facebook like

පොලිසියේ ලජ්ජා නහර කපා දැමුවේ කවුද?

කම්මලට හෙණ ගැහැව්වත් බල්ලාට ගාණක් නැත. පොලිසියද ඒ වගේය. කෙතරම් ලිව්වත්, කිව්වත් පොලිසිය නම් හැදෙන පාටක් නැත. පොලිසිය යළිත් "ඥානවන්ත" වැඩක් කර ඇත. පස්වලින් වැලි වෙන් කිරීමට හැකි නවීන යන්ත්‍රයක් නිෂ්පාදනය කළ එප්පාවල කටියාව යාය 10 පදිංචි තරුණයකු හා ඔහුට උපකාර කළ තවත් තරුණයකු අනුරාධපුර පොලිස් විශේෂ වැටලීම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබෙන්නේ යන්ත්‍රය නීති විරෝධීව නිෂ්පාදනය කිරීමේ චෝදනාව මතය.


88-89 ධවල භීෂණ සමයේ ගම්පෙරළිය, විජයබා කොල්ලය නවකතා පොත් පමණක් නොව රතු පිටකවරයන් සහිත පොතක්් සතුව තිබීම පොලිස් අත්අඩංගුවට පත්වීමට හේතුවක් වූ බව පැවැසිණි. පොලිසිය එතරම් අඳබාල ලෙස කටයුතු කළා යැයි කීම විශ්වාස කළ නොහැකි තරම් වුවද පොලිසියේ මෙවැනි ක්‍රියාවලින් පෙනෙන්නේ ඒ කතා හුදු ප්‍රබන්ධ විය නොහැකි බවය.
එප්පාවල වැනි දුෂ්කර ප්‍රදේශයක ජීවත් වන තරුණයකු මෙවැනි නවීන යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීම සුවිශේෂී වේ. එය රටට ආඩම්බරයකි. පොලිසිය විසින් මේ තරුණයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහෙස්ත්‍රාත් සනත් ජයදේව මොරවක මහතා පොලිසියෙන් විමසා තිබුණේ මෙවැනි නිර්මාණ කරන්නවුන්ට දිරි දෙනවා වෙනුවට අපරාධකරුවන් සේ අත්අඩංගුවට ගෙන මෙලෙස වද දෙන්නේ මන්ද යන ප්‍රශ්නයය. මෙවැනි නිර්මාණකරුවන්ට බාධා නොකරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා එහිදී පොලිසියට අවවාද කර ඇත.


පස්වලින් වැලි වෙන් කිරීමට වඩා අසීරූ පොලිසියේ සිටින ඇතැම් නිලධාරීන්ගේ ඔළුවල තිබෙන මැටි ඉවත් කිරීමය. පොලිසිය කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මේ රටේ නීතියට අනුකූලවද නොඑසේ නම් ඔවුන් විසින් හදාගත් වෙනම නීතියකට අනුවදැයි ප්‍රශ්න කිරීමට මෙරට නීතිඥයන්ට පවා සිදුවී තිබේ. කලකට පෙර ගෙස්ට්හවුසියක් වටලා අනාචාරේ හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් විවාහාපේක්‍ෂක යුවළක් තමන්ට අපහාස කළ බව කියමින් පැවැරූ නඩුවකින් පැමිණිලිකරුට වන්දි ගෙවීමට පොලිසියට සිදුවූ අතර එලෙස අත්අඩංගුවට ගැනීමේ අයිතියක් මෙරට නීතියට අනුව පොලිසියට නැති බවට අධිකරණය තීන්දුවක් ලබාදුන්නේය.


එප්පාවල තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ගමේ භාෂාවෙන් කියන්නේ නම් "අමන ගොන් වැඩකි". ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව නව නිර්මාණකරුවන්ට අතහිත දීමට, සම්මාන සහතික හා මුදල් ත්‍යාග පවා ප්‍රදානය කරද්දී පොලිසිය නව නිර්මාණකරුවන් බෙල්ලෙන් අල්ලාගෙන ගොස් විත්ති කූඩුවට නැංවීමේ නීතිය කුමක්දැයි අප දැනගත යුත්තේද පොලිසියෙනි.


පසුගිය දිනෙක ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ පැවැති නව නිර්මාණ හඳුන්වාදීමේ උත්සවයකදී තමා නිර්මාණය කළ මෝටර් රිය පදවාගෙන සිසුවකු පාසල් බිමේ වට රවුමක් ගියේ අධ්‍යාපන ඇමැතිවරයාද නංවාගෙනය. තවත් අවස්ථාවකදී සිසුවියක නිර්මාණය කළ යතුරුපැදිය මාර්ගයක ධාවනය කළාය. පොලිසිය කළ යුතුව තිබුණේ මේ දෙදෙනාම වහා අත්අඩංගුවට ගැනීමය. ඒ මක්නිසාදයත් ඇමැතිවරයකු නංවාගෙන සිසුවා මෝටර් රිය පැදවූයේ රියැදුරු බලපත්‍රයක් නොමැතිව වීමත්, අනෙක් සිසුවිය යතුරුපැදිය පැදවූයේ ආරක්‍ෂිත හිස් වැසුමක් නොමැතිව වීමත් නිසාය.


පස්වලින් වැලි ඉවත් කිරීමේ යන්ත්‍රය නිෂ්පාදනය කළ කීර්ති සේනානායක හා ඔහුගේ සහායක සමන්ත අතපත්තු දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ප්‍රශ්න කර ඇත්තේ මේ සමාජයේ මහා පරිමාණ අපරාධ සිදුවෙද්දී ඒවාට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ වගකීම පසෙක තිබියදී ස්වකීය නිර්මාණශීලී දක්‍ෂතා විදහා දක්වමින් පරිසරහිතකාමී යන්ත්‍රයක් නිෂ්පාදනය කළ මෙම තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ නීතියේ කුමන ප්‍රතිපාදන යටතේද යන්නය. අනෙක් කාරණය පොලිසිය මේ අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ යන්ත්‍රය නිෂ්පාදනයට හා ක්‍රියාකරවීමට මහවැලි අධිකාරියෙන් අවසරයක් ලබාගෙන තිබියදීය. කිසිදු ඇප කොන්දේසියක් නොමැතිව සැකකරුවන් මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කිරීමද පොලිසියට දුන් අතුල්පහරක් වැනිය.
පොලිසිය මෙලෙස විවේචනය කළද රාජකාරිය අකුරටම කිරීමට වෙහෙසෙන නීතිගරුක නිලධාරීන් ඕනෑ තරම් පොලිසියෙන් සොයාගත හැකිය. ඉකුත්දා නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී හඬාවැටුණු පොලිස් නිලධාරියා එවැන්නෙකි. වැටලීමකදී වැලි ජාවාරම්කාරයන් පිරිසක් විසින් සවලකින් හා පොලුවලින් පහරදීම නිසා ඒ වන විට 29 හැවිරිදි වියේ සිටි මේ පොලිස් නිලධාරියාට දකුණු ඇස, දත් අහිමි වී මුහුණ විරූප වී තිබේ. රාජකාරිය අකුරටම කිරීමට යෑම නිසා ජීවිත අහිමි වූ, අංගවිකල වූ මෙන්ම "තූත්තුකුඩියට" මාරුවීම් හිමිවූ ඕනෑ තරම් නිලධාරීහු පොලිසියේ සිටිති. "යහපත් සේවය වෙනුවෙන්" පදක්කම් ලැබූ පොලිස් නිලධාරියකු පසුගිය මාසයේ අග පොලිසිය හැරගියේ රාජකාරිය අකුරටම කිරීමේ වරදට වන්දි ගෙවීමටය. එහෙත් පොලිසිය නම් කුලකයට සුදු - කළු සියලුදෙනා අවසානයේ එකතු වීම නොවැළැක්විය හැකිය.


කෙසේ වුවද තරුණ නිර්මාණකරුවන් දෙදෙනාට යුක්තිය සාධාරණය නොපමාව ඉටු විය යුතුය. අනුන්ගේ ගීත ගයා කෝටිපතියන් වන ස්ටාර්ලාව රජ පෙරහරින් කැන්දාගෙන යන කාලයක කිසිදු අනුග්‍රහයක් නැතිව දුකසේ නව නිර්මාණ කරන නිර්මාණශීලී තරුණයන්ව පොලිසියෙන් පැමිණ කුදලාගෙන යෑම අතිශය කනගාටුදායකය. මේ නිර්මාණශීලී තරුණයන්ට කළ අපහාසය, අත්කර දුන් සිත්තැවුල, ලජ්ජාව, බිය හා ඔවුන්ගේ නිර්මාණශීලීත්වය මොට කිරීම වෙනුවෙන් පොලිසිය වන්දි ගෙවිය යුතුය. නීතියේ ආධිපත්‍ය තවමත් පවතින බව පොදු ජනතාවට පෙනීයන්නේ එවැනි පියවරකින් මිස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කරන නිල නිවේදනවලින් නම් නොවේ.

mawbima

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive