facebook like

නින්දෙන් අවදිවූ රතන හිමියන්ගේ විරෝධය

කේ. ඩබ්ලිව්. ජනරංජන
මේ සතියේ මුල රූපවාහිනී සංවාද වැඩ සටහනකට සහභාගිවූ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝද ආණ්ඩුව කෙරෙහි දැඩි විවේචනයක් එල්ල කළෝය. ඒ වැඩසටහනටම ඊට පෙර සහභාගිවූ ඇමති විමල් වීරවංශද ඒ හා සමාන විරෝධයක් ආණ්ඩුව වෙත එල්ල කළේය. මේ විරෝධයන් හා විවේචනයන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවේත් ශක්තියට සෑහෙන තර්ජනයක් වන බව සැබෑය. ඒ ගැන ජනාධි පතිවරයාත්, ආණ්ඩුවේ බොහෝ දෙනකුත් දැනටමත් සසල වී තිබෙන බව පෙනෙයි. එසේම ඒ
විවේචන රාජපක්‍ෂ ආණ්ඩුවේ ආයු කාලය සෑහෙන තරමකින් කෙටි කරන්නට බලපාන බවත් සැබෑය.

එහෙත්, මේ අයගෙන් එල්ලවන මේ විවේචන සමාන වන්නේ අවුරුදු දහයක පමණ කාලයක් ආණ්ඩුව සමග මධුසමය ගතකොට දැන් කාමරයේ ඇඳ ඇතිරිල්ලේ කිලූටුබව ගැන කරන පැමිණිල්ලකට මිස අන් යමකට නොවේ. ඔවුන්ට අනුව, ‘රාජපක්‍ෂ ජනාධිපතිවරයා තවමත් ලෝකයේ සිටින හොඳම ජනාධිපතිවරයාය. ඔහු අතින් සුළු සුළු වැරදි කිහිපයක් සිදුවෙයි. එක් පැත්තකින් ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති වැරදි වාක්‍ය නිසාය. අනෙක් අතින් නරක නිලධාරීන්ගේ බලපෑම නිසාය.’ ඉතින් දැන් ඔවුහු ඒ ගැන විවේචනය කරති. එහෙත්, මේ වැරදි අද ඊයේ හටගත් ඒවා නොවන බව මුළු රටම දනියි. එසේම ඒවා හුදු ව්‍යවස්ථාවේ හෝ නිලධාරීන්ගේ වැරදිම නොව, ඒ පාලන තන්ත‍්‍රය මෙහෙයවන කේන්ද්‍රයේ සිටින ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය නිසා හටගත් ඒවා බවද පැහැදිලිය. වැදගත් දෙය නම්, රතන හිමියන් ඇතුළු පිරිස හදිසියේ අවදිවී සොයාගන්නට පෙර මේවා ගැන දැනුවත් කතාබහක් සමාජයේ ඇතිවී තිබුණු බවත්, එහිමියන් ඇතුළු පිරිස ඒ ගැන මෙතෙක් ඇහැක් ඇර නොබැලූ බවත්, හදිසියේ අවදිවී දැන් ඒ කරුණුම පුනරුච්චාරණය කරන බවත්ය.
රතන හිමියන්ගේ එක් විවේචනයක් වන්නේ ජනාධිපතිවරයා ඇමතිධුර විශාල සංඛ්‍යාවක්ද, ඔහුගේ සහෝදර බැසිල් රාජපක්‍ෂ ඇමතිධුර එතරම්ම විශාල සංඛ්‍යාවක්ද තමන් අතේ රඳවාගෙන සිටීමය. මේ අමාත්‍යාංශ සඳහා රටේ අයවැයෙන් තුනෙන් දෙකක වියදමක් වෙන්කැරෙන බවද දැන් ඔවුන්ට හදිසියේ මතක්වී තිබේ. එහෙත් ඒ, පාර්ලිමේන්තුවේදී එහෙව් අයවැයකට අවුරුදු අටක්ම අත එසවීමෙන් පසුවය. එවැනි අයවැය ගැන ප‍්‍රසිද්ධ වේදිකාවල අවුරුදු අටක්ම ප‍්‍රශස්ති ගායනා කිරීමෙන් පසුය. දැන් රතන හිමියන් කියන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනාධි පතිවරයාට දැරිය හැකි ඇමතිධුර සීමාවක් නැති නිසා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් ඊට ඇති ඉඩ ඇහිරිය යුතු බවය.

කෙතරම් වැරදි තිබුණද, විධායක ජනාධිපති ධුරයේ එක් හරයාත්මක ලක්‍ෂණයක් වන්නේ ජනාධිපතිවරයා පරිපාලන දැළෙහි නොපැටළී රටේ පාලනය අධීක්‍ෂණය කරන තත්ත්වයක් පවත්වාගෙන යෑමය. ඇමතිධුර තමා වෙත රඳවාගතහොත් ඔහු හෝ ඇය නිසැකවම ඒ පරිපාලන දැළෙහි පැටළීමෙන් ඉටුවිය යුතු අධීක්‍ෂණය දුර්වල වෙයි. රතන හිමියන් දැන් කියන පරිදිම සිය අමාත්‍යාංශ යටතේ පවතින උපදේශක කාරක සභාවලට නිසි ලෙස සහභාගිවීමට ඔහුට නොහැකිය. පාර්ලි මේන්තුවේදී මන්ත‍්‍රීවරුන් නඟන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්නට නිතිපතා පාර්ලිමේන්තුවට එන්නට ඔහුට නොහැකිය. එනයින් පාර්ලිමේන්තුවට අර්ථවත් ලෙස වගකියන්නට ඔහුට නොහැකිය. එහෙත්, රාජපක්‍ෂ ජනාධිපතිවරයාට පෙර සිටි ජනාධිපතිවරුන්ද රට පාලනය කළේ මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේම බව අපි දනිමු. ඔවුහු කිසිවෙක් මෙවැනි ඇමතිධුර ප‍්‍රමාණයක් තමන් වෙත රඳවා නොගත්හ. එහෙත්, රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේත් ඔහුගේ පවුලේත් බල ලෝභය ඊට වඩා වැඩිය. ඒ නිසා ඔවුන් තමන් වෙත තබාගෙන ඇත්තේ රටේ වැදගත්ම අමාත්‍යාංශ ටික ය. අයවැයෙන් තුනෙන් දෙකක් වැයවන අමාත්‍යාංශ ය. ඒ තරම් අමාත්‍යාංශ ප‍්‍රමාණයක් තමන් වෙත රඳවාගෙන පවා ඇතිකොට තිබෙන ඇමති මණ්ඩලයද ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලයයි.

රතන හිමියන්ගේ ප‍්‍රතිකර්මය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලින් ඊට බාධා පැමිණවීමකි. එහෙත්, දැන් පවතින ව්‍යවස්ථාවේ පවතින සමහර බාධා වුවද ජනාධිපතිවරයා ගණන් නොගන්නා බව හොඳින් පෙනෙයි. වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට, එහි හරයට අනුව පවා ජනාධිපතිධුරයත් මුදල් ඇමතිධුරයත් එක් පුද්ගලයකුට දැරිය නොහැකිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 151 (2) ව්‍යවස්ථාව ඒ ගැන වචනවලින් කියයි. එහෙත්, රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒ ධුර දෙකම දරයි. එය ඇරඹුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත් මියගෙනි. ඇයද මුදල් ඇමතිධුරය තමා වෙත රඳවාගත්තාය. අයවැය කතාව සඳහා පාර්ලිමේන් තුවට පැමිණියාය. රාජපක්‍ෂ ජනාධිපතිවරයා මෙපරිදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නොසලකා හරින්නට පටන්ගත්තේ ඔහුගේ පළමු ඇමති මණ්ඩලය දිවුරුම් දුන් දා සිටය. එහෙත්, මුදල් ඇමතිධුරයත් ජනාධිපති ධුරයත් එකට දැරීම මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව මේ අවුරුදු අටක කාලය තුළදී ජනාධිපතිවරයාට කියා දෙන්නට රතන හිමියන් හෝ එහිමියන්ගේ පක්‍ෂයේ කැබිනට් නියෝජිත ඇමති චම්පික රණවක හෝ අවදියෙන් සිටියේ නැත. අඩු ගණනේ මූණට නොකියා මෙවැනි රූපවාහිනී වැඩසටහනකදී වත් කියන්නට එහිමියන්ට හැකියාවක් තිබුණේ නැත. දැන් හදිසියේ අවදිවී එහිමියෝ ආණ්ඩුක‍්‍රම සංශෝධනයක් ගැන කියති. එහෙත් ජනාධිපතිවරයාත් ඔහුගේ සහෝදරයනුත් මේ රටේ ආර්ථිකයෙන් බලවත් බහුතරයක් හසුරුවන අමාත්‍යාංශ විශාල ප‍්‍රමාණයක් තමන් වෙත රඳවාගෙන ඇතැ’යි සමාජයේ දැනුවත් පුද්ගලයන්ගෙන් සිවිල් සමාජ තීරුවලින් හඬ නැගුණේ අද ඊයේක සිට නොවන බව රටම දනියි. දැන් රතන හිමියන් උසුරුවන්නේ මෙතෙක් කල් මේ රටේ දැනුවත් සමාජය කී දේමය.

අනෙක් අතට ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශවලට වැඩිම මුදල් ප‍්‍රමාණයක් රටේ අයවැයෙන් වෙන්වද්දී, ඒ මුදල් ප‍්‍රමාණයෙන් වැඩි ප‍්‍රතිශතයක් වෙන් කැරෙන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහාය. ආරක්‍ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ තිබිය යුතු බව රතන හිමියෝ පිළිගනිති. එහෙත් යුද්ධයක් නැති කාලයක ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැය මෙතරම් ඉහළ අගයක තිබීම මෙන්ම, යුද්ධය අවසන් වූ පසුද එම වැය ශීර්ෂයෙහි අඩුවක් නොවීම රතන හිමියන් වරදක් ලෙස දකින්නේද යන්න තවමත් පැහැදිලි නැත.

රාජපක්‍ෂ ජනාධි පතිවරයා පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කළ අවස්ථා කොපමණද? 17වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකව තිබියදී, එය උල්ලංඝනය කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් පත්නොකොට ස්වාධීන කොමිෂන් සභාවලට ජනාධිපතිවරයා හිතුමතේ කළ පත්වීම් ගණන කෙතෙක්ද? එස්ජී පුංචිහේවා, දීපිකා උඩගම වැනි විද්වතුන් එවැනි පත්වීම් ලද විට, තමන් පත්කොට ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බව ජනාධිපතිවරයාට ඍජුව දන්වා යවා එම පත්වීම් ප‍්‍රතික්‍ෂෙප කළ අවස්ථා ඉතිහාසයේ තිබෙන බව අප අමතක නොකළ යුතුය. ඉතින්, පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරන බලකාමියකු රතන හිමියන් පතන, හදන අනාගත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් බැඳතැබිය හැකියැ’යි කියන්නේ කෙලෙසද?
ජනතාව හා දේශපාලන පක්‍ෂ සමග සංවාද කොට හොඳින් සලකා බලා අලූත් ආණ්ඩුක‍්‍රමයක් සාදාගත යුතු බව රතන හිමියෝ කියති. එයද රතන හිමියන් සිවිල් සමාජයෙන් ගත් සටන් පාඨයකි. එහෙත්, අතීතය මතක නම්, යුද්ධය ජයග‍්‍රහණය කිරීමෙන් පසු රාජපක්‍ෂ ජනාධිපතිවරයා 18වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ හදිසි පනතක් ලෙස බව එහිමියන්ට මතක් විය යුතුය. හදිසි පනතක් යනු පැය 24ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමුකරන්නකි. මහජනතාව අතර කිසිදු සංවාදයකට විවාදයකට ඉඩ නොතබා තමන්ට වුවමනා නීති හිතුවක්කාර ලෙස පනවන්නට ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා හදාගත් ලෝකයේ කොහේවත් නැති ආකාරයේ ක‍්‍රමවේදයකි ඒ. මහින්ද රාජපක්‍ෂ මහතා කළේ ඒ ගර්හිත නීති ප‍්‍රතිපාදනය හුදෙක් තමන්ගේ බලය දිගුකල් පවත්වාගැනීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකටත් යොදාගැනීමයි. 18වැනි සංශෝධන කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැ’යි සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අවස්ථාවේදී ආචාර්ය ශිරානි බණ්ඩාරනායක ප‍්‍රමුඛ විනිසුරු මඬුල්ල තීරණය කළේ එය ව්‍යවස්ථාවට අනුකූල බවය. එහෙත්, අඩු ගණනේ ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටවත් අධිකරණ තීරණය ලැබිය යුතුව තිබුණු බව අදත් නීතිය පිළිබඳ විද්වත්හු කියති. විධායක ජනාධි පතිවරයාට ඒකාධි පතිත්වයේ තටු පැළැන්දූ එක් සංශෝධනයක් වන්නේ 18යි. අධිකරණ අනුමැතියෙන් පසු ඉතා හදිසියෙන් එය පාර්ලිමේන්තුවට ගෙන ආ විට තුනෙන් දෙකක ඡුන්දයක් ඊට පක්‍ෂව ලැබුණා විනා, රතන හිමියන් හෝ වෙන කිසිවකු හෝ ඊට විරුද්ධව ඡුන්දය පාවිච්චි කළ බවක් රට දන්නේ නැත. අඩු ගණනේ ආණ්ඩුක‍්‍රම සංශෝධනයක් හදිසි පනතක් ලෙස ගෙන ඒම ගැනවත් කිසිවකු විවේචවනය කරනවා ඇසුණේ නැත. මහජන සංවාද ගැන අද කතාකරන රතන හිමියන්ගේ අතීත කාර්යභාරය එබඳුය.
රතන හිමියනුත්, ඇමති චම්පික රණවක ඇතුළු ජාතික හෙළ උරුමයත් මේ ආණ්ඩුවට එරෙහිව ගෙනෙන තවත් බලවත් චෝදනාවක් වන්නේ රට පුරා ඉහළ සිට පහළට පැතිර ඇති දූෂණයයි. එයද සිවිල් සමාජය මැතිරූ පැරණි කාරණයකි. දූෂණයට එරෙහිව ශක්තිමත් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවිය යුතු බවද උන්වහන්සේ දැන් කියති. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දූෂණවලට එරෙහිව කටයුතු කිරීමට දැන් අපට තිබෙන එකම ආයතනයයි. එය කිසිසේත් ස්වාධීන නැති බවද, අල්ලස් හෝ දූෂණවල යෙදෙන ලොක්කන් ඊට හසුවන්නේ නැති බවද රටම දනියි. ඊට අමතරව එය ආණ්ඩුවේ වුවමනාවන් අනුව ක‍්‍රියාත්මක වන බව කෝටි හතරක දේපළක් ඇති ඇමතිවරයකුගේ වත්කම් ගැන පරීක්‍ෂණ යටගැසීමෙන් හා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත්කිරීමෙන් තවදුරටත් පෙනෙයි. මේ තත්ත්වය මඟහරවා ගත හැක්කේ, දැන් රතන හිමියන් කියන පරිදි හා මීට බොහෝ කාලයක පෙර සිට රටේ සිවිල් සමාජය කියන පරිදි ශක්තිමත් හා ස්වාධීන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමක් පත්කිරීම මගිනි. කවර සීමාකම් තිබියේ වුවත්, එවැනි කොමිෂන් සභා ස්වාධීන කරන්නට මෙතෙක් ගෙන ආ හොඳම නීතිය 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එහෙත් ඒ කාලයේ රතන හිමියන් ඇතුළු ජාතික හෙළ උරුමය හිටියේ 17වැනි සංශෝධනයට විරුද්ධ පිළේය. 17වැනි සංශෝධන යෙන් විධායකයේ ශක්තිය දුර්වල කරන බව, අප නිවැරදි නම්, හෙළ උරුමයේ ප‍්‍රධාන තර්කය විය. 17වැනි සංශෝධනය ගෙන එන විට මුළු පාර්ලිමේන්තුවේම ඡුන්දය ඊට පක්‍ෂව ලැබෙද්දී ඊට විරුද්ධ වූ එකම මන්ත‍්‍රීවරයා චම්පික රණවක නොවේද? එහෙව් ස්ථාවරයක සිට දැන් අල්ලස් හෝ දූෂණ වළක්වන්නට ස්වාධීන කොමිෂන් සභා ඇතිකරන්නට යැ’යි රතන හිමියන් හදිසියේ කියන විට අප එය තේරුම් ගත යුත්තේ කෙසේද?

මෙතරම් අවදියකින් මෙතෙක් කලක් සිටියේ නම්, හඬනැගිය යුතුව තිබුණු, පාරට බැසිය යුතුව තිබුණු, මාරාන්තික උපවාස කළ යුතුව තිබුණු කප්පරක් දේ තිබුණු බවද, ඒ ගැන රටේ දැන්වත් පුරවැසියන් හැකි තරම් හඬ නැගූ බවද අලූතෙන් කිවයුතු නැත. මෙතෙක් කලක් නිහඬව සිට දැන් අලූත් හදිසියක් රතන හිමියන් ඇතුළු පිරිසට ඇතිවී තිබෙන්නේ මන්ද?

ආණ්ඩුව බරපතළ ලෙසින් දුර්වල වෙමින් පවතියි. දැන් එය යථාර්ථයකි. ඒ බව පිළිගන්නා පොදු මහජන මතයක්ද තිබේ. එහිමියෝද එය වචනයෙන්ම පිළිගනිමින් මේ සාකච්ඡුාවේදී කීවෝ ‘ආණ්ඩුව දුර්වල බව’ය. විමල් වීරවංශ ඇමැතිවරයා මීට පෙර කීවේ, අප සිටියත් නැතත් ආණ්ඩුව කඩාවැටෙන බවය. මේ විවේචක පාර්ශ්වවලට අවශ්‍ය වන්නේ, ආණ්ඩුවට එරෙහිව මෙතෙක් පැවැති හා නැගී එන බලවේග සමග එකට එක්ව ඔවුන්ට නායකත්වය දෙන්නටය. ‘අපි කියන දේවලට ආණ්ඩුව එකඟ නැත්නම් විකල්පයක් සඳහා නායකත්වය දිය යුතුයැ’යි රතන හිමියෝ පැහැදිලිව කීහ. මෙතෙක් කලක් නින්දේ සිට දැන් හදිසියේම පිටත පැවැති සටන් පාඨ පුනරුච්චාරණය කරන රතන හිමියන් ඇතුළු පිරිසගේ නායකත්වය පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ මෙතෙක් කල් සිය ලාභ ප‍්‍රයෝජනය සඳහා නොව ප‍්‍රතිපත්ති හා මූලධර්ම මත ආණ්ඩු විවේචනයේ සිටි ඇත්ත සටන්කරුවෝය.

ravaya -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive