facebook like

කොයි බුදුන්ද? කාගේ බුද්ධාගමද? --- තිසරණී ගුණසේකර

පරිවර්තනය: හේමන්ත රණවීර

එය දිගින් දිගටම ජනතාව සහ ඔවුන්ගේ දේ කුණුකරන විෂ මූලාශ‍්‍රයක් මෙනි. (එමිල් සෝලා, ‘සත්‍යය’.)

දුටුගැමුණු රජතුමා සිය මුල්ම යුද්ධය කළේ පවුල තුළය. මහාවංශයට අනුව තම බාල සොහොයුරු තිස්සට එරෙහිව යුද්ධ කළේය. ඔහු විසින් සුළු රජවරුන්ට එරෙහිවත් අන්තිමට එළාර රජුට එරෙහිවත් යුද්ධ ගෙන ගියේ එසේ තම ඔටුන්න සුරක්ෂිත කර ගැනීමෙන් පසුවය. මහාවංශයට අනුව මේ සිවිල් ගැටුම්වලදීද දහස් ගණනක් ජීවිත නැතිවී තිබේ. මෙහිදී මියගිය අය සිංහල බෞද්ධයන්යැ’යි සිතීම සාධාරණය. එහෙත් තම සහෝදර ආගමිකයන් මෙසේ කෲර ලෙස ඝාතනය කිරීම ගැන මහාවංශය කිසිම වචනයක් පවසන්නේ නැත. මහාවංශය පවසන ලෙසට ඔහුගේ සිත කම්පනයට පත්වන්නේ එළාරට එරෙහිව කරන ලද යුද්ධයේදී සිදුවූ මරණ ගැනය. මෙහිදී භික්ෂූන් පසුතැවිලිවීමට හෝ බියවීමට කිසිදු හේතුවක් නැතැ’යි දුටුගැමුණු රජු අස්වසා ඇත. ‘මේ කි‍්‍රයාවන්ගෙන් ඔබතුමා දෙව්ලොව යන ගමනට බාධා සිදුවන්නේ නැත. ඔබ විසින් මරා ඇත්තේ මිනිසුන් එකහමාරක් පමණි. එක් කෙනෙකු තෙරුවන් සරණ ගිය තැනැත්තෙකු වන අතර අනෙකා පන්සිල් පමණක් ගත්තෙකි. සෙස්සන් ආගම නොඅදහන මිථ්‍යා දෘෂ්ටිකයන් වන අතර ඔවුන් ගැනෙන්නේ තිරිසනුන් ගණයටය.’ ඔහු බලයට පත්වීමට කරන ලද මනුෂ්‍ය ඝාතන ඇතුළත් කළහොත් මේ සහතිකය හරියන්නේ නැත. මහාවංශය එක යුද්ධයකදී ඇති වූ සිත් කම්පාව ගැන පමණක් සලකන්නේ ‘මිථ්‍යා දෘෂ්ටිකයන් තිරිසනුන්ටත් අන්තය. ඔවුන් මැරීමෙන් කිසිදු පවක් සිදු නොවේ. ආගම වෙනුවෙන් යුද වැදීම කෙළින්ම දෙව්ලොව යෑමට හේතුවන්නකි.’ යන අලූත් මිථ්‍යාව ගොඩනැංවීමටය.

මේ මතයට බලගතුකමක් හා නීත්‍යනුකූලකමක් ලබාදීමට මහානාම භික්ෂුව මෙය රහතුන්ගේ මුවට නංවාලයි. එසේ කරන්නේ බුදුන් මේ සම්බන්ධව දක්වන අදහස ඉතා පැහැදිලි බැවිනි. පර පණක් නැසීම මනුෂ්‍යයෙක් වේවා සත්වයෙක් වේවා පාපයකි. ඉන් කිසිම ගැලවීමක් නැත.

සංයුක්ත නිකායේ ගාමිණී සංයුක්තයේ එන යෝධජීව සූත‍්‍රයේදී ගම් ප‍්‍රධානියෙකු වූ යෝධජීව බුදුන්ගෙන් විමසන්නේ යුද්ධයේදී සටන් වැද මියයන්නන් දෙව්ලොව යන්නේද යන්නය. බුදුන් තෙවරක්ම පිළිතුරු දීම ම`ගහරින අතර නැවත බලකිරීමේදී පිළිතුරු දෙන්නේ මෙසේය. ‘සටනකදී පහර දීමට වෙහෙසන විට සටන්කාමියකුට සිතෙන්නේ මොවුන් මරාදැමිය යුතුය, කපාදැමිය යුතුය, විනාශ කළ යුතුය යන අයුරිනි. ඒ අවස්ථාවේදී ඔහුට පහර දී ඔහු මරා දැමුවහොත් ඔහු නැවත උපදින්නේ නිරයේය.’ සටනේදී මිය යන්නන්ට සිදුවන්නේ මෙසේය. මෙහි කිසිදු වෙනස්වීමක්, විශේෂතාවක් නොමැත. බුද්ධාගම ආරක්ෂා කර ගැනීමට මිය යන්නන් දෙව්ලොව යන බවක් බුදුන් පවසා නොමැත.

මේ වෙනස් කළ නොහැකි නියාමය මහානාම භික්ෂුවට හෝ එකල පැවති ධාතුසේනගේ රාජ්‍ය තන්ත‍්‍රයට ගැළපෙන්නේ නැත. ධාතුසේන මහානාම හිමිගේ අනුග‍්‍රාහකයා වන අතර බෑණාද වේ. මාමා බෑණාද ඉදිරියට ගත්තේ රටට අවාසිදායක කාලයකය. ලංකාව අවුරුදු 30ක් තිස්සේ පාණ්ඩ්‍ය පාලනයට යටත්ව තිබුණේය. ධාතුසේන බලයට පැමිණියේ අවසන් පාණ්ඩ්‍ය රජු එළවා දැමීමෙනි. යුද්ධයේදී ඝාතන සිදුවේ. සමහරවිට ධාතුසේන අතින් මුල් සිල්පදය විශාල ලෙස බිඳෙන්නට ඇත. ඔහුගේ යුද්ධ භටයන් මරණින් මතු ජීවිතය ගැන සිතුවා විය හැක. මේ අවස්ථාවේදී මහානාම හිමි ඉදිරියට පැමිණ ‘පව් නැති යුද්ධය’ යන මිථ්‍යාව නිර්මාණය කර රජු සහ භටයන් ධෛර්යමත් කරන්නට ඇතැ’යි සිතීම සාධාරණය. ඒ ඔවුන් සැනසීමටය.

මේ මතවාද ප‍්‍රචාරය කිරීමේදි මහානාම හිමි අතිශයින් සාර්ථක වී තිබේ. ඔහු බුදුන්ගේ ඉගැන්වීම කනපිට හරවා සම්පූර්ණයෙන් වෙනස් බුද්ධාගමක් නිර්මාණය කළ අතර එය ශතවර්ෂ 15ක් තිස්සේ ලංකා දේශපාලනය සකස් කිරීමට හේතුකාරක වි තිබේ.

මහාවංශ උගුල
ඊයේ ?
සිහිනෙන් දුටුවෙමි
පොලිසිය
බුදුන්ට වෙඩිතබා මරාදමනු
ලේ වැකි ඔහුගේ සිරුර
යාපනේ පුස්තකාල
පඩිපෙළේ
වැටී තිබුණි.

යාපනේ පුස්තකාලය ගිනි තැබීම ගැන මහාචාර්ය එම්.ඒ. නුහුමාන් ලියූ සුන්දර කවිය ඇරඹෙන්නේ එසේය. බුදුන් එසේ මරාදැමුවේ මන්දැ’යි ඇමතිවරුන් විමසන විට පොලිස් භටයන් පවසන්නේ,

නොමරා ඔහුව
කෙසේ මැස්සකුට හෝ
හිංසා කළ හැකිද?

ඇත්තය. එහෙත් සැබවින් බුදුන් මරා දැමුණේ 6වන සියවසේදීය. මහානාම හිමි බුද්ධාගම නැවත ලිව්වා පමණක් නොව ඒ යුදවාදී බුද්ධාගමට ගැළපෙන අලූත් යුදවාදී බුදුකෙනෙක්ද බිහි කළේය. මහාවංශයේ බුදුන් සිද්ධාර්ථ ගෞතම බුුදුන්ට ඉඳුරාම වෙනස්ය.

ති‍්‍රපිටකයේ හමුවන බුදුන් මෙන් නොව මහාවංශයේ බුදුන් කපටිකමින් සහ අධිමානුෂික බලය තුළින් සතුරන් මෙල්ල කරන්නෙකි. ඔහු බුදුන් කළ ලෙසට සියලූ සතුන්ට සම කරුණා දක්වන්නේ නැත. මහාවංශ බුදුන්ට බැඳීම් තිබේ. ඔහුට අවශ්‍ය අනාගතයේ සිය ධර්මය ආරක්ෂා වන ලංකාව රැුක ගැනීමය. මේ දේශපාලන ව්‍යාපෘතියේදී දෙවිවරු ඔහුගේ මිත‍්‍රයෝය. අපරාධකාරී විජය ඔහු විසින් යොදා ගැනෙන්නෙකි. ලංකාවේ මුල්වාසී රාක්ෂයෝ ඔහුගේ සතුරෝය. මහාවංශයේ බුදුන්, සැබෑ බුදුන් කිසිවිට නොකරන දේ කරයි. ලංකාවට පැමිණ යක්ෂයන්ට බණ දෙසනු වෙනුවට ඔවුන් එළවා දමයි. ති‍්‍රපිටකය තුළ නම් බුදුන් යක්ෂයන්ට සතුරන් ලෙසින් සලකා නැත. යක්ෂ සංයුක්තයේදී බුදුන් ආලවක යකා දමනය කරන්නේ ඉවසීම, සාධාරණය සහ ප‍්‍රඥාව තුළිනි. තවත් යක්ෂයෙකු වන සීවක අනාථපිණ්ඩික සිටුවරයා ඉදිරියට ගොස් බුදුන් හමුවන ලෙස තෙවරක් උනන්දු කර ඇත. එහෙත් මහාවංශයට අනුව පසුව දමිළයන් පත් වූ ලෙසට යක්ෂයන්ද උපතින්ම නරක එවුන්ය. මහාවංශ බුදුන් වර්ෂාව, කුණාටු සහ අන්ධකාරය මවා ඔවුන් භීතියට පත්කර ඇත. එසේකොට ඔවුන් ශුද්ධ භූමියෙන් එළවා දමා ඇත.

නූතන ලංකාව තුළ සිවිල් සාමයක් පවත්වා ගත නොහැක්කේ හිමිකරුවන්- පිටස්තරයන් යන සංකල්පය නිසාය. බෞද්ධයෝ තමන් මේ දිවයිනේ තනි අයිතිකරුවන් ලෙසටත් අන්‍යයන් පිටින් පැමිණි ආගන්තුකයන් ලෙසටත් සිතති. ඔවුන්ට රට තුළ කිසිම හිමිකමක් නැත. මේ අදහස වෙනත් මහාවංශ මිථ්‍යාවක් විසින් ඇතිකර තිබේ. මහාවංශයට අනුව බුදුන් සිය මරණ මංචකයේදී මගේ ධර්මය නොනැසී පවතින්නේ ලංකාවේ බැවින් එය ප‍්‍රවේශමින් සුරකින ලෙස දෙවියන්ගෙන් ඉල්ලා තිබේ. බුදුන්ගේ අවසාන දින කීපය මහාපරිනිබ්බාණ සූත‍්‍රයේ පැහැදිලිව දක්වා තිබේ. එහෙත් ඒ තුළ බුදුන් කළ මෙබඳු ඉල්ලීමක් ගැන කිසිම සඳහනක් නැත.

සිය ධර්මය පිරිසිදුව ආරක්ෂා වන්නේ මේ කුඩා දූපත තුළ යයි බුදුන් කිසිවිටක පවසා නැත. එය ආරක්ෂා කරන ලෙස කිසිවිටක දෙවියන්ගෙන් ඉල්ලා නැත. පවරාදීමේ කතාවද මහානාම ගොඩනැගූ තවත් මිථ්‍යාවක් වේ.

යෝධජීව සූත‍්‍රයේදී බුදුන්ගේ පිළිතුර ඇසූ යෝධජීව හ`ඩන්නට විය. ඔහු හ`ඩන්නේ බොරු ගුරුවරුන් විසින් දිගුකලක් තිස්සේ සටනේදී මියගිය අය සුරපුර යන බවට ඔහු රැුවටූ නිසා බව බුදුන් පෙන්වා දුන්නේය.

මහානාම නම් දේශපාලන භික්ෂුව මහාවංශය ලියා ශතවර්ෂ 15ක් ගතවූ පසුවද ඔහුගේ ගිහි සහ පැවිදි අනුප‍්‍රාප්තිකයන් විසින් අප රවටනු වංචාකරනු මුළා කරනු ලැබ ඇත.
මහාවංශ බුද්ධාගම ප‍්‍රකාශ කරන්නේ ලංකාව බෞද්ධයන්ගේ ශුද්ධ දේශය බව හා බෞද්ධයන්ට අබෞද්ධයන් සමග මෙහි වාසය නොකළ හැකි බැවින් යුද්ධ කර ඔවුන් එළවා දැමීම පාපයක් නොවන බවය. මේ මිථ්‍යාව විසින් මෙහි බහුතර සුළුතර සබඳතා අවුල්කර හිංසාකාරී නොඉවසීමක් ඇතිකර තිබේ. අපගේ ඉතිහාසය දේශපාලනය සහ බුද්ධාගම මහානාම හිමියන් හා ඔහුගේ ගෝලයන් ගෙතූ මෙම මිථ්‍යාවන්ගෙන් නිදහස් කර ගන්නා තුරු ලංකාවට සාමයක් උදාකළ නොහැකි වනු ඇත.

1 comment: Leave Your Comments

  1. තිසරණී ටත් වෙලා තියෙන්නේ අර ධර්මසිරි බණ්ඩාරනායක ට වුන දේ. මහාවංශයේ වැරදි තිබෙනවා ඒවා ඇරලා ගත යුතුයි. බුද්ධ දර්ශනයත් වැරදි ලෙසයි අද බොහෝවිට ගැනෙන්නේ. ඒත් ගැමුණු රජතුමාගේ අරමුණ සහ අභිප්‍රාය වුනේ යුධ වැදීම හෝ දමිළ සංහාරය නොවේ කියන එක ඔය ඔලු වලට යන්නේ නෑ. එහෙම වුනානම් තිසරණී කියල නමක් වෙනුවට වෙන නමක් තියේවි. ඒක විදේශ ආක්‍රමණයක්. එහෙම දේකදී රාජ්‍ය තන්ත්‍රය ට ඊට පිළියම් වශයෙන් බෞද්ධ දර්ශනය යොදාගන්න පුළුවන්. එහෙත් නොදමෙනසුළු සතුරෙකු නම් ඊට එරෙහිව බලය යෙදීම මගින් කරන්නේ ඔවුන්ට එරෙහිව ද්වේශය පතුරවන එක නොවේ. මානුෂිකත්වයේ හතුරකු පරාජය කිරීම. නමුත් LTTE අරගලය යුද්ධයක් නොවේ එය දේශපාලන කඳවුරු දෙකක් නිසා හටගත් අසහනයක් දඩමීමා කරගත් එක් පුද්ගලයෙකුගේ ෆැන්ටසියක්. එය සිවිල් අරගලයක් නිසා එය මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට බාධාවක් නිසා වර්තමාන රජයන්ට අකමැත්තෙන් වුවත් ඔවුන්ට එරෙහිව යුධ බලය යොදා ගන්න වුනා. ඔවුන් සමග ධර්මානුකූලව කටයුතු කරන්න හැකියාව තිබුන නමුත් එකම ගැටලුව තිබුනේ රටක් කියා එකක් නිවැරදිව නැති විසිරී සිටින වෙනත් රටවල දෙමල ජන වර්ග විසින් ලාංකික අපේ සහෝදර දමිළයන් ව දඩමීමා කරගෙන ඔවුන්ගේ සිහින දේශය ගොඩ නැගීම. ඔවුන් ගැන ලොකු කනගාටුවක් තිබෙනවා. වර්ගයකට රටක් තිබිය යුතුයි. එත් මානුෂිකව කොටසක් ලබා ගන්නවා නම් සමව වෙසෙන්න කාගේවත් සිත්වල වෛරයක් ක්‍රෝධයක් ඇති වන්නේ නැහැනේ. බලහත්කාරනේය්න් රටක ස්වෛරීත්වයට එරෙහිව යන්නේ නම් ඒ සඳහා නිසි පිළියම් නොයොදන්න, ඇස කන සහ කට පියාගෙන ජෛන මහාවීර ලෙස සිටින්නට යයි කියා බුදුන්වහන්සේ දේශනා කොට නැත. මෝහ සහ ද්වේශ එනම් තන්හා සැඩ පහරට ගසා ගෙන යන අමනුෂ්‍යයන් අන්‍යයන්ගේ දිවි තොර කෙරෙත් නම් එය නවත්වා දැමීම ඕනෑම රටක පාලන තන්ත්‍රය විසින් කරන සහ කල යුතු දෙයකි. එය ප්‍රශ්න කිරීමට නම් ජේසු තුමා කියන්නාක් මෙන් ඔබ ගල් ගැසීමට සුදුස්සකු විය යුතුය. ඔය පහර එල්ල කරන්නා වූ විදේශයන් හෝ දේශපාලන කඳවුරු වල පැටිකිරිය අප හොඳින් ම දනිමු. ගැමුණු රජතුමා තමන්ගේ ව්‍යායාමය විජය නොකලා නම්, තිසරණී ට තන්ගම්මා වගේ නමක් ලැබීමට ඉඩ තිබුණි.

    "සිය ධර්මය පිරිසිදුව ආරක්ෂා වන්නේ මේ කුඩා දූපත තුළ යයි බුදුන් කිසිවිටක පවසා නැත. එය ආරක්ෂා කරන ලෙස කිසිවිටක දෙවියන්ගෙන් ඉල්ලා නැත. පවරාදීමේ කතාවද මහානාම ගොඩනැගූ තවත් මිථ්‍යාවක් වේ."

    ධර්මය ආරක්ෂා කිරීමට ඉල්ලීම් කල නොහැක්කේ ධර්මය ආරක්ෂා කිරීම එක් එක් පුද්ගලයා විසින් ම දර්ශනය ඉගන ගෙන ඒ අනුව හැඩගැසෙමින් ප්‍රායෝගිකව කල යුත්තක් බැවිනි. නමුත් වෙනත් තලවල සිටින බුද්ධිමත් ජීවීන් විසින් බෞද්ධයන් උවදුරු වලින් වැලක්වීමට එනම් සත්පුරුෂයන් උවදුරු වලින් ගලවා ගැනීමට ආශීර්වාද කෙරෙති. නමුත් නියාම ධර්ම විශේෂයෙන් කර්ම පථ වල ක්‍රියාකාරීත්වයට එරෙහිව යාමට කිසිවකුටත් හැකියාවක් නැත. නමුත් ඉදිරි සංස්කාර නිවැරදිව සකස් කරගැනීමට ඕනෑම කෙනෙකුට හැකිය. එනම් අත්හැරීම මගිනි.

    බුදුන් යක්ෂයන් පලවා හරි බවක් ගැන කියා ඇත. බුදුන් මහා කාරුණිකය. යක්ෂයන් නොව ඕනෑම කෙනෙකු දමනය කිරීමට හැකියාවක් ඇති බවත් සත්‍යය. නමුත් ප්‍රඥාවේ සහ විඥානයේ ගිනිසිළු නැසුන කලහකාරී ජීවීන් සිටිත් නම් ඔවුන්ව දමනය කිරීමට වෙනත් මගක් සොයා ගන්න අවශ්‍යයි. බුදුන් වහන්සේ ජටිල දමනය, සුමන සාමනේරයන් පන්ථක දමනය, මුගලන් ස්වාමීන්වහන්සේ අග්ගිදත්ත දමනය සහ නන්දෝපනන්ද දමනය දැක්විය හැකියි. එතනදී යම් බලයක් යොදන්නේ එහි නිස්සාරත්වය දක්වා ඔවුන් ව සුමගට යොමු කිරීමටයි. ඒ හැරෙන්නට ප්‍රාතිහාර්යය බුදුදහමේ ප්‍රතික්ෂේප කල කරුණකි (අනුශාසනා ප්‍රාතිහාර්යය හැරෙන්නට). එමනිසා යථා කරුණු සැඟවුන දේවල් පිරිබඳ බොළඳ තර්ක ඉදිරිපත් කිරීම වැඩුන මිනිසුන් විසින් නොකටයුත්තකි. එය වැරදි හෝ නිවරද යයි ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය නැත.

    කෙසේ වුවත් විජයගෙන් මනුෂ්‍ය වර්ගයා ගේ පැවැත්ම මෙහි ඇති වූ බව අපි පිළිගන්නා කරුණක් නොවේ. එය ඓතිහාසිකව සහ විද්‍යාත්මකව ඔප්පු කොට හමාරය.

    එමන්නිසා දේශපාලන, සිවිල් අරගල, විදේශ ආක්‍රමණ සහ කුමන්ත්‍රණ බුද්ධාගම සහ බෞද්ධ දර්ශනය එකට පටලවා ගැනීම බෞද්ධ නමක් තිබෙන කාන්තාවකට සුදුසු නැත. සතිය වන්න. ආලෝකය පහල වේවා!
    බුදුසරණයි!

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive