රටක් හැටියට සංවර්ධනය වෙනවාට වඩා මං හිතන්නේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය සංවර්ධනය කිරීමයි මූලිකම දේ. අපි ශ්‍රී ලාංකිකයි කියනවා. අපි සිංහල කියනවා, ජාතිය පිළිබඳ මහා ඉහළින් උදම් අනනවා. නමුත් ආධ්‍යාත්මයේ සහ ක්‍රියාත්මක වීම තුළ ඒ ආකල්පය එහෙමම තියෙනවාද කියන ගැටලුව තියෙනවා. මං ජනාධිපති වුණොත් යම් දවසක මේ රටේ මිනිසුන්ගේ භෞතික සංවර්ධනයට සාපේක්ෂව මිනිසුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට ප්‍රමුඛත්වයක් දෙනවා.
ඇමැති මණ්ඩලයම වෙනස් කරනවා
දෙවනුව ඇමැති මණ්ඩලය හැකිතාක් සීමා කරනවා. හේතුව රටේ ජනගහනයට සාපේක්ෂව ගත්තොත්
රටේ ජනගහනයට වඩා වැඩි ජනගහනයක් ඉන්නවා ඇමැති මණ්ඩලේ. ඉතාම දියුණු සංවර්ධනය වූ රටවල පවා පාලනයට සහභාගි වෙන්නේ ඉතාම සීමිත පිරිසක්. ඒ අනුව ගත්තත් ලෝකයේ ලොකුම ඇමැති මණ්ඩලය ඉන්නේ මේ රටේ. මම ආවොත් ඒ ඒ විෂය කරුණුවලට සුදුසුම අය තෝරලා පත්වීම් දෙනවා. ඉන්න අය ඔක්කොම ගෙදර යවනවා. මං හිතන්නේ යම් කාර්යයක් සඳහා සුදුසුම කෙනා පත් කළා නම් එක කාරණයට ඇමැතිවරු සීයක් විතර පත් කරන්න ඕන නැති වෙයි. ගසා කෑම නවත්වනවා
ඊළඟට කුට්ටි පිටින් ගන්න කමිෂන් නවත්වනවා. උදාහරණයක් ගත්තොත් පාරක් හදද්දි බජට් එක කෝටියයි. ඒ කෝටියෙන් පාර හදන්න මුළු පාරටම යන්නේ ලක්ෂ තිහයි. ඉතුරු සීයට හැත්තෑවම යන්නේ ඒ ඒ පුටුවල ඉන්න මිනිසුන්ගේ සාක්කුවලට. මේ සිද්ධ වෙන අල්ලස නැති කළොත් ඒ මුදලින් මුළු රටේම ජනතාවට සැපවත් ජීවිතයක් ඇති කරලා දෙන්න පුළුවන්. ඒ නිසා මම නම් මේ රටේ ජනාධිපති, සුළු පරිමාණයෙන් නෙවෙයි මහා පරිමාණයෙන් අල්ලස නවත්තන එක නවත්තනවාමයි.
ගෑනු ගෑනුකම පරිස්සම් කරගන්න ඕන
අනිත් එක තමයි ගෑනුන්ගේ ගෑනුකම මතක ඇතිව තියාගන්න ඕන. දැන් ගෑනුන්ට ගෑනුකම අමතක වෙලා තියෙන්නේ. ගැහැනිය කියන්නේ කවුද, පිරිමියා කියන්නේ කවුද, ගැහැනියගේ වගකීම මොකක්ද? වගකීම කියන්නේ රස්සාවට ගිහින් හම්බ කරලා සුඛෝපභෝගී ජිවිතයක් ගත කිරීම, පවුල කඩාගෙන යෑම හෝ දරුවන් අත්හැර දාලා තමන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීම නෙවෙයි. ගැහැනිය හරහා තමයි සමස්ත සමාජයම ගොඩනැඟෙන්නේ.
ජනතාවට ෆන් එකේ ඉන්න පුළුවන්
මගේ පාලන කාලය තුළ හැම මනුස්සයකුටම බොහොම ෆන් එකේ ඉන්න පුළුවන්. මොකද මම ඒ ගොල්ලො වෙහෙසෙන වෙහෙසීමට සාධාරණ වැටුපක් ලබා දෙනවා. හැම මනුස්සයකුගේම ශ්‍රමයට සරිලන වැටුපක්. ඒ වගේම සුඛෝපභෝගී භාණ්ඩවල මිල වැඩි කරලා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දානවා. එතකොට මේ රටේ මුළු මහත් ජනතාවටම ෆන් එකේ, ජොලියෙන් ඉන්න පුළුවන්.
වැටුප් වැඩි කරන්නේ නෑ
මන් නම් කියන්නේ රජයේ සේවකයාගේ වැටුප වුණත් වැඩි කරන්න අවශ්‍ය නෑ. ඔවුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දානවා නම් රජයේ සේවකයාගේ වැටුප රු. 20,000 වුණත් 10,000ක් වුණත් ගැටලුවක් ඇති වෙන්නේ නෑ. මොකද මම දන්නවා රුපියල් සීයේ පඩියෙන් ජීවත් වුණු මිනිස්සු ඒ කාලේ හිටියා. හොඳට කාලා ඇඳලා ලස්සනට ජීවත් වුණා. ඒ නිසා අත්‍යවශ්‍ය බඩු මිල පහත වැටෙනවා නම් රජයේ සේවකයාගේ වැටුප ඉහළ දාන්න අවශ්‍ය නෑ.
කැසිනෝ, ගණිකා වෘත්තිය බෑ
කැසිනෝ, ගණිකා වෘත්තිය වගේ දේවල්වලට නම් මගෙන් අවසර ලැබෙන්නේ නෑ. මොකද රටක් සංවර්ධනය කරන්න කැසිනෝවලින් පුළුවන් කියලා මං හිතන්නේ නෑ. කැසිනෝ ආවට පස්සේ ඒවා ඇතුළේ විකිණෙන්නේ කවුද? අපේ කොල්ලො කෙල්ලො එතකොට සංස්කෘතියට සදාචාරයට මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම විනාශ වෙන්නේ එතැන. අපේ සංස්කෘතිය සදාචාරය යහපත් ඇවැතුම් පැවතුම් කල් ක්‍රියාවන් විනාශ වුණු තැන රටට ආයෝජනයක් විතරක් වෙලා ප්‍රමාණවත්ද? ඒ නිසා මං ජනාධිපති වුණොත් ඒ වගේ දේවල්වලට නම් ඉඩ ලැබෙන එකක් නෑ.
හැමෝටම කතා කරන්න ඉඩ
කතා කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කරලා තියෙනවා. ඒ නිදහස මිනිස්සු භුක්ති විඳිනවද කියන ගැටලුව මං තුළ තියෙනවා. ඒ නිදහස තියෙනවා නම් මට ඕනෑම දෙයක් බය නැතුව කට ඇරලා කියන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ කිව්වට පස්සේ මගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් ඉන්න ඕන. මේ රටේ මිනිස්සුන්ට නැත්තේ ඒ ආරක්ෂාව. මං ජනාධිපති වුණොත් ඕන කෙනකුට ඕන දෙයක් කතා කරන්න නිදහස දෙනවා.
රංගන වෘත්තියට ප්‍රමිති ගේනවා
ඊළඟට අත තියන්නේ මං නියෝජනය කරන රංගන ක්‍ෂේත්‍රයට. පළමුවැනි දේ තමයි මේ වෘත්තිය තුළ වෘත්තීය මට්ටමක් ඇති කිරීම. මොකද පාර්ලිමේන්තුව වගේ තමයි හිතු හිතූ එකාට මේකටත් එන්න පුළුවන්නේ. මේ ක්‍ෂේත්‍රයේ වෘත්තීය මට්ටමක් ඇති කළා නම් මීට වඩා ගුණාත්මක නිර්මාණ ටිකක් මේ රටේ බිහි කරන්න පුළුවන්.
නිළියනුත් මානසික සායනවලට
ඒ වගේම ඔය අධ්‍යක්ෂවරුන්ගෙන් ගැටලු තියෙනවා කියන නිළියෝ ඉන්නවානේ. ඒ ගැටලු තියෙන අධ්‍යක්ෂවරුන්වයි නිළියන්වයි මාස් පතා මානසික වෛද්‍ය සායනවලට යොමු කරන්න කටයුතු කරනවා. මොකද අධ්‍යක්ෂවරයෙක් අයුතු බලපෑමක් කරන්න එනවා නම් ඒ අධ්‍යක්ෂවරයා මානසික රෝගියෙක්. ඒ අධ්‍යක්ෂවරයා එක්කම අදාළ නිළියත් ගෙන්නනවා. මොකද එතනත් යම් මානසික ආතතියක් තියෙන්න පුළුවන්. ඔවුන් අඳින පලඳින විදියෙන්ම යම් බලහත්කාරකමට ලක්වෙන පසුබිමක් තිබුණද කියලා හොයලා බලන්න එපැයි. ඒ නිසා පිරිමි පාර්ශ්වය වගේම ස්ත්‍රී පාර්ශ්වය ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා.
හෑන්ඩ් බෑග් එකේ ඉඳලම වෙනස් වෙනවා
මෙහෙම දෙයක් තියෙනවා. මේ රටේ නෙවෙයි ඇමෙරිකාවේ ජනාධිපති වුණත් මගේ ක්‍රමය වෙනස් වෙන්නේ නෑ. මගේ අතේ තියෙන්නේ රුපියල් සීයක් නම් මං ජීවත් වෙන්නේ ඒ ගාණට. ඒ වගේම මම රටේ සංවර්ධනයට තියෙන පොදු මුදලෙන් සුඛෝපභෝගී ජිවිතයක් ගත කරනවා නම් ඒක ගැටලුවක්. නමුත් මං මගේ වැටුප තුළ නම් ඒ සුඛෝපභෝගී ජීවිතය ගත කරන්නේ ඒක කවුරුවත් ගැටලුවක් කරගන්න ඕන නෑනේ.
මගේ ආරක්ෂාව මමම බලාගන්නවා
ඇයි ඒ... ආරක්ෂා වෙන්න මොකක්ද තියෙන බය. සමස්ත රටේ යහපත් පැවැත්මක් තියෙනවා නම් මං හිතන්නේ නෑ ආරක්ෂාවට කෝටියක් විතර මිනිස්සු ඕන වෙයි කියලා. මගේ ආරක්ෂාව මටම බලාගන්න පුළුවන්. දැන් මේ ඉන්නවා වගේ.
මගේ අගමැති වෙන්නෙ
ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා ජීවතුන් අතර හිටිය කාලේ මං ජනාධිපති වුණා නම් ආයේ කතා දෙකක් නෑ ඔහු තමයි මගේ අගමැති. හේතුව ඔහු හරි අපූරු දේශපාලනඥයෙක්.
විපක්ෂ නායක වෙන්නේ
බොහොම ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයිනේ. ඕනම රටක ඉතාම ප්‍රබල විපක්ෂයක් ඉන්නවා. මං ඔය කියන තනතුරට එනවා නම් බැසිල් රාජපක්ෂ මහත්තයා මගේ විපක්ෂ නායක වෙනවා නම් නියමයි. හොඳට හැප්පිලා කරට කර ඉඳන් මේ වැඩේ කරන්න පුළුවන් වෙයි.
සුභාෂිණී ගුණරත්න
0 comments:
Post a Comment