මව්බිම' පුවත්පතත් රටට හෙළිදරව් කර සිටියේ 20-20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත්ව යෑමට පෙර එම කණ්ඩායමෙන් කුමාර සංගක්කාරවත්, මහේල ජයවර්ධනවත් ඉවත් කිරීමට ක්‍රිකට් පරිපාලකයන්ගේ සැලසුමක් තිබුණු බවය. අප මේ තොරතුරු රටට හෙළිදරව් කිරීමත් සමඟ මෙම තත්ත්වය තරමක් යටපත් වී ගිය අතර, ලෝක කුසලානය ජයග්‍රහණය කොට ලංකාවට පැමිණි සංගක්කාර මෙම කාරණය එළිපිටම කතා කොට තමන්ටත්, තම කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනකුටත් ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන් කළ අකටයුතුකම් පැවැසීමත් සමඟ අපගේ අනාවරණය 100%ක් තහවුරු විය.
ජනපති සංගක්කාරට-තිසරට කතා කරයි
කෙසේ වෙතත් යටපත්ව පැවැති මෙම තත්ත්වය නැවත වතාවක් කරළියට පැමිණි ඇති බවක් පෙනී යන්නේ සංගාවත්, මහේලවත්, 20-20 කණ්ඩායමේ නායකයා වන මාලිංගවත්, ප්‍රහාරක පිතිකරුවකු වන තිසර පෙරේරාවත් ඉලක්ක කරගෙන යළිත් ක්‍රිකට් ආයතනයේ එක්තරා පිරිසක් තිරය පිටුපස දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට පටන්ගෙන තිබීමත් සමඟය.
විශේෂයෙන්ම ලබන වසරේ පෙබරවාරි මස පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කට උඩ තිබියදී මේ ආකාරයෙන් සංගා, මහේල, මාලිංග, තිසර ඇතුළු පිරිසක් කණ්ඩායමෙන් පන්නා දැමීමට සැලැසුම් දියත් වන ආකාරයක් එළිපිට පෙනෙන්නට තිබීමෙන් දේශපාලන ක්‍ෂේත්‍රයේද ඒ පිළිබඳ කනින් කොනින් පැතිර යන්නට විය. ඒ අනුව ඉකුත් 20-20 ලෝක කුසලානයට පෙරාතුව ජනාධිපතිවරයා මෙම ගැටුම විසඳීමට මැදිහත් වුණු ආකාරයට මෙවරද මෙම ප්‍රශ්නයට මැදිහත් වුණු ආකාරයක් දැකගන්නට තිබුණේ එම තොරතුරු වාර්තා වූ සැණින් ජනාධිපතිවරයා සංගක්කාරට දුරකතන ඇමැතුමක් ලබා ගැනීමට කටයුතු කිරීමත් සමඟය.
එහිදී මෙවර මතු වී ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සංගක්කාරගෙන් තොරතුරු විමසද්දී ගැටුමේ අලගිය මුල ගිය තැන් සියල්ල ජනාධිපතිවරයාට පැහැදිලි කරදුන් සංගක්කාර කීවේ, මේ යන ආකාරයට ප්‍රශ්නය ඇදි ඇදී ගියහොත් එළැඹෙන ලෝක කුසලානය වන විට ක්‍රිකට් ආයතනය ඇතුළේ පමණක් නොව කණ්ඩායම තුළද බරපතළ අර්බුදයක් ඇතිවීම නොවැළැක්විය හැකි යැයි කියාය. සංගාගේ දීර්ඝ පැහැදිලි කිරීම ඉතා සාවධානව අසා සිටි ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී සිටියේ මොන තත්ත්වයක් යටතේ වුවද කලබලයට පත් නොවන ලෙසත්, තමා වහාම මෙම ගැටලුව විසඳීම සඳහා මැදිහත් වන බවත්ය.
මෙහිදී තවත් එක් විශේෂ කරුණක්ද සංගක්කාර ජනාධිපතිවරයාට පැහැදිලි කර සිටියේය. ඒ, ක්‍රිකට් ආයතනයේ ඇතැම් පිරිස් ජනාධිපතිවරයාගේත්, නාමල්ගේත්, යෝෂිතගේත් නම් පවා විකුණමින් කණ්ඩායම ඇතුළේ සහ ක්‍රීඩකයන් අතර ප්‍රශ්න ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බවය. එහිදී වඩාත් කලබලයට පත්වූ ජනාධිපතිවරයා තමන් හෝ නාමල් හෝ යෝෂිත හෝ කිසිදු අවස්ථාවක එවැනි අනවශ්‍ය මැදිහත්වීම් සිදුකිරීමට කටයුතු කර නොමැති බවත්, මෙම තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා තමන් වහාම මැදිහත්ව කටයුතු කරන බවත් සංගක්කාරට දැනුම් දී සිටියේය. මීට අමතරව තිසරටද කතා කළ ජනාධිපතිවරයා ඔහුටද ඉක්මන් තීන්දු නොගන්නා ලෙස දැනුම් දීමට කටයුතු කළේය.
දෙවන පෙළ කණ්ඩායමක්
ලෝක කුසලානයට?
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය තුළ දැනට පැනනැඟී ඇති තත්ත්වය යටතේ වාර්තා වන්නේ මෙවැනි බලපෑම් තවදුරටත් ඉදිරියට පැවැතියහොත් සංගක්කාරත්, මහේලත්, මාලිංගත්, තිසරත් එළැඹෙන ලෝක කුසලානයට පෙර බොහෝ දුරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීන්දු කර ඇත බවකි. එසේ සමුගෙන ඉදිරි කාලයේදී අයි.පී.එල්. වැනි තරගාවලින්ටත්, විදෙස් රටවල ක්‍රීඩා සමාජවලටත් දිගටම ක්‍රීඩා කිරීම පිළිබඳ ඔවුන්ගේ අවධානයට යොමු වී ඇති බව දැනගන්නට ලැබේ.
එසේ වුවහොත් බොහෝ දුරට ලබන වසරේදී ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වනු ඇත්තේ සංගා, මහේල, මාලිංග, තිසර නොමැති දෙවැනි පෙළේ ක්‍රිකට් කණ්ඩායමකි.
මේ අතර ජනාධිපතිවරයා ප්‍රශ්නයට මැදිහත්ව සිටින බව ආරංචි වීමත් සමඟ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේත් මේ වනවිට සිටින්නේ ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින්ය. නමුත් ඒ සඳහා වූ ප්‍රධාන බාධකයක් වී ඇත්තේ මහින්දානන්දත් ක්‍රිකට් ආයතනය තුළ ගැටුම් ඇතිකරන එක්තරා පාර්ශ්වයක් නියෝජනය කරන බවට චෝදනා එල්ල වී තිබීමය. නමුත් එසේ චෝදනා එල්ල වී තිබුණද තත්ත්වය වඩාත් බරපතළ අතට පෙරළෙන්නට පටන්ගෙන තිබීම නිසා පසුගිය දින කිහිපය පුරාම මහින්දානන්ද මෙම ගැටුම සමථයකට පත්කිරීමට උත්සාහ කළද මේ වනවිට එයද අසාර්ථක වන ලකුණු පහළ වී ඇති බවක් දැකගන්නට ලැබේ.






0 comments:
Post a Comment