facebook like

මහින්දගේ දෛවය සරත් වෙනස් කරයිද? ---- උපුල් ජෝශප් ප්‍රනාන්දු

"හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ 2006දී කියලා තීන්දුවක් දුන්නා නම් මොකක්ද වෙන්න තිබුණෙ...?"
මේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හිටපු ලොක්කෙක්ගෙන් මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නයකි.
"එහෙනම් මහින්ද ඉවරයි..."


ලොක්කා කීවේ ටිකක් සද්දෙන්ය.
"මේ වෙනකොට මහින්දයි චන්ද්‍රිකායි අතර පුපුරලා යන තරමේ ගැටුමක් ඇති වෙලා තිබුණා. චන්ද්‍රිකාට අවුරුද්දක කාලයක් ලැබුණා නම් එයා මහින්දව අගමැතිකමින් අයින් කරන එක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. එහෙම වුණා නම් මහින්ද එක්කෝ පසුපෙළ මන්ත්‍රි කෙනෙක්. නැත්නම් නතර වෙන්නේ විපක්‍ෂයට ගිහින්..."
මේ ලොක්කා කී කතාවය.


"සමහර විට චන්ද්‍රිකා රනිල් අතර ජාතික ආණ්ඩුවක් ඇති වෙන්නත් ඉඩ තිබුණා. ඒකට ලොකු ජාත්‍යන්තර බලපෑමක් ආවා. එතකොට රනිල් අගමැති. ඊළඟට රනිල්ට ජනාධිපතිකම. චන්ද්‍රිකාට නොබෙල් සාම තෑග්ග. ඒ වගේ ගනුදෙනුවක් තිබුණා..."
ඔහු කවුරුත් නොදත් රහසක් කීවේය.
"එතකොට මේ ඉතිහාසය වෙනස් කළේ සරත් සිල්වාද...?"
මාධ්‍යවේදියා ඇසුවේය.


"ඔව්. එයා මහින්දගේ චන්ද්‍රිකාගේ රනිල්ගේ මේ හැමෝගේම දෛවය වෙනස් කළා. උසාවි තීන්දුවකින් ඔක්කොම වෙනස් කළා. මෙයාම තමයි මේ හැමෝගේම දෛවය වෙනස් කරන්න ආපහු උසාවි යන්න හදන්නේ..."
ඔහු කියා ගෙන යයි.
කතාව ඇත්තය. සරත් සිල්වා කියන්නේ මහින්දගේ පරණ මිත්‍රයෙකි. මහින්දගේ දෛවය වෙනස් කරපු අවස්ථා තුනකම සරත් සිල්වා තීරක චරිතය විය. මහින්ද ශිරන්ති රාජපක්‍ෂ විවාහ කරගන්න විවාහ යෝජනාව ඉදිරිපත් කරන්න ශිරන්තිගේ නිවෙසට යන්නේ සරත් සිල්වා එක්කය. මේ කුරහන් සාටකයේ කතාව ඒ ගැන කියන කතාවය.


"ටෙනිස් පිටියේ සිටි ශිරන්ති වික්‍රමසිංහ මේ කිසිවක් දැන සිටියේ නැත. ඇය සුපුරුදු පරිදි සැන්දෑ හිරු රැස් අතර සෙල්ලමේ යෙදී සිටියාය.
තවත් ස්වල්ප වේලාවක් නැවතී පිටිය දෙස බලා සිටි මහින්ද කාරයට නැඟුණේ තම හිතවතකු වූ මහාධිකරණ විනිසුරු සරත් සිල්වා හමුවීමට යෑමටය. ඔහු වත්මන් අග්‍රවිනිශ්චයකාරවරයාය.
"අද නම් මම ගෑනු ළමයව දැක ගත්තා. ළඟට ගිහින් බලන්න ඇහැකි නම් තවත් හොඳයි".
මහින්ද සරත් සිල්වාට කීවේය.


සරත් සිල්වාගේ අදහස වූයේ පසුදාම ගෑනු ළමයාගේ ගෙදරට ගොස් ඇයව හමුවිය යුතු බවය.
ශිරන්ති වික්‍රමසිංහගේ තාත්තා නාවික හමුදාවේ කොමදෝරුවරයෙකි. කොමදෝරුවරයාගේ නිවෙසේ දුරකතන අංකය සොයා ගත් මහින්ද පසුදා හැන්දෑවේ තමා එන බව කියා දුරකතන ඇමතුමක් දුන්නේය. පසුදාම මහාධිකරණ විනිසුරු සරත් සිල්වාත් කැඳවාගෙන දෙහිවල පිහිටි නිවෙසට ගියේය".
ඊළඟට මහින්දගේ දෛවයේ තීරණාත්මක අවස්ථා තුනකදී සරත් සිල්වා මහින්දට උදවු කළ බව 2010 ෆෝන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ රැස්වීමකදී සරත් සිල්වාම පවසා තිබුණි. එක් අවස්ථාවක් නම් මහින්ද අත්අඩංගුවට පත් වූ අවස්ථාවක් බවත්, අනෙක් අවස්ථාව කලවාන ඡන්ද පෙත්සමේදී මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි වීමට ගිය අවස්ථාව බවත් සරත් සිල්වා පවසා තිබුණි. තුන් වැනි අවස්ථාව එ.ජා.ප.ය මහින්දට එරෙහිව ගොනු කළ හෙල්පින් හම්බන්තොට නඩුව බව ඔහු මතක් කර තිබුණි. ඔහු මේ සියලු අවස්ථා මතක් කරමින් කීවේ තමා නොවන්න මහින්ද අද සිටින්නේ රජ ගෙදර නොව හිරේ යැයි කියාය.


එහෙම බලනකොට මහින්දගේ දේශපාලන ජීවිතයේ පමණක් නොව පෞද්ගලික ජීවිතයේද සරත් සිල්වාගේ හෙවණැල්ල අකා මකා දමන්න බැරිය. මහින්දගේ දෛවයේ ඊළඟ තීරණාත්මක අවස්ථාව ඉදිරියේදී පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයය. එම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ලෙස මහින්ද 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ නැත්නම් මහින්ද 2016 වන විට ගෙදර යා යුතුමය. ඒත් මහින්ද 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔහුගේ දෛවය වෙනස් කර ගත්තේය. තුන් වැනි වරටත් ජනාධිපතිවරණයට තරග කළ හැකි සේ ව්‍යවස්ථාව වෙනස් කර ගත්තේය. සරත් සිල්වා එම ව්‍යවස්ථා සංශෝධනයට අභියෝග කරමින් වෙනස් කරන්න හදන්නේ මහින්දගේ දෛවයය.


"සරත් සිල්වාගේ අභියෝගය මහින්දගේ තිර රචනයක්ද...?"
සමහරු එහෙම හිතති. එහෙම හිතන එකේ වරදක් නැත. සරත් සිල්වා 2003දී චන්ද්‍රිකා රහසින් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් කතාව හෙළි කරනකොට බලයේ තිබුණේ රනිල්ගේ ආණ්ඩුවය. ඔක්කොම හිතුවේ සරත් සිල්වා චන්ද්‍රිකාගේ අවාසියට රනිල්ට වාසියට ඒ රහස හෙළි කළාය කියලාය. ඒත් සරත් සිල්වා මෙය හෙළි කළේ චන්ද්‍රිකාගේ වාසියට ඇයගේ ජනාධිපති කාලය දික් කරන්න බව පසුව හැමෝටම අවබෝධ විය. සරත් සිල්වා ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ 2005ද, 2006ද යන නඩුව අහනකොට හැමෝම හිතුවේ සරත් සිල්වා 2005ට ජනාධිපතිවරණය තීන්දු කරන්නේ රනිල්ගේ වාසියට කියාය. ඒත් සරත් සිල්වා ඒ තීන්දුව දුන්නේ මහින්දගේ වාසියට බව හැමෝම තේරුම් ගත්තේ මහින්ද ජනාධිපති වූ පසුවය.


මේ වගේ සරත් සිල්වා මේ අභියෝගය ගෙන එන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන පටලැවිල්ල ලිහා මහින්දට හදිසි ජනාධිපතිවරණයකට යන්න පුළුවන් වන විදියට තීන්දුවක් අරන් දෙන්න යැයි තර්ක කරන අය සිටී. ඔවුන් කියන්නේ 43 වැනි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේදී සරත් සිල්වා හැසිරුණ ආකාරයට මහින්ද සහ සරත් සිල්වා අතර රහස් ගනුදෙනුවක් තිබිය හැකි බවය. දෝෂාභියෝගය වන තෙක් මහින්දව ගෙදර යවන සටනේ සිටි සරත් සිල්වා දෝෂාභියෝගයේදී මහින්දට සහාය පළ කළේය.


හැබැයි දෝෂාභියෝගයට පසු ඔහු මහින්දට යළි එරෙහි වූයේ හිටපු විනිසුරුවරුන් අතරින් අයකු අගවිනිසුරු ධුරයට පත් කරන බවට ඔහුට මහින්ද දී තිබූ පොරොන්දුව කඩ කළ නිසාය.
සරත් සිල්වා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අභියෝග කරන්න ඉදිරිපත් කරන තර්කය දෙස

බලන විට මෙය මහින්දගේ තිර රචනයක් යැයි කිව නොහැකිය. ඔහු කියන්නේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන පරිදි පනවා නැති බවත්, ඒ අනුව සංශෝධනයට පෙර ජනාධිපති ධුරයේ දෙවරක් දිවුරුම් දුන් මහින්දට මෙය අදාළ නොවන බවත්ය. මේ සංශෝධනයට පසු ජනාධිපති ධුරයට පත් වන අයෙක්ට මෙය අදාළ යැයි ඔහු තර්ක කරයි.


ඔහු ඉදිරිපත් කරන මේ තර්කයට අදාළ ප්‍රශ්නයකට ජේ.ආර්. ගේ ආණ්ඩුවටද මුහුණදීමට සිදු විය. ඒ 1978 විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම් සභා පනතය. ජේ.ආර්. මේ කොමිසම් සභා පනත ගෙන ආවේ බණ්ඩාරනායක මැතිනිය 1970 - 77 යුගයේ අගමැතිව සිටියදී කළ අයථා ගනුදෙනු විභාග කොට ඇයට දඬුවම් දීමටය. ඒ අනුව කොමිසම ඉදිරියට පැමිණෙන ලෙස ඇයට නොතීසි යවන විට ඇය අභියාචනාධිකරණයට ගියාය. ඇය කොමිසමට එරෙහිව තහනම් නියෝගයක් ඉල්ලා සිටියාය. අභියාචනාධිකරණය ඇයගේ ඉල්ලීමට පදනම් වූ එක් කාරණයක් මත තහනම් නියෝගය පැනවීය. එනම් 1978 පෙබරවාරි 10 වැනි දිනට පෙර යුගයට අදාළ කරුණු පරීක්‍ෂා කිරීමට පාර්ලිමේන්තුව විසින් ජනාධිපති කොමිසමට බලය පවරා නැත යන්න මත පදනම්වය.


මෙයින් ජේ.ආර්.ගේ ආණ්ඩුව හතර ගාතෙන් වැටුණි. ජේ.ආර්.ගේ ආණ්ඩුවට එසේ වූයේ පනත කඩිමුඩියේ ඉදිරිපත් කළ නිසාය. ලැජ්ජාව වහ ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට පනත සම්බන්ධව දුන් තීන්දුව අවලංගු කරන්න ජේ.ආර්. වහා පියවර ගත්තේය. එය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය විය. පහත දැක්වෙන්නේ ජේ.ආර්. චරිතාපදානය ඒ ගැන කියන කතාවය.
"එය පිළිගත් එකම කාරණය වූයේ 1978 පෙබරවාරි 10 වැනි දිනට පෙර යුගයට අදාළ කරුණු පරීක්‍ෂණයට භාජන කිරීමට පාර්ලිමේන්තුව විසින් ජනාධිපති පරීක්‍ෂණ කොමිසමට බලය පවරා නැත යන්නය. මෙය විළිබර අඩුපාඩුවක් වූයේය. එහෙත් මූලික වශයෙන් එය තාක්‍ෂණික පසුබෑමක් පමණක් විය.


තමන් අපහසුතාවට පත්කළ මේ පසුබෑමට ප්‍රතිචාර වශයෙන් රජය කළේ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත්කිරීමේ සිය අභිප්‍රාය වූයේ අතීතයේ සිදු වූ දුෂ්කෘත්‍යයන් ගැන සොයා බැලීම බව මුලින්ම පවසා ඇති බව කියා පෑමය. ජේ.ආර්.ගේ නායකත්වය යටතේ අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගනිමින් කොමිසම ඉදිරියට ගෙනෙන ලද හා කටයුතු අරඹන ලද සිද්ධීන් බාධාවකින් තොරව පරීක්‍ෂා කිරීමට ඊට හැකි වන පරිදි නීති සම්පාදනයට තීරණය කළේය. 1978 නොවැම්බර් 20 වැනි දින අගමැති ප්‍රේමදාස පනත් දෙකක් ඉදිරිපත් කළේය. එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහාය. අනෙක විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා (විශේෂ විධි විධාන) පනතය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තියෙහි රීට් ආඥා නිකුත් කිරීම සඳහා අභියාචනාධිකරණයට ලැබී තිබුණු බලතල සංශෝධනය කළ යුතු වූයේය. මෙහිදී රජයේ අදහස වූයේ ශේ්‍රෂ්ඨාධිකරණය මිස ඊට පහළ උසාවියක් වූ අභියාචනාධිකරණය ඇතැම් කාරණාවලදී මේ බලතල දැරිය යුතු නැති බවය. එහෙත් එකී බලතල විශේෂ ජනාධිපති කොමිෂන් සභාවලටද අයත් විය යුතු වූයේ එහි සභාපතීත්වය දරන ලද්දේ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් විසින් වූ බැවිනි. රජය තර්ක කළේ ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගැන නඩුවක් ඇසීමට අභියාචනාධිකරණය වැනි පහළ උසාවියකට බලතල තිබීම නුසුදුසු බවය."


අද සරත් සිල්වා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේත් මේ තාක්‍ෂණික අඩුපාඩුවමය.
"එදා මැතිනියගේ තර්කය පිළිගත්තා සේ අද සරත් සිල්වාගේ තර්කය අධිකරණය පිළිගනියිද...?"
"පිළිගතහොත් එදා ජේ. ආර්. ගේ ආණ්ඩුව ගෙනාවා වගේ ව්‍යවස්ථා සංශෝධනයක් මහින්ද ගෙනෙයිද...?"
"ඒ ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකක බලයක් ගන්න මහින්දට පුළුවන් වෙයිද...?"
මේ ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු මත මහින්දගේ දෛවය වෙනස් කරන්න සරත් සිල්වාට පුළුවන්ද නැද්ද යන්න තීරණය වනු ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive