආ අමිලගේ සහචරයන් බලහත්කාරයෙන් ඔහුගේ ටිකට්‌ කපා රැගෙන ගියහ.

අමිලව කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ආරක්‍ෂිතව ප්‍රතිකාර ලබන්නට සැලැස්‌වූයේ ඔහුට එල්ලවී තිබූ තර්ජන නිසාමය.

ප්‍රභාත් චන්දන ආමි අමිලගේ සමීපතමයකු වුණේය. අපරාධ කිසිවකටත් හවුල් නොවූවද ඔහු අමිලගේ සෙවනේ නිතරම ගැවසුනේය.

අමිල වෙඩි වැදී රෝහල්ගතව සිටි කාලසීමාව පුරාම ඔහුට උපස්‌ථාන කිරීමේ කාර්ය සිදුවන්නේ ප්‍රභාත් චන්දන අතින්ය. තංගල්ල රෝහලේදීත් ගාල්ල කරාපිටිය රෝහලේදීත් අමිලට අවශ්‍ය සත්කාර කරන්නේ චන්දනය.

ආමි අමිල සුවපත්වීමෙන් පසු චන්දන නැවත තංගල්ල නගරයට ආවේය. හරිහමන් රැකියාවක්‌ ඔහුට තිබුණේ නැත. කුමක්‌ හෝ රැකියාවක්‌ කර දෛනිකව සුළු වැටුපක්‌ ලබා ගත්තේය. අමිල මරා දැමීමේ සැලසුම ව්‍යර්ථ වීමෙන් පසු උක්‌කුවා සිටියේ මහත් කලබල ස්‌වරූපයකින්ය. ආමි අමිල කොයි මොහොතක හෝ තමාගෙන් පළිගන්නා බව ඔහු හො¹කාරවම දැන සිටියේය.

ඊට පෙර අමිලගේ බලය විනාශ කර දැමීමට උක්‌කුවාට අවශ්‍ය විය. අමිලගේ සහචරයන් මරා දමා ඔහුගේ බලය දියාරු කර දැමීමට උක්‌කුවා ඇතුළු සගයන් කටයුතු කරන්නට වූහ.

අමිලට උපස්‌ථාන කළ ප්‍රභාත් චන්දන මරා දමන්නට ඔවුන් සැලසුම් කරන්නේ ඒ අනුවය.

කිසිදු අපරාධයකට සම්බන්ධකමක්‌ නැති තිදරු පියකු වූ චන්දනට මරණ වරෙන්තු නිකුත් වන්නේය.

චන්දන තංගල්ල බස්‌ නැවතුම්පළේ පෞද්ගලික බසයකට මගීන් ගොඩකරමින් සිටියේ ටෙම්පරි රැකියාවක නිරතවෙමින්ය.

උක්‌කුවාගේ අළුගෝසුවන් එක්‌වරම තංගල්ල නගරයට කඩාවදින්නේ ඒ අතරතුරදීය. ජනාකීර්ණ නගරය මැදින් මතුවූ ඝාතකයන් චන්දන වෙත සමීප වූහ. මුළු නගරයම දෙවනත් කරමින් පිටවූ වෙඩි ප්‍රහාර චන්දනගේ හිස පසාරු කරගෙන ගියේය. ආමි අමිලට උපස්‌ථාන කිරීමේ චෝදනාවට වැරැදිකරු වූ චන්දන තංගල්ල බස්‌ නැවතුම්පළේ තාර පොළව මත ඇදවැටුනේ සදහටම දෙනෙත් පියාගෙනය.

චන්දන මරා දමා දින දෙකක්‌ ගත වුණේ නැත. උක්‌කුවාගේ ගෝලබාලයන් තිදෙනෙකු තංගල්ල පොලිසිය වෙත භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත්තේය.

ඒ අතර නාමල්, පොඩි චාමර, මේනුක යන අය සිටියහ. දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී තංගල්ල නගර මධ්‍යයේදී මිනිස්‌ බිල්ලක්‌ ලබාගත් මේ නරුමයන් කිසිම හිරිකිතයකින් තොරව පොලිසිය වෙත භාර වුණේය. තව මාස කීපයකින් මොවුන් නැවතත් තංගල්ල නගරයට එනු ඇත. ඔවුන් නැවතත් උක්‌කුවාගේ කල්ලියට එකතු වනු ඇත. තවත් මිනිස්‌ බිලි ගනු ඇත.

තංගල්ල නගරය ගිලගෙන සිටින අදෘශ්‍යමාන හස්‌තය ක්‍රියාත්මක වන තාක්‌කල් තංගල්ලට විරාමයක්‌ ලැබෙන්නේ නැත.

හෙට දිනයේදීත් තංගල්ලේ තරුණයන් මහ දවල් අමු අමුවේම ඝාතනය වනු ඇත.

හේමන්ත රන්දුණු

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive