facebook like

ප්‍රේමදාසත් අන්දල කපුටු බෝ පැළයක් බුරුමෙට යවපු හැටි

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කලකට ඉහත මෙරට ජන ජීවිතයට සම්බන්ධ ප්‍රධානම රාජ්‍ය ආයතනය බවට පත්ව තිබුණේය. මම එක්තරා කාලයක එහි මහජන සම්බන්ධතා නිලධාරි වශයෙන් රැකියාව කළෙමි. නිවාස අධිකාරිය සම්බන්ධ රසවත් කතා බොහෝ තිබේ. ඉන් බොහොමයක් වැටෙන්නේ කාටවත්ම නොකියන කතා ගණයටය. එහෙත් මම අද ඔබට ඒ අතරින් එකක් කියමි.

එය නොකියයුතුම ගණයේ කතාවකි. එසේ වුවද නොකියාම බැරිය. කෙසේ නමුත් මේ කතාව එළියට දමන්නට පෙර ඊට අදාළ නිලධාරීන් තවමත් නිවාස අධිකාරියේ සේවයේ යෙදී සිටී දැයි මම සොයා බැලුවෙමි. ඔවුන් විශ්‍රාම ලැබ පිටව ගොස් බොහෝ කල් බැව් ඉඳුරාම දත් හෙයින් මේ අපූරු කතාව ඔබට කියන්නට තීරණය කළෙමි.


නිවාස අධිකාරියේ පැරැණි රසවත් සිදුවීම් බොහෝ ඒවා එකල පැවැති ගම්උදා උත්සවවලට සම්බන්ධ ඒවාය. එයිනුත් වැඩි ප්‍රමාණය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාද සම්බන්ධ සිදුවීම්ය. ඊට හේතුව එවකට අගමැති ප්‍රේමදාස මහතාත් ගම්උදාවත් දෙකක් නොව, එකක් වීමය.
ගම්උදාව වූ කලී ප්‍රේමදාස මහතා එකේ සිට අවසාන දශම බින්දුව දක්වාම සම්බන්ධ වූ වැඩසටහනකි. පළමු පස් පිඩැල්ල කැපූ තැන සිට අවසන් රාත්‍රිය දක්වාම අගමැති ප්‍රේමදාස මහතා ගම්උදා භූමියේ සිටී. රැයක් - දවාලක් නැත. කොහේ කොහොම කොතැන ඔහු සිටී දැයි දන්නා කෙනෙක්ද නැත. වරෙක පා ගමනින්ද වරෙක ඔහුම පදවන ඔහුගේ මොරිස් මයිනර් මෝටර් රථයෙන්ද අගමැතිවරයා අක්කර ගණනක ගම්උදා භූමියේ කරක් ගසයි.


ප්‍රදර්ශනය පැවැත්වෙන එම ගම්උදා භූමියේ සෑම බිම් අඟලක්ම තමාගේ අභිමතයට අනුකූලව තැබීමට ඔහු දිවා රෑ නොබලා මහා පරිශ්‍රමයක් දරන්නේය. ප්‍රේමදාස මහතාගේ ඇතැම් වැඩ විශ්වකර්ම වැඩ යැයි සමහරුන් කීවේ ඒ නිසාය. ඔහුට වගේම වැඩ කරන අයටද ගෙයක් - ‍ෙදාරක්, රැයක් - දවාලක් නොවීය. ප්‍රදර්ශනය කිට්ටු වනවිට සියල්ලෝම කඩි ගුලක මෙන් වැඩ කරති. ඇඹිලිපිටිය ගම්උදාව තිබුණේ 1987දීය.


ගම්උදාවේ වැඩ කරමින් සිටි මිතුරන් දෙදෙනෙක් එක් හැන්දෑවක තමන් භාරව සිටි නිලධාරියාට හොරෙන් ටවුම දිහාවට මාරුවී හෙමින් සැරේ ඇඟ රත්වන යමක් දමාගෙන ඉක්මනින් වැඩ කරන තැනට එන්නට තීරණය කළෝය. හොඳින් වටපිට බලා ටික දුරක් ගිය ඔවුන්ට,
'ඔය දෙන්න කොහෙද යන්නේ, යැයි පිටුපසින් කතා කරනු ඇසුණේය. හැරී බැලූ ඔවුන් දුටුවේ අගමැති ප්‍රේමදාස මහතා ඔවුන් කැඳවන බවය. දෙදෙනාගේම ඇඟ සීතල විය.


'තමුන් කොහෙද ඔය යන්නේ.'
'සර් ඇණ පොල් කට්ටක් ගේන්න යනවා' එක් අයෙක් ගත් කටටම කීහ.
'තමුන් කොහෙද යන්නේ' ප්‍රේමදාස මහතා අනෙක් පුද්ගලයාගෙන් ඇසීය.
'සර් ඇණ පොල් කට්ට පෙන්නන්න යනවා' බියටපත් ඔහු කීවේය.
'හා.. පෙන්නන්න ඕන නෑ තමුන්ම ගිහින් ඇණ පොල් කට්ට ගේනවා.
තමුන් මේ පස්ගොඩ අයින් කරනවා' ප්‍රේමදාස මහතා කීවේය.
ඇණ නම් සොයා ගත හැකිය. ගම්උදා වැඩ බිම අස්සේ පොල් කටු කොහෙන් හොයන්නද, යාළුවා පඳුරකට මුවාවී අගමැතිවරයා යනතුරු සැඟව සිටියේය.
ඇලඩින් බාස් උන්නැහේ යකඩ වැටක් වෑල්ඩින් කරමින් සිටියේය.


'ඕක හෙට දවල් 12 වෙද්දි ඉවර කරන්න පුළුවන්ද බාස් උන්නැහේ' යැයි පිටුපස සිට කිසිවෙක් ඇසුවේය.
'පිස්සුද ඕයි තව සුමානෙකටවත් මේක ඉවර කරන්න බෑ. මේ යක්කු පැය භාගෙන් භාගෙට කරන්ට් කපනවා' යැයි ඇලඩින් කීවේය.
'හරි මම ඒක බලා ගන්නම් හෙට 12 වෙද්දි වැඩේ ඉවර කරනවා' යැයි පිටු පස සිටි තැනැත්තා කියද්දී බාස් උන්නැහේ හැරී බැලුවේය. අගමැති ප්‍රේමදාස මහතා එතැනින් ඉවතට යමින් සිටියේය. අවසානයේ ඇඹිලිපිටියේ ගම්උදා මහා ප්‍රදර්ශනය ආරම්භ විය. සමාරම්භක දින මහා උත්සවයට බුරුමයේ සංඝරාජ හිමියන්ද වැඩම කරවන්නට නියමිත විය. උත්සවයේ එක් සුවිශේෂී අංගයක් වූයේ අගමැති ප්‍රේමදාස මහතා විසින් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් බුරුමයට වැඩම කරවීම පිණිස ගම්උදා භූමියේදී සංඝරාජ හිමියන්ට පිළිගන්වනු ලැබීමය.


උත්සවය ආරම්භවීමට පෙර දින අලුයම නිවාස අධිකාරියේ නිලධාරීහු තිදෙනෙක් ශ්‍රී මහා බෝධි අංකුරය වැඩම කරවාගෙන ඒම පිණිස අනුරාධපුරය බලා කැබ් රියකින් පිටත්ව ගියහ. ඔවුන් අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන් බැහැදකින විට මධ්‍යහ්නයට ළංව තිබුණේය. ඒ වනවිටත් අගමැති ප්‍රේමදාස මහතාගේ දැනුම් දීමට අනුව රන් ආලේපිත කුඩා පාත්‍රයක ශ්‍රී මහා බෝ අංකුරය පැළ කරවීමට අටමස්ථානාධිපති නායක හිමියන් කටයුතු කර තිබිණි.


නිවාස අධිකාරියේ නිලධාරීන් සමඟ ආගිය තොරතුරු විචාළ උන්වහන්සේ අගමැතිතුමාගේ ඉල්ලීමක් අපි බොහෝම ගෞරවයෙන් ඉටු කරනවා යැයිද පැවැසීය. උන්වහන්සේ දෝතින් ඔසවා ගෙන පැමිණි බෝ අංකුරය සහිත රන් පාත්‍රය ජේ‍යෂ්ඨ කළමනාකාරවරයා අත තැබූහ. ඔහු දෙකට නැමී මහත් බැතියෙන් බෝධි අංකුරය සහිත පාත්‍රය ලබා ගත්තේය. අනතුරුව හිමියන්ගෙන් සමුගෙන කැබ් රථයේ ඉදිරිපස අසුනේ වාඩිවී එය ආරක්ෂිතව උකුල මත තබා ගත්තේය.


අව්වට සහ දැඩි සුළඟට හසු නොවන්නත් උදේ හවා පැන් බිඳක් ඉහින්නත් උපදෙස් ලැබිණි. පිරිස අනුරාධපුර පූජා භූමියෙන් පිටත්ව ගියේ මෙවැනි මහත් උදාර වූ පුණ්‍ය කටයුත්තකට දායක වීමට ලැබුණේ පෙර පින් මහිමය නිසා වන්නට ඇතැයි සිතමිනි. අතරමඟක නොරැඳුණු ඔවුහු එක එල්ලේ ඇඹිලිපිටිය දක්වා පැමිණියහ. ගමන් මහන්සිය විඩා ගෙන දුන්නේය. වේලාව රාත්‍රි අටේ කණිසමට ආසන්නය. මේ අතර එක් අයෙක් කදිම අදහසක් ඉදිරිපත් කළහ.
බෝධි අංකුරය අවශ්‍ය වන්නේ හෙට උදේ 9ට විතර. ඒ වෙද්දි භාර දුන්නාම ඇති. කොළඹගෙආරේ නෑ ගෙදරක් තියෙනවා. අපි එහේ නවතිමු. රෙස්ට් එකක් අරන් කාල ඉඳලා උදේ ගම්උදාවට යමු. එතකොට අපිට අද දවසම කවර් කරලා හෙට උදේටම පැමිණීම අස්සන් කරන්නත් පුළුවන්.


ඒ අදහස නුවණැතිය. කාලෝචිතය. සාක්කුවටත් හොඳය. කවුරුත් එකහෙළා අනුමත කළහ. කැබ් රථය ප්‍රධාන පාරෙන් ඔබ්බට හැරී ගියේ රාත්‍රි සප්පායම් වීමට අවශ්‍ය බෝතල් සහ අඩුම කුඩුමද මිලදී ගැනීමෙන් පසුවය. ඔවුන් නතර වූ නිවෙසට ඔබ්බෙන් චන්ද්‍රිකා වැවේ සිට දිය ගෙනයන ඇළ මාර්ගය විය. ඔවුහු එහි බැස සිත්සේ දිය නා තෙහෙට්ටුව නිවාගත්හ. ගෙහිමි වයසක පියාණෝ අහම්බෙන් ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්හ.


සාදය ඇරැඹෙන විට රෑ බෝවී තිබිණි. බෝධි අංකුරය දිවා වියළි සුළං වැද තරමක් මැල වී තිබුණේය. නිවැසියන් උපදෙස් දුන්නේ වියළි කාලගුණය සහිත ගෙතුළ තියනවාට වඩා ගෙමිදුලේ මල් පාත්තියේ ආරක්ෂිතව තැන්පත් කළ හොත් අලුයම පින්නෙන් ප්‍රබෝධවත්ව ජීවය ලබා බෝ පැළය හෙට උදේ වනවිට නැවුම් සජීවී ගුණයෙන් යුතු වනු ඇති බවය. එය කදිම අදහසක් බව කවුරුත් පිළිගෙන ආරක්ෂිතව මල් පාත්තියක රන් පාත්තරය සහිතව තැන්පත් කෙරිණි.
මධු පානය ඇරැඹිණි. පැරැණි රසාංග නොඅඩුව ගායනා කැරිණි. නිවැසි තරුණයෝ ආගන්තුක මහත්වරු සමඟ සාජ්ජයට එක්වූහ. ඔවුන් නින්දට යනවිට අලුයම එකත් පසුවී තිබිණි. අලුයම් වේලේ සිහින් පොදක් වැටිණි. ගෙහිමි පියාණන් අලුයම පහට පමණ අවදිව කෑ ගැසීය.


'මහත්තයෝ, මහත්තයෝ, නැඟිටින්න නැඟිටින්න ලොකු හරක් රංචුවක් මිදුල උඩින් ගියා' ඔහු කෑගැසුවේය.
නිවාස අධිකාරියේ මහත්තුරු අවදි වුණේ ඔහුගේ කෑගැසීමටය. ඔවුහු විදුලි පන්දම් දල්වා අවට බැලූහ. දෙවියෝ සාක්කි බෝධි අංකුරය තියා මල්පාත්තියවත් තිබුණු ලකුණක් සොයා ගන්නට නැත.


කිසියම් හේතුවක් නිසා බියවී ගාලත් කඩාගත් සියයක පමණ හරක් රංචුවක් මිදුල උඩින් ගමන් කර තිබේ. මිදුල සී සෑවා බඳුය. නිලධාරීන්ට කරකියා ගන්නට දෙයක් නැත. පැය භාගයකට පමණ පසු මීටර් 50ක් පමණ දුරක තිබී රන් තැවරූ පාත්‍රය සොයා ගත හැකි විය. බෝධි අංකුරය පිළිබඳ කතා කරන්නට දෙයක් ඉතිරි වී නැත.
'මේ සේරටම තමුසෙ වගකියන්න ඕන. තමුසෙ තමයි නවතින්න යෝජනා කළේ' රණ්ඩුවක්ද ඒ අතර පටන් ගත්තේය.
'අයියෙ සංඛපාල විහාරෙට යමු. මම බෝ පැළයක් සොයා දෙන්නම්' යැයි නිවෙසේ මල්ලි කෙනෙක් කීවේය.
සංඛපාල රජමහා වෙහෙරේ බෝධීන් වහන්සේ රාශියක් වැඩසිටිති. පහළ මළුවේ කැබ් රිය නවත්වා අවට පඳුරු අතරින් ඉතා හොඳ පැළයක් පසුත් සමඟම ගලවාගත හැකි විය.


'ඕක කාක බෝධියක් මහත්තයෝ' යැයි මහලු පියාණෝ කීහ.
අනුරාධපුර අටමස්ථානයේ සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය රැගෙන පැමිණි කැබ් රථය ගම්උදා භූමියට සැපත් වනවිට පෙරවරු 9 විය. සභාපතිවරයා ප්‍රමුඛ උසස් නිලධාරීහු එය සාදුනාද මැද පිළිගත්හ. එදිනම සන්ධ්‍යාවේ ගම්උදා භූමියට මහ පෙරහරින් වැඩම කළ සංඝරාජ හිමියන් වෙත බෝධි අංකුරය අගමැති ප්‍රේමදාස මහතා විසින් පූජා කරන ලද්දේ දහස් ගණන් ජනයාගේ සාදු නාද මැදය.
මේ සිදුවීම දෙස විපිළිසර මුහුණින් හා සුදුමැලි වූ බවින් යුතු නිලධාරීහු තිදෙනෙක් යකඩ වැටක එල්ලී බලා සිටියෝය.


උදේනි සමන් කුමාර

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive