facebook like

මම මුදල් තණ්හාවට රට පාවා දුන්නා කියන කතාව අසාධාරණයි

චැම්පියන්ස් ලීග් ආන්දෝලනය ගැන ලසිත් මාලිංග කියන කතාව
සැප්තැම්බර් මාසයේ ඇරඹෙන චැම්පියන්ස් ලීග් තරගාවලියේදී ලසිත් මාලිංග ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවෙන් එම තරගාවලියට ඉදිරිපත් වන සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායමට නොව ඔහුගේ අයි.පී.එල්. කණ්ඩායම වන ‘මුම්බායි ඉන්ඩියන්ස්’ කණ්ඩායමටය. තම මව් රටේ කණ්ඩායමක් තරගයට ඉදිරිපත් වෙද්දී ඒ වෙනුවට ඉන්දියානු කණ්ඩායමකට ක්‍රීඩා කරන්නට තීරණය කිරීම ඇතැමුන් දකින්නේ මුදල්වලට ඇති තණ්හාව නිසා මව් රට පාවාදීමක් හැටියටය. මෙවැනි ප්‍රශ්නයක් පසුගිය වතාවක කුමාර් සංගක්කාර සම්බන්ධයෙන්ද ඇති වූ අතර අවසානයේ ඔහු ඉන්දියානු පිලට ක්‍රීඩා කිරීමේ තීරණය අතහැරියේය.
පහත පළවන්නේ ලසිත් ගේ මෙම ආන්දෝලනාත්මක තීරණය සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී කැළුම් ශ්‍රීමාල් විසින් කරන ලද සාකච්ඡාවකි.

එළඹෙන චැම්පියන්ස් ලීග් තරගාවලියේදී ඔබ ඉන්දියානු කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට ගත් තීරණය ක්‍රීඩාලෝලීන් දකින්නේ රට පාවාදීමක් හැටියටයි?
මං කලින්ම දැනගෙන හිටියා මේ වගේ ප්‍රශ්නයකට මට මූණ දෙන්න සිද්ධ වෙන බව. මං කොහොමත් මෙච්චර කල් ප්‍රශ්නවලට මූණ දුන්නෙ තනිවමයි. කෙහොමත් ඒ වගේ වෙලාවල්වල මට මහේල අයියයි, කුමාර අයියයි උදව් කළා. මොකද එයාලා දන්නවා මං ගන්න තීරණ වැරදි නැහැ කියලා. ඇත්තෙන්ම ක්‍රිකට් ක්‍රීඩා කරන කෙනෙක්ම තමයි දන්නේ මේ ගන්න තීරණ හරිද, වැරදිද කියලා. වටේ පිටේ බලන් ඉන්න අයට කියන්න පුළුවන් ‘මෙයා මොකක්ද මේ කරන්නෙ? රට පාවලා දෙනවා’ කියලා.
ඇත්තෙන්ම ‘චැම්පියන්ස් ලීග්’ එක ඇතිවුණෙත් අයි.පී.එල්. ක්‍රිකට් නිසා. ඊට කළින් චැම්පියන්ස් ලීග් කියල ක්‍රිකට් තරගාවලියක් තිබුණෙ නැහැ. අයි.පී.එල්. කියන්නේ ලෝකයේ මුදල් යහමින් තියෙන ව්‍යාපාරිකයන් වගේ කට්ටිය ඔවුන්ගේ අනුග්‍රහයෙන් කණ්ඩායමක් හදාගෙන විනෝදාංශයක් හැටියට වගේම තමන්ගෙ කීර්තිනාමය වෙනුවෙනුත් ක්‍රිකට් ක්‍රීඩා කරන්න හදපු තරගාවලියක්. පස්සෙ මේක හොඳින් කෙරීගෙන යද්දි එහි තරගකාරිත්වය තවත් වැඩිකරන්න අනෙක් රටවල්වලටත් සහභාගිවෙන්න අවස්ථාවක් දුන්නා. අපි මේක පටන් ගත්තෙ එස්.එල්.පී.එල්. කියල. ඒත් අපේ අවාසනාවකට එක තරගාවලියයි පවත්වන්න ලැබුණෙ. මොකද මේ එක කණ්ඩායමක්වත් ගන්න අනුග්‍රාහකයෙක් හොයාගන්න බැරිවුණා. ඒක අපේ ක්‍රිකට්වල තියෙන අභාග්‍යසම්පන්න තත්ත්වයක්. අනික  අවුරුදු 5ක් ඇතුළත ලෝක කුසලාන අවසන් මහා තරග 7කට ආපු රටක කණ්ඩායමක් චැම්පියන්ස් ලීග් එකට යවන්න අනුග්‍රාහකයෙක් හොයාගන්න බැරිවෙලා තියෙනවා. මේක කාගෙ වරදක්ද කියන එක මටත් ලොකු ප්‍රශ්නයක්.
මේක රටේ ක්‍රිකට් ක්‍රීඩාවක් නමෛයි. මුදල් ගෙවන, මුදලට කෙරෙන තරගාවලියක්. හැම කණ්ඩායමකම වෙනත් රටවල ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා. අපේ කණ්ඩායමේ විතරයි අපේම ක්‍රීඩකයො විතරක් ඉන්නෙ. සමහරු කියයි මේක අපේ ක්‍රීඩකයන්ට අවස්ථාවක් දෙන්න කළ දෙයක් කියලා. නෑ. ඇත්ත කතාව පිට රට ක්‍රීඩකයෙකුට සල්ලි ගෙවන්න අපට තියෙන බැරිකම.
දැන් තේරෙනවනේ මේක රට වෙනුවෙන් කරන ක්‍රීඩාවක් නමෛයි. මං කවදාවත් රටේ තරගයක් අත ඇරලා නැහැ. මම චැම්පියන්ස් ලීග් එකේදි මගේ අයි.පී.එල්. කණ්ඩායමට ක්‍රීඩා කිරීම ගැන සමහරු දොස් කියනවා. නමුත් මං එක අතකින් වාසනාවන්තයි අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන්න ලැබිම ගැන. මොකද ජාත්‍යන්තර මට්ටමෙන් බොහෝ දේවල් මට අත්විඳින්න ලැබුණා. සමහරු මට නොයෙක් චෝදනා පවා කළා. ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කරනකොට මං හරියට සෙල්ලම් කරන්නෙ නැහැ කියලා බොහෝ දෙනා කිව්වා. 2011 ලෝක කුසලානෙදී මං දෙවන පන්දුවේදී
Malinga1ෂෙවාග් දවාගත්තා. සචින් දවාගත්තා. ඉතින් ඒ ගොල්ලො මගෙ පන්දුවලට පුරුදු නං එහෙම වෙන්න බෑනෙ. කොහොම හරි මං ඔප්පු කරල පෙන්නුවා අයි.පී.එල්. ගිය එක මට පාඩුවක් වුණේ නෑ කියලා.
මට අවස්ථාව ලැබුණා ටී 20 කණ්ඩායමේ නායකත්වය දරන්න, ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවත් එක්ක අවසන් මහ තරගයට ක්‍රීඩා කරන්න. අපි ලකුණු 130කට ඔවුන් සීමා කළා. ඔය වගේ බොහෝ දේවල් සලකලා තමයි මං මේ සැරේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන්න තීරණය කළේ. මං ඒ බව ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියකින් දැන්වුවා. ඒ අය දන්වා තිබුණා, ඒ ගොල්ලන්ට මේ ගැන තීරණයක් ගන්න බෑ. ඒ අය කැමතියි රටේ කණ්ඩායමට සෙල්ලම් කරනවා නම් කියලා. මට කැමති තීරණයක් ගන්න කියලත් තිබුණා. ඉතින් මම තීරණය කළා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන්න.

ඔබ මේ තීරණය ගත්තේ බොහොම සද්භාවයෙන් කියලත් ඔබ පැවසුවා? නමුත් සමහරු කියන්නේ මුදල් තණ්හාව නිසා කියලයි?
ඒ තීරණය ගත්තෙ බොහොම සද්භාවයකිනුයි. මං කොළඹ ඇවිත් මුලින්ම ක්‍රිකට් පුහුණු වුණේ එන්.සී.සී. හා එස්.එස්.සී. ක්‍රීඩාංගණවල. ඒවයෙ පිහිනුම් තටාක තිබුණා. පස්සෙ ඛෙත්තරාමෙට ආවා. එතන පිහිනුම් තටාකයක් තිබුනෙ නෑ. පිහිනුම් තටාකයක් කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ශරීරික යෝග්‍යතාව පවත්වාගන්න ඉතාම අවශ්‍ය දෙයක්. මං මේ තීරණය ගත්ත හින්දා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමෙන් අපේ රටට ලක්ෂ 175ක් 200ක් විතර දෙන්න ‍පොරොන්දු වුණා. ඒ මුදල පිහිනුම් තටාකයක් ඉදිකිරීම වෙනුවෙන් යොදවන එක තමයි මගේ අරමුණ. මං ගත්ත තීරණය නිසයි මේ සල්ලි ලැබෙන්නෙ. මේ බව මං ලියුමක් මගින් ක්‍රිකට් පාලක මණ්ඩලයටත් දැනුම් දුන්නා. ඒ වගේම මං සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායමෙන් අයින් වුණ නිසා තව ළාබාල ක්‍රීඩකයෙකුටත් අවස්ථාවක් ලැබෙනවා.

ගිය වතාවේ මේ වගේ ප්‍රශ්නයකදී අයි.පී.එල්. කණ්ඩායමට සහභාගි නොවී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න කුමාර් සංගක්කාර තීරණය කළා. ඒ වතාවේ ඉන්දියාවේ ඔහු නියෝජනය කළ කණ්ඩායම මගින් මේ වගේ මුදලක් දෙන්න ඉදිරිපත් වුණේ නැද්ද?
ඒ ගැන මං හරියට දන්නෙ නෑ. සමහර විට කුමාර් අයියටත් අවස්ථාවක් දුන්න නං මේ වගේ දෙයක් කරන්න ඉඩ තිබුණා.

මේ තීරණය ගනිද්දි ඔබ කණ්ඩායමේ තවත් කවුරු හරි එක්ක මේ ගැන සාකච්ඡා කළාද?
නැහැ. එහෙම සාකච්ඡා කළේ නැහැ. මේක මම තනිවම ගත්තු තීරණයක්. මම සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායමේ මගේ උප නායකයා හැටියට හිටපු මුබාරක්ට කිව්ව මම මුම්බායි පිලට ක්‍රීඩා කරන්න යනව, ඒ නිසා තව අලුත් ක්‍රීඩකයෙකුට අවස්ථාව දීලා හොඳට ක්‍රීඩා කරන්න, අපි හැමෝම හොඳට ක්‍රීඩා කරල අපේ දක්ෂතා පෙන්නමු කියල.

ඔබ වතාවක් පවසා තිබුණා වාසනාවට වඩා කැපවීම මතයි බොහෝ දේ සිදුවන්නේ කියා. ඒත් ඒකට වාසනාවකුත් තියෙන්න ඕනෙ නේ?
මං තවමත් පිළිගන්නේ නැහැ වාසනාවට යමක් සිදුවෙන බව. මොකද වාසනාව තිබුණා නං මං මීට වඩා බොහෝ දේවල් ලබාගත්තු ක්‍රීඩකයෙක්. මං නං හිතන්නෙ මං කැපවෙලා කරපු දේවල්වලින් තමයි අද මේ ලැබුණු දේවල් ලැබිලා තියෙන්නෙ කියලා. කිසිම දෙයක් මට පහසුවෙන් ලැබිලා නැහැ. මට වාසනාවකට ලැබුණු එකම දේ තමයි අවුරුදු 17 දී ක්‍රිකට් ගහන්න ලැබුණු එක. විද්‍යාලෝක විදුහ‍ලේදි වරක් කණ්ඩායමට ක්‍රීඩකයො එකොලොස් දෙනෙක් හිටියෙ නෑ. එක ක්‍රීඩකයෙකුගෙ අඩුවක් තිබුණ. මං ටෙනිස් බෝල ක්‍රිකට් ගහනවා දැකලා ඒ අවස්ථාවෙ විද්‍යාලෝක කණ්ඩායමට සෙල්ලං කරන්න එක්කගෙන ගියා. මම හිතන්නෙ එච්චරයි මගේ ක්‍රිකට් ජීවිතේ වාසනාවට වෙච්ච එකම දේ.

ඔබේ නායකත්වය යටතේ විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගන්න ලංකාවට පුලුවන් වුණා. දැන් ආපහු ඒ ගැන කල්පනා කරද්දි මොකක්ද ඔබට කියන්න තියෙන්නෙ?
එංගලන්තය එක්ක අපේ තරඟය පරාද වුණාට පස්සෙ අපි හැමෝම දැනගෙන හිටිය එතනින් පස්සෙ අපිට එක තරඟයක්වත් පරදින්න පුලුවන්කමක් නැහැ කියල. ඒ නිසා අපි හැමෝම එකම අධිෂ්ඨානයකින් ක්‍රීඩා කළා. වැදගත්ම දේ තමයි අපි හැම තිස්සෙම කිසිම හිතේ පීඩනයක් නැතිව, හිනාවෙලා ඉන්න උත්සාහ කරපු එක. කණ්ඩායමේ ඉන්නෙ හැමෝම දක්ෂ ක්‍රීඩකයො බව අපි දැනගෙන හිටිය. ඉතින් හැම තිස්සෙම අපි සතුටින්, සැහැල්ලුවෙන්, ලොකු පීඩනයක් නැතිව ඉන්න උත්සාහ කළා. මං හිතන්නෙ ඒක ලොකු හේතුවක් වුණා. ඒවගේම විශේෂයෙන් පන්දු යැවීම සම්බන්ධයෙන් අපි හොඳ සැලැස්මක් අනුගමනය කළා. අවසන් තරඟයට කලින් දවසෙ රෑ මම පන්දු යවන්නන් හැමෝම කැඳවලා සාකච්ඡාවක් කළා. පන්දු යැවිය යුතු ආකාරය ගැන අපි හොඳින් සැලසුම් කළා. ඉතින් අපි පන්දු යැවීමේදී ලකුණු වැඩිපුර නොදීමත් අපේ ජයග්‍රහණයට ලොකු හේතුවක් වුණා. අන්තිම පන්දු වාර හතරේ අපි ලකුණු 19 ක් පමණයි දුන්නෙ. බොහෝ දෙනෙකුට මේක පුදුමයට කාරණාවක් වුණා.

සචිත්‍ර සේනානායක අපිට විස්සයි විස්ස තරඟවලට හිටපු හොඳම පන්දු යවන්නෙක්. මේ අවස්ථාවේ ඔහු පන්දු යැවීම සම්බන්ධයෙන් තහනමකට ලක්ව සිටීම ගැන මොකද ඔබ හිතන්නෙ?
ඇත්තටම මේක අවාසනාවන්ත තත්ත්වයක්. ඔහුට වරද හදාගන්න දුන්නු පළමු අවස්ථාවෙදි සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න පුලුවන් වුණේ නැහැ. නමුත් මම විශ්වාස කරනව ඔහු කෙසේ හෝ ඒ වැරැද්ද හදාගෙන මේ ප්‍රශ්නයෙන් ගොඩ එයි කියල.

මහේල ජයවර්ධන තව නොබෝ දිනකින් ටෙස්ට් තරඟවලින් සමුගන්නව. මොකද හිතෙන්නෙ?
ඔහුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු සේවය ගැන මං හිතන්නෙ කාටවත් ඇඟිල්ලෙන් ඇනල පෙන්නන්න දෙයක් නැහැ. ඔහු හැමදාම කණ්ඩායමේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාගේ සිට ළාබාලම ක්‍රීඩකයා දක්වා හැමෝගෙන්ම කණ්ඩායමට අවශ්‍ය දේ ලබාගන්නෙ කොහොමද කියන එක ඉතා හොඳින් දැනගෙන හිටපු ක්‍රීඩකයෙක්. ඔහුගෙන් ලැබෙන ලකුණු සීයට හෝ එකසිය පනහට වඩා මම හිතන්නෙ ඔහුගෙන් ලැබුණු වැදගත්ම දේ තමයි ඔහු තම අත්දැකීම් ඇසුරෙන් අපිට බෙදා දීපු දැනුම සහ අවබෝධය. සමහර විට ඔහු වගේ ලකුණු ගන්න පිතිකරුවෙක් අපිට අනාගතයේ ලැබෙයි. නමුත් මහේලගෙන් අප ලබපු අවබෝධය දැනුම ලබාගන්න, ඒ දැනුම අපට බෙදා දෙන්න කෙනෙක් නැති වීම තමයි මං හිතන්නෙ ලොකුම පාඩුව.

දැන් පෞද්ගලික ප්‍රශ්ණයක් අහන්නං. ඔය අතේ කොටාගෙන ඉන්න පච්ච අපි කලින් දැකල තිබුණෙ නෑ. මොනවද ඒ?
(එකින් එක පෙන්වමින්) මේ තියෙන්නෙ මගෙ නම, වයිෆ්ගෙ නම, ‍පොඩි එක්කෙනාගෙ නම, අනිත් ‍පොඩි එක්කෙනාගෙ නම, වර්ල්ඩ් කප් එක දිනපු දවස මේ තියෙන්නෙ වර්ල්ඩ් කප් එකේ කෙන්යා මැච් එකේදි හැට්ට්‍රික් ගත්තු දවස. මේ තියන්නෙ ඕස්ට්‍රේලියාවෙ හැට්ට්‍රික් එකක් ගත්ත එක. තව තියෙනවා සවුත් ඇෆි්‍රකා හැට්ට්‍රික් එකක් ගත්තු එක.

සාකච්ඡා කළේ :කැළුම් ශ්‍රීමාල්

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive