facebook like

නග්න දේශපාලනය දණ ගැස්‌වූ නඩු තීන්දුව................දේශපාලන පොන්නයෙක් නීතියෙන් දණ ගැස්වීම

පසුගිය සමයේ රටේ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූ ආකර්ෂණයට ලක්‌වූ බෙහෙවින් ජනප්‍රිය කාන්තා චරිතය කවුදැයි කිසිවකුත් ඇසුවොත්, අපට කීමට සිදුවන්නේ, නිළියකගේ දේශපාලිකාවකගේ හෝ නිවේදිකාවකගේ හෝ තවත් එවැන්නියකගේ නමක්‌ නම් නොවේ. ඇය "මල්මඩුගම සුසිලා" කියාය.

මල්මඩුගම සුසිලා යෑයි කී විට ඔබ අපහසුතාවට පත්වන්නේ නම් අපි මෙසේ කියමු. නවගත්තේගම නවෝද්‍යා විදුහලේ රත්වූ ගිනියම්
වැලිපොළවේ දේශපාලකයකු විසින් දණ ගස්‌වනු ලැබූ එම විදුහලේම ගුරුවරියකවූ නවගත්තේගම මල්මඩුගමේ පදිංචි සුසිලා ප්‍රියානි හේරත් නමින් කී විට මුළු රටට මොහොතින් ඇයව හඳුනා ගන්නේය. ඇය ඒ තරමටම ජනප්‍රියය. සැබැවින්ම, ඇයව ජනප්‍රිය කළේ, මෙරට ඇති අශික්‍ෂිත දේශපාලන රටාවයි. එසේත් නැතිනම්, ඒ දේශපාලන සංස්‌කෘතියට එරෙහිව සියලු පීඩා විඳිමින් නැගී සිටිමින් ඇය සිදුකළ නිර්භීත ක්‍රියාවයි. සටනයි.

පසුගිය වසරේ (2013) ජුනි මස 14 වැනි දින නවගත්තේගම විදුහලේදී ඇය මෙකී සිද්ධියට මුහුණ පෑවාය. පාසල් දැරියන්ගේ විනය පාලිකාවක්‌ වූ ඇය ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ දියණියකගේ ගවුම කොට වූ නිසා අවවාද දීමෙන් මෙම අර්බුදය හටගෙන තිබිණි. එම දැරිය පාසල් ඇරී නිවසට ගොස්‌ මවට මේ ගැන කීවාය. මව ඒ මොහොතේ නිවසට පැමිණි සැමියා වන දේශපාලකයාට සිද්ධිය උණුසුමට පැවැසුවාය. උරණ වූ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පාසලට පැමිණියේ දණ්‌ඩෙන් පහර කෑ ආශිර්විෂයකු පරිද්දෙන්ය. දැඩිලෙස ආක්‍රොශ පරිභව කළ ඔහු ඉනිදු නොනැවතී ඇය පැය ගණනාවක්‌ම වැලි මිදුලේ දණ ගස්‌වා තම මෝඩ චණ්‌ඩිකම ප්‍රදර්ශනය කළේය. ඇය මහ පොළව බදාගෙන අසරණව හඬා වැළපුණාය. මේ සංක්‍ෂිප්ත සිද්ධියයි.

මේ සිද්ධිය නවගත්තේගම පොලිසියටද, ජනමාධ්‍යයන් වෙතද, රටේ ජනතාව වෙතද පැතිරුණේ ටොනාඩෝ සුළි සුළඟක්‌ හමා යන ආකාරයෙනි. රටම සිද්ධියෙන් කැළඹුණේය. දේශපාලන ඉහළ පුටු රත්විණි. පාලක රජයද අසීරුවට පත්වුණේ මන්ත්‍රීවරයා එම පක්‍ෂයේ ප්‍රබල තරුණ නායකයකු වූ නිසාය.

කෙසේ වුවද, මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනිණි. රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. සාක්‍ෂිකරුවනට හා පැමිණිලිකරුවනට මරණීය තර්ජන හා බලපෑම් එල්ල කිරීම නිසා ඔහු යළිත් වරක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. පසුව ඔහු ඇප ලබා පැමිණියද නඩුව දිගටම පැවැතුනි. ඒ අතරවාරයේ ඔහු ශ්‍රීලනි පක්‍ෂයෙන් නෙරපන ලදී. වයඹ පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීම ප්‍රතික්‍ෂේප කරන ලදී. සමස්‌ත ලෝකයම වන්දනාමාන කරන ශීර්ෂ ප්‍රණාමය කරන ගුරු පරපුරේ පුරුකක්‌ වූ ගුරුතුමියක්‌ පොළවේ දණ ගැස්‌සවූ පාපයෙන්, ශාපයෙන් ඔහුද කායික, මානසික පීඩාවන්, හේඩාවන් වින්දේය. ගම් මට්‌ටමේ නැගීගෙන එමින් සිටි මේ තරුණ දේපාලකයාගේ, දේශපාලන ගමන් මඟ සුණු විසුණු කිරීමට වෙනත් දේශපාලන කුමන්ත්‍රණද දියත් කෙරිණි.

සුසිලා ගුරුතුමියටද පාසලේ ඉඳීමට අපහසු විය. ඇයගේම නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇයට එරෙහි වෙමින් ඇය පාවාදෙමින්, දේශපාලකයා වෙනුවෙන් නඩු විභාගයේදී අසත්‍ය කරුණු කියා පෑවේය. ඇයට දරුවන්ට ඉගැන්වීමට ඕනෑ වූවාට පාසල "අරහං" විය. ඇය සිය ස්‌වාමියා වූ ගුරුවරයාද, දරුවාද රැගෙන ගල්ගමුව යූ. බී. වන්නිනායක ජාතික පාසලට ස්‌ථාන මාරුවක්‌ සාදා ගත්තාය.

ඒ අතරතුරේ නඩුව විභාග විය. දෙපාර්ශ්වයෙන්ම සාක්‍ෂි විමසන ලදී. අපරාධ නඩු විධිවිධාන පනතේ 486 වගන්තිය යටතේ වූ සාපරාධී බිය ගැන්වීම, 483 වගන්තිය යටතේ අඩන්තේට්‌ටම් හා හිංසනය සිදුකිරීම යන චෝදනා යටතේ පැමිණිලිකරුවන් වෙනුවෙන් ප්‍රියන්ත ගමගේ හා නීතිපති වෙනුවෙන් රජයෙන් ගිහාන් රත්නායක, පද්මල් විශ්ව නීතිඥවරුන්ද විත්තිකරුවන් වෙනුවෙන් නද්මි නවාවි, අනිල් සිල්වා, රසික තිවංක ඒකරත්න යන නීතිඥවරුන්ද පෙනී සිටින ලදී. මාස එකොළහක්‌ තිස්‌සේ නඩුව ඇසිණි.

සත්‍ය වශයෙන්ම කාගේත් දැඩි අවධානය මේ නඩුව කෙරෙහි යොමුවී පැවැතුණි. එකක්‌ නම්, මෙම ක්‍රියාවෙහි ඇති සදාචාරාත්මක නොවන දුරාචාරාත්මක ස්‌වභාවයයි. දෙවැන්නá දේශපාලකයකු විසින් ගුරුවරියකට සිදුකරනු ලැබූ හිංසනයයි. තෙවැන්නá ජනමාධ්‍ය මගින් සිද්ධියට ලබාදී තිබූ ඉහළ ප්‍රසිද්ධියයි. සිවුවැන්න නම්á වඩාත් තියුණු ය. එය ජනතාවගේ හදවතින් බුර බුරා නැඟ එන්නක්‌ විය. එනම් දින, දින රටේ උස්‌වෙමින්, නැඟඑමින් පවත්නා දේශපාලන ප්‍රචණ්‌ඩත්වය, සැහැසිකම, අවනීතිය අයුක්‌තිය අසාධාරණයට හා ජඩ දේශපාලුවන්ට මේ නඩුවෙන් වත් යම් සංඥවක්‌ ලැබී රටේ දේශපාලන ගමන් මඟේ නිවැරදි වෙනසක්‌ සිදුවේ දැයි තිබූ ජනතා කුතුහලයය. ගුරුවරු, සිසුහු පූජ්‍ය පක්‍ෂයේ ඇත්තෝ, ගොවියෝ, කම්කරුවෝ, රාජ්‍ය නිලධාරීහු, දේශපාලකයෝ මෙන්ම රටේ කවුරුත් අධිකරණයේ දිග හැරුණු මේ සටනේ අවසන් ප්‍රතිඵලය දෙස දැස්‌ දල්වා බලා සිටියහ.

යුක්‌තිගරුක, සාධාරණ පුරවැසියන්ගේ සිතිවිලි මල් පුබුදමින් ඒ ඓතිහාසික නඩු තීන්දුව පසුගිය 12 දා පුත්තලම මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී මහෙස්‌ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් ප්‍රකාශ කළේය. 483, 486 වගන්ති යටතේ විත්තිකාර හිටපු මන්ත්‍රීවරයා වරදකරු කරමින් වසර හතක සිර දඬුවම් වසර දෙකක බරපතළ වැඩ ඇතිව අත්හිටුවූ සිරදඬුවම් බවටද, ගුරුවරියට රුපියල් ලක්‍ෂ තුනක වන්දි මුදලක්‌, හා දඩ වශයෙන් තවත් රුපියල් පනස්‌ දහසක්‌ ගෙවීමටද මන්ත්‍රීවරයාට නියෝග කරන ලදී. පනස්‌ දහස නොගෙවන්නේ නම් වසර එකහමාරක සිර දඬුවම්ද නියම කරන ලදී.

මේ නඩු තීන්දුවෙන් පසු සුසිලා ගුරුතුමිය පැවැසුවේ, තමාව එදා දේශපාලකයා දණ ගැසූවූවද, යුක්‌තිය, සාධාරණත්වය හා නීතිය දණ ගැස්‌වීමට නම් නොහැකි වූ බවයි. තමාට ලැබුණු වන්දි මුදල් නවගත්තේගම ප්‍රදේශයේ අසරණ දූ දරුවනගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කිරීමට අරමුදලක්‌ වශයෙන් පවත්වාගෙන යන බවද කීවාය.

මේ සියලු ජයග්‍රහණයන් පසුපස ශ්‍රී ලංකාවේ ගුරු සංහතිය සමඟ පෙළ ගැසුණු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්‌ටාලින් පැවැසුවේ, මෙය සමස්‌ත ගුරු ප්‍රජාවේම ජයග්‍රහණයක්‌ බවයි.

රටේ නීතිය පිළිබඳ යම් තරමකට කතා කෙරෙද්දී මෙය අධිකරණයෙන් ජනතාවට ලැබුණු සුවිශේෂී ත්‍යාගයක්‌ බව නම් නොකියාම බැරිය. වල් වදින්නට මිය යන්නට හදන නීතිය, යුක්‌තිය, සාධාරණය යළි හිස එසවීමට මේ තීන්දුව යළි ජීවප්‍රාණය ලබාදී තිබේ. එසේම රටටම කරදරයක්‌, වධයක්‌ වූ දේශපාලකයන්ට මින් තර්ජාංගුලිය එල්ල වී තිබේ. ඉන් ඔවුන් පාඩමක්‌ ඉගෙන ගනීවිද යන්නද සැක සහිතය. මන්ද, එවැනි අවස්‌ථාවන් මීට පෙරද ඕනෑවටත් වඩා සිදුවී ඇති හෙයිනි.

හෙට - අනිද්දා වන විට මේ දේශපාලක තෙමේම අධ්‍යාපන අධීක්‍ෂක ධුරයක්‌ ලබා අඳුරු වාහනයකින් සුසිලාගේ පාසලට ඒමටද බැරි නැත. ඒ අපේ රටේ දේශපාලනයේ හැටිය. ගුරුවරුන් හැමදාම දේශපාලකයන්ගේ අතපල්ලේය. දණ නොගැසුවාට දණිස හා කොන්ද බිඳ දමා ඇත. එහෙව් තැනකදී සමාජයකදී, රටකදී සුසිලා සැබෑම සැබෑ වීරවරියකි. අද්භූත කතාවක වීර චරිතයකි.


සිද්ධිය පිළිබඳව ගුරුවරිය එදා දුන් කට උත්තරය

පාසලේ විනය ගැන සිසුන් දැනුවත් කර තිබෙනවා. එහි කරුණු බොහෝයි. මේවා ගැන නිති පතා රැස්‌වීම්වලදීත් උදේත් මතක්‌ කරනවා. දැනුවත් කරනවා. පාසලට ඇතුල්වීමේදී මෙම විනය නීති රීති ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රකාශන පුවරු ප්‍රදර්ශනය කොට තිබෙනවා.

විශේෂයෙන් සිසු සිසුවියන් විවිධ විලාසිතාවලට ගොදුරු වන නිසා පාසල් නිල ඇඳුම කොණ්‌ඩය, ජංගම දුරකථන ආදිය පිළිබඳව ශිෂ්‍ය නායක නායිකාවන් ලවා පරීක්‍ෂා කරනවා. සෑම උදයකම ළමුන් පාසලට ඇතුල්වීමේදී මේ ක්‍රියාමාර්ග සෝදිසි කරන අතර විදුහල්පතිතුමා ද, විනය කමිටුවේ අපි ද මේ ගැන අධීක්‍ෂණ මට්‌ටමින් බලා සිටිනවා. එවැනි වරදකාරී සිසුන් අප ළඟට පමුණවද්දී, අප දරුවන්ට කරුණු කියා දෙනවා. මෙය විනය විරෝධී ක්‍රියාවක්‌. මේ වැනි දේ යළි කරන්නට එපා හදා ගන්න. කියා පළමු වතාවට අවවාද කර යවනවා. කීපවර වරද කරන අය සිටින්නේ අතළොස්‌සයි. දරුවන් බොහෝ දෙනා කීකරුයි.

දිනපතාම වාගේ ගවුම් කොටට තිබෙන දරුවන් දෙතුන් දෙනකු අපට හමුවනවා. පහුවදාම ඔවුන් හදා ගන්නවා. එහෙම නොකරන කීපදෙනාගේ ගවුම් වාටියේ කොටස්‌ ශිෂ්‍ය නායක නායිකාවන් ගලවා ආපසු කට්‌ටක්‌ දෙනවා ගහගෙන හෙට වාටිය දික්‌ කරගෙන එන ලෙසට. දණ හිසෙන් පහළට වාටිය දික්‌කර ගන්නවා පහුවදාම මේක පාසලේ පිළිගත් විනය නීති ක්‍රියා මාර්ගයක්‌ දරුවන්ද දෙමාපියන්ද මේවා ගැන හොඳට දැනුවත් වී සිටිනවා. පාසලට ළමුන් ඇතුළත් කර ගන්නේත් මේ ගැන දැනුවත් කරලයි. දැන්වීම් පුවරුත් ප්‍රදර්ශනය කර තිබෙනවා.

එම සතියේ සිකුරාදා (14දා) ත් මේ විදියේ පරීක්‍ෂාවක්‌ කළා. අඩු පාඩු තිබුණු ගෑනු ළමුන් 7-8 දෙනෙක්‌ හමුවෙලා මේ විදියට වාටි ලිහිව්වා. මේක පාසලේ සාමාන්‍ය විනය කටයුත්තක්‌.

මම පංතියේ උගන්වා පාසල ඇරුණු පසු මගේ මහත්තයි, දරුවයි මහඋස්‌වැව පාසල ඇරී යතුරුපැදියේ එන තුරු විදුහලේ නිදහස්‌ එළිමහන් මඩුවක කොන්ක්‍රීට්‌ ආසනයක වාඩි වී සිටියා.

එතකොට පාසල ඇරිලා දරුවෝ දෙතුන් දෙනකුයි, නියෝජ්‍ය විදුහල්පතිතුමයි, අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ කීපදෙනකුයි හිටියා. එකවරටම මා ළඟට කාන්තාවක්‌ ආවා. ඇය සුදු ගවුමක්‌ ඔසොවාගෙන කෑ ගැහුවා. බැණ වැදුණා. ඔහොමද අපිටත් කරන්නේ කියා නොසරුප් ලෙස නිග්‍රහ වන ලෙස මට බැණ වැදී හරි අපි බලාගමුකෝ කියා බැණ බැණම ගියා. ඒ ඔය පළාත් සභා මන්ත්‍රීගේ බිරිඳ යි. මම ඒ වේලාවේ කිව්වේ ගවුම ලෙහිව්වා තමයි. මේ ගැන පැමිණිලි කරන්න ඕනෑ නම් උඩහ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඉන්නවා. එයාට කියන්න කියලයි."

ටික වෙලාවකින් නියෝජ්‍ය විදුහල්පතිතුමයි, කාර්ය මණ්‌ඩලයයි මා සිටි තැනට ආවා. එතකොටම වගේ ඒ මහතාට දුරකථන ඇමැතුමක්‌ ආවා. ඇමැතුම ඉවර වී එයා ඇහුවා මන්ත්‍රීතුමාගේ දුවගේ ගවුම ලිහුවාද කියා මං දන්නේ නෑ. ඒ ළමයා කාගේ කවුරුද කියලා. හැමෝටම ඒ නීතිය ක්‍රියාත්මක කළා කියලා. ඒ වුණාට එයා නිදහස්‌ කරන්න තිබුණනේ. දැන් හරි ප්‍රශ්නයක්‌ වෙලා තියෙන්නේ කිව්වා.

ටික වෙලාවකින් කවුදෝ කිව්වා මන්ත්‍රීවරයා ආවා කියලා. වාහනේ පාර ඉස්‌සරහා නතර කළා. මට කිව්වා කවුදෝ, හැංගෙන්න ඉක්‌මනට මෙතැන මොනවා වෙයිද දන්නේ නෑ කියලා. මම ඉක්‌මනට දුවලා ගිහින් ඈත පිටුපස්‌සේ ගොඩනැඟිල්ලක්‌ පස්‌සේ හැංගිලා හිටියා. මට ඇහුණ මන්ත්‍රීවරයා පාසලට ඇවිත් කෑ කෝ ගහනවා. කොයි අරකි. එකී මං හොයනවා කිය කියා පංති කාමර ගොඩනැඟිලිවල මාව හොය හොයා ඇවිද්දා. මට ඇහුණා කෑ ගගහ, බනිනවා කුණු හරුපෙන්. මම බයේම හැංගිලා හිටියා. මාව වෙවුලනවා බයටම.

පස්‌සෙ එයා මාව හොයලා බැරි තැන අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ අයකුට කියලා පාසලේ ගේට්‌ටුවේ ඉබි යතුරු ගෙන්නා ගෙන ගේට්‌ටුවට ඉබ්බා දාලා යතුරු අරගෙන ගිහිල්ලා. ඊට කලින් පංති කාමර වල හවස පංතිවල සිටි ළමුන්ට බැනලා " දුවපියව්" කියලා එළවලා. ළමයි බයේමට දුවලා. කරාටේ උගන්වන්න ගුරු මහත්මයෙක්‌ ඉඳලා එයාටත් බැණලා. උඹලා දන්න කරාටේ. මම උඹලට වැඩිය කරාටේ දන්නවා. දුවපියව් කියලා.

පස්‌සෙ සද්දේ අඩු වුණාට පස්‌සේ මම එළියට ආවා. කට්‌ටිය ළඟට ආවත් අපිට යන්නට බෑ. ගේට්‌ටුව වහලා. පස්‌සේ එහා වත්ත පැත්තෙන් යන්න සූදානම් වෙද්දී මන්ත්‍රීවරයා කැබ් එක අරගෙන ඒ පැත්තෙන් ආවා. මං දුවලා ආපහු පාසල් වත්තේ මැද පාර ගහ අසළට ආවා. මන්ත්‍රීවරයා පොල්ලක්‌ අරගෙන කොට කළිසමක්‌ ගහගෙන යකෙක්‌ වාගේ ආවා. කුණු හරුපෙන් බැණගෙන මා ඉදිරියට ආවා. ඔහු දිගටම බැන්නා වචන දාහක්‌ විතර ඒ ටිකට කතා කර කර බනින්න ඇති. ඒවා ලියන්න කියන්න තරම් බැරි තරමේ කුණු හරුප. මගේ දරුවගේ ගවුමේ වාටිය ගලපවු උඹේ ඇඳුම් ගලවලා නිරුවත් කරලා පාරේ ඇවිද්දවන්නයි මං ආවේ. තොට මං හුඟාක්‌ කුණු හරුප කීවා. මං කිව්වා මන්ත්‍රීතුමා මගේ අතින් වරදක්‌ වුණා නම් සමාවෙන්න කියලා.

සමාවෙන්න සමාව ගන්න ඕනි උඹ මගෙන් නොවෙයි. මගේ දරුවගෙන් දණ ගහලා සමාව ගනින් මේ දැන්ම කරපන් නෑ සඳුදාට ප්‍රසිද්ධ රැස්‌වීමේ දී මගේ දරුවගේ දෙපා අල්ලලා සමාව ගනින්. කියලා මට ගහන්න පොල්ල ඉස්‌සුවා. මන්ත්‍රීතුමා මට ගහන්න එපා. මට සමාවෙන්න කියලා මං බයටම කිව්වා. එතකොට මන්ත්‍රීවරයා මට පර බැල්ලී මං ඉස්‌සරහපිට දණ ගහපිය කියලා පොල්ල ඉස්‌සුවා ගහන්න මං දණ ගැහුවේ නෑ. තුන් සැරයක්‌ විතර කියලා ගහන්න හැදුවා. මං අසරණ වුණා. මං හයියෙන් ඇඬුවා නෑ මං දන්නෙම නැතිව ඇඬුණා. මං දන්නෙම නැතිව දෙපා කඩා වැටුණා. ලෝකයේ මං තනි වුණා. අසරණ වුණා වගේ හිස්‌ හැඟêමක්‌ මට ඇති වුණා. මට මතක මං ඉදිරියේ රාක්‍ෂයෙක්‌ වගේ අයෙක්‌ ඉන්නවා වගෙයි. ඒ වෙද්දිත් මට දිගටම කුණු හරුපෙන් බනිනවා. එයා එහෙම විනාඩි පහක්‌ විතර බැණලා ආපසු හැරිලා යන්ට හැදුවා. මං හිතුවා යනවා කියලා. නැගිටින්ඩ හැදුවා. එයා ආපසු හැරිලා බලලා ළඟට ඇවිත් පර බැල්ලී දණ ගහපිය කියලා දෙවන වතාවටත් මාව දණ ගැස්‌සුවා. මං ආයෙත් අසරණ වුණා. අනේ මං වගේ පවුකාරියක්‌ කියලා හිතිලා දිගටම ඇඬුණා. වටේ බලා හිටි අයත් අසරණයි. හුඟාක්‌ වෙලා බැණ බැණ ඉඳලා එයා ගියා. මං විනාඩි විස්‌සක්‌ විතර දණ ගහගෙන ඔහේ හිටියා. ඊටත් වැඩි ද මන්දා. මට මුළු ලෝකෙම කැරකෙන්න වාගේ දැණුනේ. මහා හිස්‌ හැඟුමක්‌ මට දැණුනේ. බය, ලැඡ්ජාව, වේදනාව, දුක, තනිකම සම්මිශ්‍රණය වෙලා අමුතු කියාගන්න බැරි මායාවක මං පැටලිලා හිටියේ. ඇති වන තුරා ඒ පොළව තෙත් වන තුරු මා නැමිලා හැඬුවා. මට ඒ කඳුළු හංගා ගන්න වුවමනා වුණේ නෑ. මට වෙන්න පුළුවන් සියලු ලැඡ්ජා වුණා.

මං නි/ විදුහල්පතිතුමා සමග ගෙදර ඇවිත් හොඳටම අඬ අඬා ඉඳිද්දී මහත්තයයි තාත්තයි ඇවිල්ලා නවගත්තේගම පොලිසියට ගිහින් පැමිණිල්ලක්‌ දැම්මා.

ඊට පස්‌සේ මාධ්‍යවලින්, ගුරු සංගම්වලින් මේකට උපකාර කළා. ඒවට ස්‌තූති කළ යුතුයි. විශේෂයෙන් ජනපතිතුමාට. එතුමා මගේ දුක නිවුවා බොහෝ දුරටම සාධාරණය ඉටුකර දෙන බව කීවා.

දැන් මම මේ දින ටිකේ නිවාඩු. පාසල් යන්නට හිත දෙන්නේ නෑ. මම ළඟදීම මහඋස්‌වැව විදුහලට මාරු වෙලා යනවා. මට දුකයි මගේ දරුවන් දමා යැමට සිදුවීම ගැන.

ඔබ අනාගතය ගැන කෙබඳු ආකල්පයක ද ඉන්නේ. මම අවසන් වශයෙන් විමසීමි.

මේ නඩුවට අධිකරණය සාධාරණය ඉටු කරාවි. මම නිර්භයව ජීවිතයට මුහුණ දෙනවා. දැනට නම් කළකිරීම උපරිමයි.

ටෙරන්ස්‌ වනිගසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive