මිල්ටන් මල්ලවආරච්චි නමැති ජනකාන්ත ගායකයා පිළිබඳව හැඳින්වීමක් කරන්නට යාම අනවශ්‍ය කටයුත්තකි. ශ්‍රී ලංකාවේ බිහි වූ ‘ආදරණීය’ ගායකයන් අතර ඔහු සිටින්නේ මුල් පෙළේය. අදටත් ඔහුගේ ගීත විවිධාකාර රසික ජනයාගේ පිළිගැනීමට ලක්ව ඇත්තේ මිල්ටන්ගේ ප්‍රේමණීය හඩින් ගැයුණු එම ගීතාවලිය රසික හදවතටම කාවදින බැවිනි.
නොම්මර එකේ සමසමාජකාරයෙකු හැටියට
පිළිගැනුණු මිල්ටන් කිසි දිනක දේශපාලකයන් වෙනුවෙන් ගී නොගැයූ අතර ඔවුන්ගෙන් කිසිවක් ලබා ගත්තේද නැත. වරක් ඔහු රෝගාතුරව සිටියදී ඔහු බලන්නට රෝහලට ආ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා “මිල්ටන් මොනවද මගෙන් කෙරෙන්න ඕනෑ” කියා විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ පැමිණීම ගැන තුති පුදන බවත්, තමාට කිසිවක් අනවශ්‍ය බවත්ය.
වර්තමානයේ බොහෝ කලාකරුවන් / කලාකාරියන් රාජ්‍ය නායකයාගෙන් ඉල්ලන දේ ගැන දැන ගන්නට අවශ්‍ය නම් පෝයදාට අරලියගහ මැදුරේ සිට විකාශය කෙරෙන ධර්ම දේශනාව අසන්නට ඔබ යා යුතුය. එය අවසානයේ ජනපතිගෙන් කලාකරුවන් ඉල්ලන දේ ගැන ඔබට දැකිය / ඇසිය හැකිය.
ලංකාවේ අවසන් තැටියට ගී ගැයූ ගායකයා වන මිල්ටන් මුල්ම කැසට්පටයට ගී ගැයූ ගායකයා ලෙසද වාර්තා තැබිය. ජෝති හැරුණු විට එම යුගයේ චිත්‍රපට පසුබිම් ගායනයෙන් කැපීපෙනුණු මිල්ටන් හොඳම ගායනය උදෙසා සම්මානද දිනාගත්තේය. දුකින් ඉපදී දුක දිනා ජීවිතය ජයගත් මේ අසාමාන්‍ය මිනිසා ප්‍රතිපත්තිගරුක ගායකයෙක් ලෙස ජීවත් විය. සෘජුව කතා කළේය, ක්‍රියා කළේය. බොහෝ ඊනියා ප්‍රබුද්ධයන්ට මෙන් සැඟවුණු ‘න්‍යායපත්‍ර’ ඔහුට තිබුණේ නැත. අප්‍රමාණ ජනාදරය ලබමින් මියයන තුරුම ඔහු එකම ස්ථාවරයේ සිටියේය.
වසර පහළොවකට පෙර මිල්ටන් මියගිය විට ඔහු ජීවත් වූ නුගේගොඩ උඩහමුල්‍ලේ ‘ජය පාර’ නැවත ‘මිල්ටන් මල්ලවආරච්චි මාවත’ ලෙස නම් කරන්නැයි මම වගකිවයුතු බලධාරීන්ගෙන් පුවත්පත් මගින් ඉල්ලා සිටියෙමි. මේ වන තුරු කීප වතාවක් එම ඉල්ලීම කර ඇතත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණේය. මෑතදී මරදාන මංසන්ධියේ මිල්ටන්ගේ පිළිරුවක්
ඉදිකරන සැලසුමක් ගැන අසන්නට ලැබුණත් යම් යම් විරෝධතා මත එය යටපත් විය. එය කෙසේ වෙතත් උඩහමුල්‍ලේ ජයපාර මේ ජයග්‍රාහක ගායකයාගේ නමින් හඳුන්වන්නට කිසිදු බැරිකමක් දේශපාලන අධිකාරියට තිබිය නොහැකිය. ඔහු මිය යන තුරුම දේශපාලන අධිකාරිය ඉදිරියේ කොන්ද නොනැමීම ඊට නුසුදුසුකමක් ලෙස බලවතුන් සලකන්නේදැයි නොදනිමි.
මිතුරු මාධවේදී අර්නස්ට් වඩුගේ හමුවන්නට මෑතදී මහරගම ඔහුගේ නිවසට ගියෙමි. ඔහු ජීවත් වන්නේ, මහරගම ‘සහේලි ගමගේ මාවතේය. සහේලි ගමගේ යනු කවුරුන්ද ? ‘ආයුබෝ වේවා මහ රජාණෙනි’ යනුවෙන් වත්මන් ජනපතිට ප්‍රශස්ති ගීතයක් ගැයූ ගායිකාවය. මහරගම දේශපාලන බල අධිකාරිය ඇගේ නමින් මාවතක් නම් කරන්නේ ඒ ගීතයේ අනුහසිනි. දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පොදු රසික ජනතාවගේ හදවත් සුවපත් කරන්නට ගී ගැයූ ආදරණීය මිල්ටන් නමින් පාරක් නම් කරන්නට බැරි රටේ එක් ප්‍රශස්ති ගීතයක් ඇතුළුව කවුරුත් නොදන්නා තවත් සීමිත ගීත කීපයක් ගැයූ ගායිකාවක නමින් ජීවතුන් අතර සිටියදීම පාරක් නම් වී තිබේ. කියන්නේ කාටද ? අසන්නේ සොවින් කවුරුන්ද ? මිල්ටන් කෙරෙහි උපන් යුතුව සහේලි ගමගේ මාවතේ නාම පුවරුව දෙස බලා සිටියදී මගේ මනසේ ඔහුගේ ගී හඬ රැව්දුන්නේය.
“මගේ පාළු ලෝකයේ තනි වූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරාගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා ...”
ආනන්ද පද්මසිරි
“මගේ පාළු ලෝකයේ තනි වූ මෙමා
ReplyDeleteසක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරාගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා ...”